Showing posts with label Motivation. Show all posts
Showing posts with label Motivation. Show all posts

Wednesday, June 24, 2020

පැරදුනත් වීර්යයෙන් දියුණුව කරා යමු





"භය වෙන්න එපා.සෑම පැරදුමකින්ම ඔබ පාඩමක් ඉගෙන ගනීවි.මම විභාගය තෙවරක්ම ලිවූ නමුත් ඒ තෙවරම අසාර්ථක විය.එපමණක් ද නොව දස වතාවක් හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට ගියද ඒ දස වතාවම මා ප්‍රතික්ශේප විය." 

මේ ලෙස පවසන්නේ අන් කිසිවෙක් නොව අලිබබා සමූහයේ නිර්මාතෘවරයා වන ජැක් මා විසිනි.ඔහු වර්තමානය වන විට ධනපතියන්ගේ ප්‍රමුඛ පෙළ හොබවන පුද්ගලයෙක් වී අවසානය.ඔහුගේ ජීවිත කතාව ගත් විට මේ සමාගම ආරම්භ කිරීම ගැන අදහස සමාජ ගත කල විට ඔහුට සියලුමදෙනා පවසා ඇත්තේ මෙසේය. 

"ඔබ මොනවද ඉන්ටර්නෙට් ගැන දන්නේ ? ඔබ පරිගනකය කියන්නේ මොකක්ද කියලවත් දන්නවද ?"

ආදී ලෙසිනි.එලෙස බොහෝ දෙනාගේ ඍණාත්මක අදහස් සහ ඔහුගේ සියලු පරාජයන් අත් වැලක් කරගනිමින් ඔහු අද මේ තත්ත්වයට පැමිණ ඇති අයුරු විශ්මයජනකය.මේ සංවිධානය ආරම්භ කිරීමේදී ඔහු මූල්‍ය ආයතනයවලින් ණය ලබාගැනීමට ගියද ඒවායින් ද ප්‍රතික්ශේප විය.අවසානයේදී ආයෝජකයන් 18 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඔහු තම සංකල්පය වූ අලිබබා ව්‍යාපාරය සුලුවෙන් ආරම්භ කර වර්තමානයේ බිලියනපතියෙක් බවට පත් වී හමාරය.ඔහු හාවඩ් සරසවියට යෑමට උත්සාහ දැරූ විට  ඉන් ප්‍රතික්ශේප වුව ද ඔහු බිලියනපතියෙක් වූ පසුව ඔහුට එකී හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාදියක් පවා පිරිනමන ලදී.එය ඔහු පවසන්නේද හාස්‍යය ජනිත කරවමිනි.ඔහු පවසන ලෙස දියුනු වීම එක දවසින් කල නොහැකිය.ඊට කලක් ගත වෙන අතර එයට වීර්යය මෙන්ම විශ්වාසය තිබිය යුතුය.නිදසුනක් ගතහොත් රැකියාවක් කිරීමට අත් පොත් තබන විට මහා පරිමාණ රැකියාවක් තෝරා ගන්නවට වඩා සුලු රැකියාවකට යාම තුලින් ශිල්පීය  නුවණ බොහෝ ලෙස ආයතන ප්‍රධානියා ලබාදෙනු ඇත.එයින් ද ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබෙනු නොඅනුමානය.යමෙකු පරාජයන් නිසා මුලු ජීවිත කාලයම පසු තැවීමෙන් ගත කරනවනම් ඔහුට හෝ ඇයට කිසි දිනෙක දියුණුවක් ලද නොහැකිය .

එසේම KFC නම සදහන් කල පමණින් ඔබ ඒ ජාලය ගැන නොදන්නවා විය නොහැකිය.colonel sanders විසින් මේ ආයතනය ආරම්භ කිරීමට පළමුව ඔහු තම කෑම වට්ටෝරු රැගෙන අවන්හල් 1000කට පමණ ගිය ද ඒ සියල්ලන්ගෙන් ම ප්‍රතික්ශේප විය.නමුත් ඔහු ඒ පරාජයන් රුකුලක් කර ගනිමින් වර්තමානය වන විට ඔහුගේ ආයතන පද්ධතිය පුළුල් ලෙස දියුණු කර ව්‍යාප්ත කර ඇත.ඔහු පරාජය හමුවේ ඒ ගැනම සිතා පසුතැවිලි වී සිටියානම් ඔහුට මේ තත්ත්වයට කිසි දිනෙක පත් විය නොහැකිය.බලන්න මදක් ලොව ධනපතියන්ගේ ජීවිත කතා...
පසක් වේවි ඔබට ඒ සියලුම දෙනාට අදුරු අතීත උරුම බව.මේ ජීවිතයේදී සුන්දර මාවත් දිගේ සුන්දර පාරාදීසයන්ට යාමට සිතනවාට වඩා දුශ්කර මාවත් දිගේ සුන්දර පාරාදීසයන්ට යෑම ඉතා වටිනේය.එය ස්ථීර දියුණුවට ඇති සුදුසු ම මාර්ගය වේ.ශිෂ්‍යත්වය අසමත් වූවෝ අන් විභාග සමත් වන අතර ශිෂ්‍යත්වය සමත් වූවෝ අන් විභාග අසමත් වන අයුරු අත්දකින්නට ලැබී ඇත.මේ සියලු සංසිද්ධිවලට අපගේ සිත මූලික වේ.තමන්ගේ ගමන යන්නේ අන් අයගේ බලපෑමට නම් එයින් සාර්ථකකත්වයක් අත් කරගැනීම දුෂ්කර වේ.තමාගේ දියුණුව සලසා ගැනීමට තමා ම වගබලා ගත යුතුය . විශ්වවිද්‍යාලය ට ගිය පමනින් බුද්ධිමතුන් වී අනාගතය දියුනු කර ගැනීම එකවර කල නොහැකිය.සරසවි වරම් අහිමි වූ බොහෝ දෙනා ලෝකය වෙනස් කර ඇත.ඒ නිසා පරාජයන්ගෙන් සෑම විටම  පාඩමක් ඉගෙනගන්න ට උත්සාහ දැරිය යුතුය.හැකි සෑම විටම අන්‍යයන්ට ද උදව් උපකාර කල යුතු අතර තම දියුණු මෙන්ම අන්‍යයන්ගේ දියුණුව දෙස ද සතුටු සිතින් සොම්නස් වීමටද හැකි විය යුතුය .

බුදුරජාණන්වහන්සේ ද වදාලා ඇත්තේද වීර්යය ඇත්නම් කල නොහැක්කක් නැත යනුවෙනි.තම අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමට වීර්යය,විශ්වාසය සහ කැපවීම අනිවාර්යයෙන් තිබිය යුතුය. ධම්ම පදයේ ගාථාවක මෙසේ ඇත.

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්මජීවිනෝ
අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති

 උත්සාහවත්,සිහිනුවණ ඇති,පිරිසිදු ක්‍රියා ඇති,විමසාබලා කටයුතු කරන හික්මීමකින් යුතු ධාර්මිකව වෙසෙන පමානොවන අයගේ යසස වර්ධනය වේ යැයි  දක්වා ඇත.

එසේම, බුදුරජාණන්වහන්සේ ත්‍රිවිධ වීර්‍යෙන් ගැන වදාළ සේක.එනම්,

•ආරම්භක ධාතු 
•නික්ඛම ධාතු 
•පරක්කම ධාතු 
                              ලෙසිනි.

ඔබ තමන්ගේම කියලා ව්‍යාපාරයක්  ආරම්භ කිරීමට යනවානම් ඒ  ගැන යම් කිසි ආරම්භක සිතුවිල්ලක් පහල  වන අතර අධ්‍යාපනය ලබන කෙනෙක් නම් යම් කිසි විභාගයට මුහුණ දීමට සැරසෙනවානම් එය ජය ගැනීමට ඊට සුදුසු වැඩ පිලිවෙලක් අදාල අය ගේ සිත තුල ජනිත වේ.එකී මුල්ම සිතිවිල්ල හෙවත් වීර්‍යෙ ආරම්භක ධාතු ලෙස හැදින්වේ.
එලෙස පටන් ගනු ලැබූ සිතිවිල්ල නැතහොත් ඒ කාර්යය ඉදිරියට අතරමග නොනවත්වා නිසි ලෙස ඉදිරියට කරගෙන යෑමට ඇති කර ගන්න වීර්යය නික්ඛම ධාතු ලෙසින්ද හැදින්වේ .
එලෙසම තමන් වෙත පැමිණෙන සියලු කරදර බාධක මැඩ පවත්වා ගෙන අභිමතාර්ථ ඉටු කර ගැනීමට ඉදිරියට යෑම පරක්කම ධාතු ලෙස හැදින්වේ .

ඒ අනුව දියුණුව කරා යන ගමනේදී වීර්යය හා විශ්වාසය තිබිය යුතුම ගුණාංග වේ.
දියුණුව කරා යන ගමනේදී තමන් තමාවම විශ්වාස කල යුතු අතර අවට සිටින අය විවිධත්වයෙන් යුක්ත නිසා ඔව්න්ගේ අදහස් උදහස් ක්‍රියාත්මක කිරීමේදී තම බුද්ධිය මෙහෙයවා ක්‍රියා කල යුතුය.හැකි සෑම විටම ස්වෝත්සාහයෙන් නැගිටීමට හුරු විය යුතුය.ඔබ යනු ඔබ සමීපව ඇසුරු කරන අයගේ අදහස් හා ක්‍රියාකලාපවල  සංයෝජනයක් බවට ද පත්විය හැකි ය.ඒ නිසා තමාගේ අභිමතාර්ථ ඉටු කරීමේදී ඇසුරු කරන පුද්ගලයන් ගැනද සැලකිලිමත් විය යුතුය .

එසේම තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය නිපදවීමේදී 1014 වතාවක් අසාර්ථක වූ බැවින් සියල්ලෝම පවසා සිටියේ එය නිශ්ඵල උත්සාහයක් ලෙසිනි.නමුත් ඔහු උත්සාහය අත් නොහල අතර අවසානයේ විදුලි බල්බය සොයා ගන්නා ලදී.ඒ අනුව සෑම පරාජය වීමක් තුලම ඇත්තේ හරවත් වූ පාඩමකි.ඒ බව අවබෝධ කරගනිමින්  තමන්ගේ ඉලක්කය ගැන දැඩි විශ්වාසය කින් දියුනුව කරා යා යුතුය. 
දියුණු වීමට ජයග්‍රහණය ට ඇති හොදම මූලික සංකල්පය වන්නේ ප්‍රතික්ශේප වීම, පරාජය වීම නොවේද ? එහිදී සිතට නැගෙන සිතිවිලි නිසා ප්‍රබල අරමුණක් ඇති කර ගත්තොත් දියුණුව කරා යන ගමනේදී කිසිවෙකුට ඒ පුද්ගලයා නැවැත්වීමට නොහැකි ය.
යමෙක් ප්‍රතික්ශේප වීම් පරාජය වීම් වලට මුහුණ දී නැත්නම් සත්‍ය ලෙසම ඔහු වාසනාවන්තයෙකි.අපගේ ජීවන ගමනේ පරාජයන් හමුවේ ඇතැමුන් සතුටු වෙති.පරාජය වුණා කියා තමන්ට අපහාස කල ඒ පුද්ගලයන් ට දිය හැකි හොදම  පිලිතුර වන්නේ   තමන්ගේම  වීර්යයෙන් තම  දියුණුව කරා ගොස් ස්ථාවරත්වයට පත්වීම වේ.
පරාජයන් හිතට නොගෙන ජයග්‍රහණයන්ගෙන් උදම් නොවී  මැදි සිතින් සිටීම වඩාත් යහපත් වේ.මදක් සිතන්න.යමකින් පරාජය වූ විට ඒ ගැනම සිතමින් සිටියොත් කිසිදින දියුනුව අසලටවත්‍ යා ගත නොහැකිය.එසේම යමෙක් ජයග්‍රහණයේදී නැත්නම් දියුනුවේදී මාන්නයෙන් යුත් අදහස් වලින් සිටියොත්  ඒ දියුනුව නැවත අසාර්ථකත්වයකට පෙරලෙනු ඇත.නිදසුනක් ලෙස යම් පුද්ගලයෙක් ව්‍යාපාරයක් ආරම්භ කර මුල් මාස 6 තුල තමා ව්‍යාපාරය ට ආයෝජනය කල මුදලින් හරි අඩක් උපයා ගත් නිසා ඊට අධික සොම්නසින් ඒ ගැනම සිතා ඉදිරිය ගැන කිසිදු තීරණය ක් නොගෙන සිටියොත් වන්නේ ලැබූ මුදලද පසුව අහිමිව ගොස් ලද සුලු දියුණුව ද පිරිහීමට ලක්වීමයි.

එබැවින් පරාජයන් වලට හිත කඩාවැටීමට ඉඩ නොදී විශ්වාසය තුලින් ඇති කරගන්නා වීර්යයෙන් තමාගේ දියුණුව ඇතිකර ගත යුතුවේ.


Article Writer - Hashini Imalsha

Saturday, June 20, 2020

ජීවිතය යන මහා බර - කෙලෙසද සැහැල්ලු කර ගන්නේ



"බිදුණු කලට අමතක කළ නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කෙලෙසක සුරකිම් ද ආදරෙන්."

මෙම සුමිහිරි ගීතය ඇසෙන විට ඔබට හැගෙන්නේ කුමක්ද? එක්වරම බිදෙන වීදුරු වගේ ද්‍රව්‍යයන් පිළිබඳ සිතට හැගෙන්නේ ද? නැත්නම් මෙහි පවසා ඇති ගැඹුරු අර්ථය වටහා ගැනීමට හැකියාව ලැබේ ද? ප්‍රියානන්ද විජේසුන්දර මහතා ලියන ලද පුන්සිරි සොයිසා නම් ගායකයා විසින් ගායනා කරනු ලබන මෙම ගීතය ඉතා අපුර්ව වූ ගැඹුරු අර්ථයක් මිනිසාට වටහා දීමට උත්සාහයක යෙදී ඇති බව තේරුම් යාමට වැඩි වෙලාවක් ගත වන්නේ නැත.

කුමක්ද මේ ගීතයෙන්  වටහා දීමට ගන්නා උත්සාහය ? මෙහි දක්වා ඇති ගැඹුරු දහම අප බුද්ධියෙන් විමසා බැලිය යුතු ය.බුදු දහමට අනුව වාග් සුචරිතය,කාය සුචරිතය පිළිබඳ උගන්වනු ලබයි.ජීවිතයේ තිබෙන අනිත්‍ය,දුක්ඛ බව වගේම වෙනස් වන බව,බිදෙන සුළු බව  අපට තේරුම් යාමට මෙම ගීතය රචනා කර ඇති බව අර්ථය නිවැරදිව තේරුම් ගැනීමෙන් වටහා ගැනීමට හැකියි.ඉහත දැක්වූ අනිත්‍ය යනාදී කරුණු මොහොතින් මොහොත දකිමින් ඒ අනුව ක්‍රියා කරනවා නම් දුක වේදනා සහ සුඛ වේදනා අපට ඇති නොවේ.ගීතයේ සදහන් කරන ආකාරයට අපගේ මේ ජීවිතය බිඳෙන බඳුන් ලෙස සිතා ක්‍රියා කිරීමට අපට නොහැකි මන්ද?

ජීවිතයක් අවසන් වී තිබෙද්දී එය අපගේ සිතින් අමතක නොකර දුකෙහිම ගැලී සිටියහොත් ඒ වෙනසට අනුව හැඩ නොගැසුණහොත් කවදා හෝ විදීමට,විනාශ වීමට තිබෙන මෙම ජීවිතය අප කෙලෙස ගත කළ යුතුදැයි කියා අප තේරුම් ගෙන අවබෝධ කර ගත යුතුය.
ජීවිතය අපට කොයි මොහොතේ,කොයි දිනයක,කුමන අවස්ථාවක අත්හැර යෑමට සිදු වේ දැයි අපට කිව නොහැකි ය.මෙය විනාශ වීමට වයස් භේදයක් නැත.මහලු වියට ගොස් මරණයට පත් වේ යැයි අපට නිශ්චිතව කිව නොහැක.වර්තමානයේ බොහෝ තරුණ පිරිස්,ළමා වියේ පසුවන අය අකාලයේ මරණයට පත් වේ.ඒ නිසා අපට තේරුම් ගැනීමට ඇති එකම සත්‍යය නම් අපගේ ජීවිතය කුමන හෝ වෙලාවක අත්හැර  යෑමට තරම් අප හිත ශක්තිමත් කරගෙන සිටිය යුතු බව යි.
අප උපන්දා සිට ගෙවන ජීවිතයට අනන්‍යතාවයක් ගොඩනඟාගෙන ඒ ඔස්සේ ජීවිතය ජීවත් කරයි.ඒ වගේම අප විසින් තෝරාගත්  ජීවිතයන්,අපගේ සමීපතමයන්  කරගෙන ඒ අයට ආදරය කිරීමට පෙළඹේ.ඒවා නිසාම අපි හිංසා පීඩනයට ලක් වේ.ශෝක වෙයි. එතන අපට ඇති වන්නේ දුක් වේදනාව පමණි.ඒ වගේම කීර්තියට,ප්‍රශංසාවට ලක් වීම තුළින් අප සතුටු වෙයි.මෙය සුඛ  වේදනාව ලෙස හඳුන්වනු ලබයි.

මෙසේ ඇතිවන  සුඛ හා දුක්ඛ වේදනාවන් තුළින් අපගේ මානසික ස්වභාවය ද තීරණය කරයි.එනම් අප එකිනෙකාට ලබා ඇති අප්‍රමාණ අගයන් අනුවයි.අප සිතන දෙය ඔවුන් තුළින් අපට නොළැබුනහොත් අපගේ සිතෙහි ක්‍රෝධය,ඊර්ෂ්‍යාව ආදී   දුර්ගුණයන් වැඩීමක් සිදු වේ.
අප එසේ නම් කළ යුත්තේ අන් අයගේ ජීවිත වලට අගයන් නොදී සිටීමද ? නැත.අප තේරුම් ගත යුත්තේ ඉහත ගීතේ සදහන් ආකාරයට ජීවිතය කොයි මොහොතේ,කොයි ආකාරයට වෙනස් වුවත් අප එම වෙනස තේරුම් ගෙන ආදරය කළ යුත්තේ ජීවිතය යනු  බිඳෙන,නැතිවන දෙයක් යැයි දැනගෙන ය.අප අපගේ ජීවිත වලට වගේම අපගේ නොවන ජීවිත වලටත් මෙලෙස ආදරය,කරුණාව  දැක්විය යුතුය.බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රකට දහම් කරුණක් නම් 'සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා' යනුවෙනි.එනම් 'සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!' යනුවෙනි.
මෙහිදි බුද්ධියෙන් සෑම දෙයම තේරුම් ගැනීම තුළින් ලෝභ,ද්වේශ,මෝහ යනාදියයෙන් බොහෝ දුරට දුරු වූ මෛත්‍රී සම්පන්න සමාජයක් අපට බිහිවෙයි.එලෙස බිහිවන සමාජය අපගේ ජීවිත වලට කොයිම මොහොතක්වත් බරක් වන්නේ නැත.නිවන පවා ළගා කර ගැනීමට හැකි වන්නේ මෙවන් ජීවිත වලටයි.

ඔබ සිතන්න අප කන්දක් තරණය කිරීමේදී පුළුවන් තරම් බර ගෙන යාම අඩු කරයි.කුමක්ද යත් බර අඩු කරන තරමට අපට කන්දට නැගීම පහසු වනවා මෙන්ම සිතනවාටත් වඩා ඉක්මනින් අපගේ ඉලක්කය ජයග්‍රහණය කර ගැනීමට ද, එමගින් හැකියාව ලැබේ.ජීවිතයද එසේ ය.ජීවිතය ඉදිරියට ගෙනයාමට නම් ඉහත කී දුර්ගුණයන් හිතින් අයින් කර ගැනීම තුළින් විමුක්තියට ඉක්මනින් නිදහසේ ළගා වීමට හැකියාව ලැබෙයි.
අප කුඩා කාලයේ සිට විශාල මානසික පීඩනයකින්  ජීවිතය ගෙනයාමට උත්සාහ කරයි.මෙය අපගේ ජීවිත බරට බොහෝ ලෙස බලපායි.අපගේ සිත තුළ වෛරක්කාරයෙක් , තරහා කාරයෙක් සිටී නම් ඒවා ජීවිතය තිබෙන තුරාවට ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීම අපේ ජීවිතය අපිම විනාශ කර ගැනීමක් වැනිය.
ඒ වගේම තමා මිතුරන් වැඩි වීම නිසාද අපගේ  ජීවිතයට බරක් ඇතිවෙන බව ධර්මයට අනුව පවසයි.එනම් සතුරන් කෙරෙහි තරහව ඇති වනවා මෙන්ම මිතුරුකම ඇලීම නිසා හිතේ ලෝභය ද ඇති වේ.පවු කරන පුද්ගලයා වගේම පින් කරන පුද්ගලයා ද  සිතේ බරක් උසුලාගෙන ජීවත් වෙයි.එනම් පින් කරන පුද්ගලයා තමන් බරක් උසුලාගෙන සිටින බව ඔහු/ඇයවත් නොදන්නා බවයි සදහන් කරන්නේ.සුත්ත නිපාතයේ සුද්ධට්ඨක සූත්‍රයේ සඳහන් පරිදි "පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො"  සංකල්පයට අනුව පිනෙහි හා පවෙහි නොඇලුනු,නොගැටුණු සිත් ඇති ව නිදහස්ව කළ යුතු දෙය කරමින් සිටීම ජීවත් වීම බව පෙන්වා දෙනු ලබයි.මෙයින් පින් නොකළ යුතුයැයි නොකියවෙන අතර, පිනෙහි ඇලීමෙන් වැළකී කටයුතු කිරීමට අනුබල දෙයි.
මෙලෙස බරක් නැති ජීවිතය පිළිබඳ අපට තේරුම් ගැනීමට හැකි වන්නේ 'දැන් මම ලෑස්තියි මැරෙන්න කියා' කලබල නොවී එම සත්‍යය තේරුම් ගැනීමට හැකි පුද්ගලයෙකුට පමණයි.මරණයට අපට ලෑස්ති වී සිටීමට නොහැකියි.එයද බරකි.අපගේ සිතට අනුව රෑට නින්දට යන විට කොයි දවසක හෝ නින්ද ගියාම නැගිට්ටේ නැතුවාට කමක් නෑ  කියා නිදාගැනීමට අප අපගේ ජීවිතය සැහැල්ලු කරගෙන නම් එතනයි අප හරියාකාරව ජීවිත බර  ඉවත් කරගෙන සිටින්නේ.
මේ ආකාරයට ඉහත සත්‍යය තේරුම් ගෙන ඒ ඔස්සේ ජීවිතය බරින් තොරව ඉදිරියට ගෙන යාමට හැකි නම් ජීවිතය නිදහස්,සැපවත් වී ඇති බව අපට තේරුම් යයි.
ධර්මයට අනුව අප හැම වෙලාවෙම  ක්‍රියා කරමු.එවිට ජීවිතය පහසුවෙන් ඉලක්ක කරා ළගා කර ගැනීමට හැකියාව ලැබෙනවා සත්‍යයයි.

Article Writer - Thakshila Srimali

Friday, May 29, 2020

ජීවිතය ජය ගන්නේ කෙසේද ?



ජීවිතය නම් බාධක , කම්කටොලු මැඩගෙන ඉදිරියට වීර්යය වඩාගෙන  යන ගංගාවක් නම් එහි මූලික පරමාර්ථය වනුයේ සප්ත මහා සාගරය තුළට එක් වීමයි.ගංගාවක් සෑම විටම ගල්පර තුළින් සහ වෙනත් දෑ තුළින් ගමන් කරන්නේ එය තමන්ට බාධාවක් නොකරගෙන තමන්ගේ ඉලක්කය උදෙසා ගමන් කිරීමට තිබෙන බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි.

උසස් මනසකින් යුත් මිනිසා යන පුද්ගලයා ද එසේය.අප සියල්ලෝම මිනිසුන් වශයෙන් බොහෝ සිතුම් ,පැතුම් , අභිලාෂයන් සිතේ පෙරදැරි කරගෙන ජීවත් වෙයි.අප සැමවිටම බලාපොරොත්තු ගොන්නක් ජීවිතය තුළ රදවාගෙන ඉදිරියට යෑමට උත්සාහ කරයි.
මිනිසා උත්සාහය තුළින් බලාපොරොත්තු වන්නේ ජීවිතය ජය ගැනීම නොවේද? 
මෙලෙස ජීවිතය ජය ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවක ම සිත,කය හා වචනය යන ත්‍රිවිද්වාර මූලික කරගෙන උපරිම වශයෙන් උත්සාහ දරන මිනිසා එය භෞතික හා අධ්‍යාත්මික වශයෙන් ද ජය ගැනීමට උත්සාහ දරන බව මේ සමාජයේ සිටින විවිධ පුද්ගලයන් නිරීක්ෂණය කිරීමෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබෙයි.

එසේ නම් ජීවිතය ජය ගත්තා යැයි අපට සතුටු විය හැක්කේ කුමන අංශය තුළින් අප උත්සාහ දැරුවොත් ද යන වග අපට තේරුම් ගැනීමට අපහසු නොවේ.එනම් සැබෑ ලෙසටම ගත් කල ජීවිතය ජය ගත්තා යැයි පවසන්නේ මෙම අංශ දෙකෙන් ම අප ජය ගත්තොත් පමණි.

මිනිසුන් සෑම විටම ලෞකික අංශයෙන්  පමණක් ජය ගැනීමට උත්සාහ දරයි.මෙහිදී එදිනෙදා ජීවිත් වීමට අපට අවශ්‍ය බාහිර දේ සමග ඉන්ද්‍රියයන් ඇසුරු කරගෙන ඉන්ද්‍රිය ගෝචර වන ආකාරයට පහසු, යහපත්, හොඳ සහ සැපවත් ආකාරයට ජීවත් වීමට ලැබෙන දේවල් ම ලැබෙනවානම් පමණක් අප සතුටට පත් වෙයි.මෙහිදී ජීවිතය විදවන දෙයක් නොවන බවත් විදිය  යුත්තක් ලෙස සිතා අප නිරන්තරයෙන් කටයුතු කිරීමට පෙළඹේ.

නමුත් සෑම විටම එකම ආකාරයෙන් අපට මෙලෙස සතුටට පත් වී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැත.අප  නොසිතෙන ආකාරයෙන්, නොසිතෙන මොහොතක අපට නොගැළපෙන දෑ අපගේ ජීවිතයට ළං වේ.ඒවා ඉවත් කර ගැනීමට අප බුද්ධියෙන් සිතා  අපරමිත උත්සාහයක්, කැපවීමක් හා මහන්සියක් සිදු කිරීම තුළින් අපගේ ජීවිතය ජය ගැනීමට පහසු වේ.

ආධ්‍යාත්මික වශයෙන් ජීවිතය ජය ගැනීම යනු විශිෂ්ට ලෙස සදාතනික සුව පහසුව ලබා ජීවිතය ජය ගැනීමයි.මෙම ජය ගැනීම අප කාටත් ලේසියෙන් ලබා ගත නොහැකි දෙයකි.මිනිසා සෑම විටම පරාජයට පත් වන්නේ භෞතික වගේම  ලෞකික දේ ම පමණක් ලබා ගැනීමට උත්සාහ දැරීම තුළිනි.
අප මෙම පරාජය තුළින් සිතට ගත යුතු එක් කරුණක් ඇත.එනම් අප විසින් කළ යුත්තේ ලෞකික  වශයෙන් ජීවිතය ජය ලබන අතර ම ආධ්‍යාත්මික ජීවිත ජයග්‍රහණය ලබා ගැනීමට ද කටයුතු කිරීමයි.නැතිනම් ලබන ජයෙන් කිසිදු  පලක් නැත.

 සිත තුළ නිතරම අරමුණු වන්නේ  ජීවිතය සාර්ථක කර ගැනීමයි.දිනා ගැනීමයි.නමුත් බොහෝ පුද්ගලයන්ට තිබෙන ගැටලුව වන්නේ සෑම විටම පැරදීමට , අසාර්ථකත්වයට ලක් වන්නේ ඇයි ද යන්නයි.එනිසා ජීවිතය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න වග ඔවුන්ගේ මනසට වද දෙන ප්‍රධාන කාරණාවක් වේ.

අප පරාජය තුළින් දුකට පත් වෙයි.අසාර්ථකත්වය බාර ගැනීමට ද සිදු වේ.එසේම දිනා ගත් දෙයක් දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතා අසීරුයි.යම් දෙයක් අපි දිනා ගත්තත්  ඊළගට අපගේ තිබෙන බලාපොරොත්තුව දිනා ගැනීමට නොහැකි වී පරාජය වේ.
එසේ කියා අප උත්සාහය අත් නොහළ යුතුයි.අප මුලින් ලබා ගත් සාර්ථකත්වයන් , දිනා ගත් දෑ වර්තමානයේ පරාජය වූවා කියා අත් හැරීම සාර්ථක පුද්ගලයකුගේ ක්‍රියා කලාපය නොවේ.

අප බුදු දහම තුළින් ඉගෙනගත් එක් යථාර්ථයක් ඇත.එනම් ලැබීම්,නොලැබීම් කියා  දෙයක් තිබෙන බවයි.නොලැබීම් තුළින් ලැබෙන දුක ලැබූ ජය තුළින් සමනය කර ගැනීමට ක්‍රියා කිරීම අප  කළ යුතුයි.
ඒ සමගම දෙවන ජයග්‍රහණය නොලැබී යෑමට බලපෑ හේතුව කුමක්ද යන්න අවබෝධ කරගෙන සිත සන්සුන්ව නැවතත් එයට උත්සාහ කිරීම තුළින් ඒ මිනිසාට  එය ජය ගැනීමට හැකි වේ.

අප ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබාගෙන ඇත්නම් යහපත් අරමුණින් , උත්සාහයෙන් , උනන්දුවෙන් දිනා ගත් දෙය දිගින් දිගටම රැකගැනීමත් ,ඉන් පසුව එය තවත් සිතට ශක්තියක් කරගෙන අනාගතය තුළ දී දිනීමට, දිනා ගැනීමට ඇති දේවල් සම්බන්ධයෙන් ඉතා හොඳ සැලසුමක් ඇති කර ගැනීමටත්  හැකියාව ලැබෙයි.අප අපගේ සිත යහපත් අරමුණින් දියුණු කරගෙන ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය හා ප්‍රඥාව වඩවාලමින් ජීවිතය තුළින් ජයග්‍රහණය ලැබීමට උත්සාහ කළ යුතුයි.

මිනිසුන් සිතන පතන ආකාරය එකිනෙකට වෙනස්.ඔවුන්ගේ බලාපොරොත්තු ද වෙනස් වේ.නමුත් ඒ එකිනෙකට වෙනස් සෑම බලාපොරොත්තුවක් ම යහපත් අරමුණු පෙරදැරි කරගෙන ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන විට ඒ බලාපොරොත්තු කා හටවත් හානියක් නොවේනම් අනිවාර්යයෙන් තමන්ට ජය අත් කර ගැනීමට ලැබේ.අපරමිත වීර්යයක් හා උත්සාහයක් ගනිමින් විශ්වාසය තබා කටයුතු කළ යුතුයි.එවිට දිනිය හැකිය.ඉන්පසුව තමාගේ ජීවිතය ඊළගට දිනා ගැනීමට අවැසි දේ පිළිබඳ සිතිය යුතුය.එම ජයග්‍රහණය ද මුළින් සදහන් ආකාරයට ආධ්‍යාත්මික වශයෙන් ජය ගැනීමට උත්සාහ කළ යුතුයි.සිහි බුද්ධියෙන් සිතා මතා ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කළහොත් සියල්ලෙන් ම ජය ගැනීමට පුළුවනි.

අප  සෑම විටම උත්සාහ කළ යුත්තේ කිසි විටෙකත් පරාජිතයකු නොවී වැඩකටයුතු කිරීමටයි.මා ප්‍රථමයෙන් දිනා ගත් දෙය අතීතයට ගිය විට දෙවනුව දිනීමට සිතා සිටින දේ වර්තමානයට එක් වේ.එය අනිවාර්යයෙන් ම දිනාගෙන මිසක් උත්සාහය අත් නොහරිමි යන දැඩි අධිෂ්ඨානය තිබිය යුතුය.ඒ වගේම සාර්ථක හා ජීවිතය දිනපු පුද්ගලයන්  අනිවාර්යයෙන් ම අනාගතයේ දිනන්නට බලාපොරොත්තු වන දෙය දිනා ගැනීමට යහපත්, සාර්ථක සැලැස්මකට අනුව කටයුතු කරනු ලබයි.

මෙසේ ගත් විට තුන් කල්හි ම ජය ගැනීමට හැකි පුද්ගලයා කිසිම දිනෙක ජීවිතය තුළ පරාජිතයෙක් ලෙස හංවඩු ගැසෙන්නේ නැත.සිත තුළ ආධ්‍යාත්මික බලයක්, ශක්තියක් ඒ සදහා  ගොඩනගා ගෙන තිබීම සාර්ථකත්වයේ මං සළකුණකි.
එය සෑම කල්හි ම ජීවිතය ජය ගැනීම සදහා ද , සාර්ථක වීම සදහා ද මුළු ලෝකයක් ඉදිරියේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම සදහා ද උපකාරී වේ.
මෙසේ ජීවිතය ජය ගැනීමට නම් අප පිළිබඳ ආත්ම විශ්වාසයක් අප විසින්ම ගොඩනගා ගත යුතු ය.සිත තුළ තරහව,දුක හටගත් විට සිදු වන්නේ අනුන්ට නොව තමුන්ට  පාඩුවකි.දුක දැනුණු විට තමා දුර්වලයෙක් , විනාශකාරයෙක් ලෙස සිතා සියල්ල  අතහැර දමයි.ජය ගැනීමට උත්සාහ නොකරයි.ජයග්‍රහණ හීන බවට පත් වෙයි.
එනිසා දුක, කලකිරීම විනාශ කර දමා සෑම මොහොතකම සුබවාදීව, සතුටින් ජීවත් වන්නට උත්සාහ කළහොත් සාර්ථකත්වය තුළින් ශ්‍රේෂ්ඨත්වයට පත් වී ලෞකික හා අධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම ඔබට,මට ජීවිතය ජය ගැනීමට අවකාශය ලැබේ.

උත්සාහය අත් නොහරින්න.
ජයග්‍රහණය ඔබේ අත ළඟයි
බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න.
ඔබට ජය!!!!!😊😊😊


Article Writer - Thakshila Srimali