බොහෝ දෙනෙක් ජීවිත කාලය තුළ කරන්නේ අතීතය තුළ සිදු වූ කනගාටුදායක සිදුවීම් ගැන, ඒ වගේම කරන්නට බැරිවුණු කටයුතු පසු තැවෙමින්, අතීතයේ සිදුවූ හොද සිද්ධි ගැන නැවත නැවත සිහි කර සතුටු වෙමින්, අනාගතයේත් තමන්ට සතුටු විය හැකි යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කිරීම.
අතීතයට ඇලෙමින්,අනාගතය කෙරෙහි බලාපොරොත්තු තියා ගනිමින් ඒ බලාපොරොත්තු එසේ ම ඉටුවිය යුතුයි කියලා කල්පනා කරමින් ජීවත් වීම තුළ අහිමි ව යන්නේ තමන්ගේ වර්තමාන ජීවිතය.
ඕනෑම මනුෂ්‍යයෙක් තමන්ගේ ජීවිත කාලයේ දී සොයන්නේ සතුට,සැපය.නමුත් බොහෝ දෙනෙක්ට ජීවිත කාලය තුළ තමා සොයන සතුට,සැපය ලැබෙන්නේ අල්ප වශයෙන්.
ඒකට හේතුව ඔවුන් හොයන සතුට තියෙන්නේ ඒ ඒ අයගේ හිත්වල තියෙන බලාපොරොත්තු මත වීම.
බලාපොරොත්තුවක අවසානය දෙයාකාරයි.එක්කෝ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා,එහෙම නැතිනම් ඉෂ්ට නොවෙනවා.මිනිසා ඇතුළු සියළු සත්වයන් මේ අනුව යම් බලාපොරොත්තුවක් ඉෂ්ට වූ විට ඒ ගැන සතුටු වීමටත්,ඉෂ්ට නොවූ විට ඒ ගැන දුක් වීමටත් වශයෙන් ජීවිතය දෙකට බෙදාගෙන ජීවත් වෙනවා.
එම නිසාම ඒ ජීවිතය තුළ මාරුවෙන් මාරුවට සැපය වගේ ම දුකත් විඳීමට සිදු වෙනවා.
"සුඛස්සානත්තරං දුක්ඛං - දුක්ඛස්සානන්තරං සුඛං
චක්‍රවත් පරිවර්ථන්තේ - දුක්ඛානි ච සුඛානි ච"
(සැපයට පසුව දුකත් , දුකට පසුව සැපයත් පැමිණෙමින් සැප දුක චක්‍රයක් මෙන් පෙරළෙයි.)
මිනිසෙකුට මේ සියල්ලම සිදුවෙන්නේ අතීතය මතකයන්ට හා අනාගත බලාපොරොත්තුවලට තදින් බැඳිලා ඉන්න නිසා.අනාගතය ගැන සැකයෙන් ඉදීමේ යථාර්ථය ගැන දැක්වෙන එක සෙන් කතාවක මෙහෙම තියෙනවා.
-හෙට දවස-
ජපන් යුද සෙබළෙකු තම සතුරු හමුදා කණ්ඩායම අතට හසුවී සිරගත විය. එදින රාත්‍රියේ ඔහුට නින්ද කර එළැඹීම ඉතා අපහසු කටයුත්තක් විය. පසු දින කෙරෙන ප්‍රශ්න කිරීම්, එයින් නොනැවතී කෙරෙන තර්ජන, පහරදීම් ආදිය ගැන සිතද්දී ඔහුගේ සිත සැලෙන්නට පටන්ගත්තේ ය.
එක්වරම ඔහුට සෙන් භික්ෂුවකගේ වදන් කිහිපයක් සිහිවූයේ අහම්බෙන් මෙනි.
"හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..."
"හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..."
එයින්ම සෙබළා සුවයෙන් නිදාගත්තේය.
මේ කතාවෙනුත් අනාගතය ගැන සිත සිතා සිටීමෙන් මේ මොහොතත් තමාට අහිමි වෙන ආකාරය මනාව පැහැදිලි කරනවා.ඊළඟට තමාට යම් අයහපත් දෙයක් සිදුවුණත් ඒ දේ නවතාලිය නොහැකි නම් අවම තරමින් ඒ අවසාන මොහොත පවා සිතේ කම්පා නොවී සිටීමට පුරුදු වීම බුදු දහමේ ඇති ථේරවාද-මහායාන ප්‍රභේදයන්ගේ භේදයකින් තොර ව අගය කරනු ලබනවා.
"අතීතං නානුසෝචන්ති – නප්පජප්පන්ති’ නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති – තේන වණ්ණෝ පසීදති."
"අනාගතප්පජප්පාය – අතීතස්සානුසෝචනා
පච්චුප්පන්නේන යාපෙන්ති – තේන වණ්ණෝ පසීදති."
"අනාගතප්පජප්පාය – අතීතස්සානුසෝචනා
ඒතේන බාලා සුස්සන්ති – නළෝව හරිතෝ ලුතෝති"
(අතීතයේ වූ දේවල් පිළිබඳව කල්පනා කරමින් ශෝක නොකරත්. නොලත් දෙය පිළිබඳ ද ප්‍රාර්ථනා නොකරත්. වර්තමානයේ පවත්නා දෙයින් යැපෙත්. එයින් ශරීර වර්ණය ප්‍රසන්න වේ. නොලත් දේ පිළිබඳව ප්‍රාර්ථනා කරන්නා වූ, අතීතයේ වූ දෑ පිළිබඳව ශෝක කරන්නා වූ අනුවණයෝ කපා දමා රත් වූ පාෂාණයක් මත දමන ලද හරිතවන් බට දණ්ඩක් මැලවී යනුයේ යම් සේ ද එසේ මැලවී යත්.)
-සංයුක්ත නිකාය, දේවතා සංයුක්තය, අරඤ්ඤ සූත්‍රය
ඉහත උදාහරණ තුළින් ද පෙන්නුම් කරනු ලබන්නේ බුදු දහම තුළ නිවන කරා යාමට අනුගමනය කළයුතු සතර සතිපට්ඨානයෙහි ඇති වැදගත්කමයි.
බොහෝ දෙනෙක් අනිත්‍යය වූ ලෝකය තුළ විවිධ විචිත්‍ර අරමුණු හා ඇලෙන්නේත්,කටුක අරමුණු හා ගැටෙන්නේත් ඒවා පිළිබඳව සිහියෙන් මෙනෙහි නොකිරීම නිසා ය.
ඒවායෙහි යථා ස්වාභාවය නොදැකීම නිසාය.
එම නිසා ප්‍රිය අරමුණුවල ඇලෙමින්, ඒවා නැවත නැවත ප්‍රාර්ථනා කරමින් අනාගතයෙහි ද ඒවා ලබා ගැනීමට උත්සහ කරයි.
භද්දේකරත්ත නම් සුවසේ රාත්‍රිය ගෙවීමට මාතෘකා කරගත් සුත්‍රයෙහි ද දක්වා ඇත්තේ ඉහතින් දැක් වූ සෙන් කතාවට සමාන ම කරුණකි.
"අතීතං නාන්වාගමෙය්‍ය, නප්පටිකංඛේ අනාගතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං"
"පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං, තත්ථ තත්ථ විපස්සති
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ‍්‍රෑහයේ"
"අජ්ජේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුවේ
නහි නෝ සංගරං තේන, මහාසේනේන මච්චුනා"
(අතීතය ලූහු නො බඳින්නේ ය.අනාගතය නොපතන්නේ ය.යමක් අතීත ද එය ප‍්‍රහීණ ය, අනාගතය තව ම පැමිණ නැත.
යම් අයෙක් ප්‍රත්‍යුත්පන්න වූ ධර්මය ඒ ඒ තැන විදර්ශනා වශයෙන් දකී ද, පැරදවිය නොහැකි, සෙලවිය නොහැකි වූ ඒ විදර්ශනාව නුවණැති පුද්ගලයා වඩන්නේ ය.
අද අද ම කෙලෙස් තවන වීරිය කළ යුතු ය. මරණය හෙට දැ යි කවරෙක් නම් දනී ද ? මහා සේනා ඇති මරු සමග ගිවිසුමක් නම් නැත්තේ ය.)
-මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසකය,විභංග වග්ගය,භද්දේකරත්ත සූත්‍රය
මේ ආකාරයට බලන විට බුද්ධ දේශනාව පදනම් වන්නේ ම සිහිය පිහිටවීම, වර්ථමානය තුළ සිහියෙන් සිටීම යන කරුණ මත ය,
එහෙත් මේ කරුණු සැලකීමේ දී යම් අයෙකුට එසේනම් බුදු දහමට අනුව අනාගතය සැලසුම් කිරීම නොකළ යුතු ද යන්න ගැන ගැටළුවක් ඇති වේ.
බුදු දහමට අනුව අනාගතය සැලසුම් කිරීමේ කිසි ම ගැටළුවක් නොවේ, බුදුරජාණන් වහන්සේ පවා ශාසනයේ අනාගතය ගැන සිතා විවිධ ආකාරයේ ක්‍රියාමාර්ගයන් ගත් සේක.විනය නීති පැනවීම,බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු නායකත්වය සම්බන්ධව උන්වහන්සේ ජීවමාන සමයේ දී ම සැලසුම් සකස් කර ඒවා ගැන තම අනුගාමිකයන් හා ශ්‍රාවකයන් දැනුවත් කළ සේක.ඒ අනුව බලන විට බුදුරජාණන් වහන්සේ පවා අනාගතය සැලසුම් කර ඇත.
ගැටළුව ඇත්තේ අනාගතය සැලසුම් කිරීම තුළ නොව ඒ සැලසුම් කරන ලද අනාගතය ඒ අයුරින් ම ඉටුවිය යුතු යැයි එයට බැඳිම් හදා ගැනීමයි.
එසේ බැඳීමක් ඇති කර නොගෙන, ඒ අයුරින් ම ඉටුවිය යුතුයැයි නොසිතා අනාගතය සැලසුම් කිරීමේ කිසිදු ගැටළුවක් නැත. එම සැලසුම් ඉටු වීම හෝ නොවීම යන දෙක ම සිදුවිය හැකි බව අවබෝධ කරගෙන එම සැලසුම් කළ යුතු ය.
මේ අනුව සලකා බලන විට බුදු දහම සෑමවිට ම අන්තගාමී නොවී ඕනෑම දෙයක අන්ත දෙක ම දැක එම අන්ත දෙක කෙරෙහි නොඇලී,නොගැටී සිට ජීවිතය සැහැල්ලුවෙන්-සතුටින් ජීවිතය ගෙවීමට ඇති ඉගැන්වීමකි.සතර සතිපට්ඨානය මූල් කරගත් විදර්ශනා මාර්ගය උගන්වන එය විටෙක දර්ශනයකි,ජීවන මාර්ගයකි.
Article writer - G Mangala thero
No comments:
Post a Comment