Showing posts with label scientific. Show all posts
Showing posts with label scientific. Show all posts

Saturday, August 8, 2020

කළු කුහර ගැන දැනගනිමු...






කළු කුහර එහෙමත් නැතිනම් Black Hole කියන්නේ මෑත ඉතිහාසයේ අභ්‍යාවකාශ විද්‍යාව තුළ බොහෝ සෙයින් කතාබහට ලක්වෙන මාතෘකාවක්.ඇත්තටම මොකක්ද මේ කළු කුහරයක් කියන්නේ ?
සරලවම කීවොත් කළු කුහරයක් කියන්නේ මේ විශ්වය තුළ පවතින කිසිම පදාර්ථයකටවත් අවම තරමින් දැනට විශ්වයේ පවතින වේගවත්ම දේ වෙච්ච ආලෝකයටවත් මිදී යාමට නොහැකි අධි ගුරුත්වාකර්ශනයක් සහිත විශ්වය තුළ පවතින ස්කන්ධය වැඩිම වස්තූන්වලට.

කළු කුහර වර්ග දෙකක් තියෙන බව මෙ වෙද්දි හොයාගෙන තියෙනවා.


1.Stellar mass black holes (තාරකා ප්‍රමාණයේ කළු කුහර)

අපේ සූර්යයාට වඩා කීප ගුණයකින් වැඩි තරුවලින්( බොහෝවිට සූර්යයාට වඩා 10 ගුණයක පමණ ස්කන්ධයකින් වැඩි) තමයි තාරකා ප්‍රමාණයේ කළු කුහරයක් බිහි වෙන්නේ.මේ කළු කුහරයක් බිහිවීමට මුලින් තාරකාවක් ලෙස අවුරුදු මිලියන හෝ බිලියන ගණනක් ගත කරනවා.තරුවක් කියන්නේ හයිඩ්‍රිජන් පරමාණු මුල් කරගෙන නිර්මාණය වෙච්ච ග්‍රහ වස්තුවක්.තරුවක් ශක්තිය නිපදවන්නේ මේ හයිඩ්‍රිජන් පරමාණු න්‍යශ්ටික වියලන (nuclear fussion) ක්‍රියාවලිය මඟින් හීලියම් බවට පරිවර්ථනය කිරීමෙන්.මේ අවස්ථාවේදී ඇතිවන විකිරණ බලය තාරකාවේ ගුරුත්ව බලයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා, මෙහෙම ක්‍රියා කරන හින්දා තරුවේ හරය  (core) එක හා පිටත කොටස හා ස්ථායීව පවතිනවා.


මේ විදිහට කාලයක් ගතවෙද්දි තාරකාවේ core එකේ පවතින අධික පීඩනය සහ තාපය නිසා යඩක වැනි බර මූලද්‍රව්‍යයයන් නිපදවෙනවා.මේ විදිහට හයිඩ්‍රිජන් පරමාණු ක්ෂය වෙමින් බර ලෝහ නිපදවීම නිසා තාරකාව මගින් නිපදවන විකිරණ ශක්තිය ටිකෙන් ටික අඩුවෙන්ට පටන් ගන්නවා, අවසානයට තාරකාවේ ගුරුත්වය සහ විකිරණ මඟින් ඇති කරන පීඩනය සමපාත නොවී අස්ථායී භාවයට පත්වීම හින්දා එකවිටම තාරකාවේ පිටත පිහිටි ස්ථරයන් තාරකාව තුළට කඩාවැටෙනවා.මෙහෙම කඩාවැටුණාම විශාල ශක්තියක් හා මූලද්‍රව්‍යයන් විශ්වයට නිදහස් කරමින් සුපර්නෝවා පිපිරීමක් ඇතිවෙනවා.සුපර්නෝවා පිපිරීම අවසානයේ තාරකාවේ මධ්‍යයේ පිහිටි core එක නියුට්‍රෝන තරුවක් හෝ ප්‍රමාණවත් තරම් ස්කන්ධයක් ඇතිනම් කළු කුහරයක් බවට පත් වෙනවා.
මෙම කළු කුහරය බිහිවීමට මුල් වූ තාරකාව කිලෝමීටර මිලියන හෝ බිලියන ගණනක විශ්කම්භයක් සහිත වූවත් කළු කුහරයක් බවට පත්වුණාට පස්සේ ස්කන්ධය හැකිලීම නිසා ඉතා කුඩා තත්වයකට පත්වෙන්ට පුළුවන්.උදාහරණෙකට අපේ පෘථිවිය කළු කුහරයක් වීමටනම් එහි සම්පූර්ණ ස්කන්ධය අපි පාවිච්චි කරන කාසියක් තරම් කුඩා වෙන ගාණටම හැකිළෙන්ට ඕනෑ.






2.Super massive black holes (සුපිරි දැවැන්ත කළු කුහර)


මෙම කළු කුහර බොහෝ විට දක්නට ලැබෙන්නේ මන්දාකිණියක(Galaxy) මධ්‍යයේ වන අතර අපගේ සෞරග්‍රහ මණ්ඩලය අයිති වෙන ක්ෂීර පථ මන්දාකිණිය(Milky Way Galaxy) මධ්‍යයේ පිහිටලා තියෙන කළු කුහරය හදුන්වන්නේ Sagittarius A කියලා.අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටලා තියෙන්නේ ඒ කළු කුහරයේ ඉදලා ආලෝක වර්ෂ(ආලෝකය වර්ෂයක් තුළ ගමන් කරන දුර=296000x60x60x24x365) 26000ක් විතර දුරින්.
මේ කළු කුහරයේ ප්‍රමාණය අපේ සූර්‍යයාගේ ස්කන්ධය වගේ ස්කන්ධ මිලියන 4ක්(සූර්‍ය ස්කන්ධ මිලියන 4ක්) විතර වෙනවා.
ඒත් මීටත් වඩා විශාල සුපිරි දැවැන්ත කළු කුහර මේ විශ්වයේ තියෙනවා.මෑතකදී ඡායාරූප ගත කළ M87 කියන කළු කුහරය අපේ සූර්යයාගේ ස්කන්ධය වගේ ස්කන්ධ බිලියන 6.5ක් විතර වෙනවා.
නමුත් තාරකා ප්‍රමාණයේ කළු කුහර හැදෙන හැටි ගැන විද්‍යාඥයන්ට පැහැදිලි කරන්ට පුළුවන් වුණත් මේ අති විශාල කළු කුහර හැදෙන හැටි ගැනනම් තාම පිළිගත් මතවාදයක් නෑ.
මතවාද කිහිපයක් මේ වෙද්දි ඉදිරිපත් වෙලා තිබුණත් ඒවාත් විවාදාපන්නයි.

1.කුඩා කළු කුහර බොහෝ ප්‍රමාණයක් එකතු වී දැවැන්ත කළු කුහරයක් නිර්මාණය වීම.
2.විශාල ප්‍රමාණයේ වායු වලාවක් ගුරුත්වාකර්ශණය නිසා සංකෝචනය වීමෙන්.
3.අඳුරු පදාර්ථ මගින් ඇති වූ තාරකා(dark stars) එකට එකතු වී නිර්මාණය වීම.(අඳුරු තාරකා යනු තවමත් සොයාගෙන නොමැති උපකල්පනයකට සීමා වූවක් පමණි.)
4.කුඩාවට බිහි වූ කළු කුහරයක් අවට ඇති වායු වලා,තාරකා,ආකාශ වස්තු ගිල දමා විශාල වීම.

මේවාගෙන් පළවෙනි කරුණ සිදුවෙන්ට තියෙන ඉඩකඩ බොහොම අඩුයි.මොකද විශ්වය බිහිවෙලාත් දැනට අවුරුදු බිලියන 13.5ක් විතර තමයි වෙන්නේ.ඒ හින්දා කළු කුහර බිහි වෙලා පසුව තවත් කළු කුහර සමඟ එක් වීමට එම කාලය මදි කියලායි උපකල්පනය කරලා තියෙන්නේ.


* කළු කුහර නිරීක්ෂණය කිරීම.



කළු කුහර වෙනත් ආකාශ වස්තූන් වගේ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නෑ, මොකද කළු කුහර කියන්නේ ආලෝකය පවා ඇද ගන්නා අධි ගුරුත්වාකර්ශණයකින් යුක්ත අභ්‍යාවකාශ වස්තුවක් නිසා එයින් ආලෝකයක් පිට කරන්නේ නෑ.එහි වටා තියෙන Accretion Disk එක මගින් දෘෂ්‍ය ආලෝකය නිකුත් කළත් එය නිරීක්ෂණයට අභ්‍යාවකාශයේ තිබෙන දූවිලි අංශු වැනි දේවල්වලින් බාධා එල්ල වෙනවා.ඒ නිසා කළු කුහර නිරීක්ෂණය සඳහා විද්‍යාඥයන් යොදාගන්නේ රේඩියෝ දුරේක්ෂ (Radio Telescope) කියන දුරේක්ෂ වර්ගය.

රේඩියෝ දුරේක්ෂ




මේ රේඩියෝ දුරේක්ෂවලින් සාමාන්‍ය දුරේක්ෂවලින් වගේ දෘශ්‍ය ආලෝකය හරහා කරන නිරීක්ෂණය කිරීම් නෙවෙයි සිදු කරන්නේ.මේ කළු කුහරවල ප්‍රධාන වශයෙන් Singularity,Event Horizon,Innermost Stable Orbit,Accretion Disk කියලා කොටස් තුනක් තියෙනවා.මෙයින් singularity කියන කොටස තමා අධි ඝනත්වයකින් යුතු කළු කුහරයට අයත් වෙන්නේ.Event horizon එහෙමත් නැතිනම් සිදුවීම් ක්ෂිතිජය කියන කොටස කළු කුහරයේ අධික ගුරුත්වාකර්ෂණය බල පවත්වන කොටස,මේ කොටසෙන් ඇතුළට ගමන් කරන කිසිම දෙයකට නැවත ගැලවී යාමේ හැකියාවක් නෑ.ඒ වගේම යම්කිසි ස්කන්ධයක් තියෙන වස්තුවකට කළු කුහරයක් වටා කක්ෂගතවීමට හැකි අවසාන සීමාව තමා Innermost Stable Orbit කියන්නේ.මෙ දක්වා ඕනෑ ම ස්කන්ධයක් සහිත වස්තුවකට කළු කුහරය තුළට ඇදී නොයා කක්ෂගත වීමේ හැකියාව තියෙනවා.  ඊ‍ළඟට තියෙන Accretion Disk එක කියන්නේ කළු කුහරය වටා එහි ගුරුත්වාකර්ශනය නිසා අධික වේගයෙන් ගමන් කරන දූවිලි හා වායු වලාවක්.


මේ විදිහට ගමන් කරන දූවිලි වළාව වේගයෙන් ගමන් කරන හින්දා මෙයින් රේඩියෝ තරංග(Radio Waves),X-කිරණ(X-Rays),ආලෝකය පිටවෙනවා.නමුත් එයින් නිකුත් වෙන ආලෝකයට විශ්වයේ තියෙන වායු වළා,දූවිළි අංශු වගේ දේවල්වලින් බාධා ඇතිවෙන්ට පුළුවන්.ඒ නිසා ඒ ක්‍රමය එතරම් සාර්ථක නැති හින්දා තමයි ඉහතින් පෙන්නලා තියෙන රේඩියෝ තරංග මේ කළු කුහර නිරීක්ෂ‍ණය කිරීමට යොදාගත්තේ.
මේ රේඩියෝ දුරේක්ෂවල තියෙන්නේ විශාල පැරාබොලික් තැටියක්(parabolic dish) එකක්.මේකට ග්‍රහණය කරගන්න රේඩියෝ තරංග දත්ත  සුපිරි පරිගණක භාවිතා කරලා විශ්ලේශණය කරලා තමයි පියවි ඇසට පෙනෙන ඡායාරූපයක් බවට කළු කුහරයේ ඡායාරූපය පත් කරේ, ඒ වගේ ම ලෝකයේ ස්ථාන කීපයක තිබුණ රේඩියෝ දුරේක්ෂ 8ක් සම්බන්ධ කරලා නිර්මාණය කරගත්ත Virtual Telescope එකක් මගින් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ.මේ විදිහට සකස් කරගත්ත Virtual Radio Telescope එක Event Horizon Telescope(EHT) නමින් හඳුන්වනවා.

event horizon telescope එක නිර්මාණය කිරීම සඳහා යොදාගත් Radio telescopeවල පිහිටීම


මේ විදිහට ඡායාරූප ගත කළේ මුලින් සඳහන් කළ අපිට ආලෝක වර්ෂ මිලියන 53ක් දුරින් පිහිටලා තියෙන M87 කියන super massive වර්ගයේ කළු කුහරය.


EMH මඟින් ලබාගත් M87 කළු කුහරයේ ඡායාරූපය


* කළු කුහරයක අවසානය
විශ්වයේ තියෙන අනෙක් හැම දේකටම වගේම කළු කුහරයටත් අවසානයක් තියෙනවා.නමුත් කළු කුහරයක අවසානය සිදු වෙන්ට ගතවන කාළයනම් ගණන් කළ නොහැකි තරම් කාලයක්,සමහරවිට ඒ අවුරුදු ට්‍රිලියන ට්‍රිලියන ගණනක් වෙන්නට පුළුවන්.විශ්වය තුළ සෑම තැනකම ඇතිවන Virtual Particles තමා කළු කුහරයක ආයුෂ නිමා වීමට හේතු වෙන්නේ.මේ Virtual Particleවල එකක් ධන (+) ස්කන්ධයකිනුත් අනික සෘණ (-) ස්කන්ධයකිනුත් යුක්ත වෙනවා.මේ වගේ Virtual particle කළු කුහරයක Event Horizon එක ආසන්නයේ නිර්මාණය වුණොත් සමහරවිට එහි ධන ස්කන්ධයට කළු කුහරයේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී යාමටත් සෘණ ස්කන්ධයක් සහිත Virtual particle කළු කුහරය තුළට ඇදී යාමටත් පවතින හැකියාව වැඩියි.මේ ආකාරයට කළු කුහරය තුළට ඇදී යන සෘණ ස්කන්ධයක් සහිත Virtual Particles නිසා කළු කුහරයේ ස්කන්ධය ටිකෙන් ටික අඩුවෙන්නට පටන් ගන්නවා.ඒ වගේ ම කළු කුහරයේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී යන ධන Virtual Particle විකිරණ ලෙස පිට වෙනවා.ඒවා හදුන්වන්නේ Hawking Radiation(මෙය සොයාගන්නා ලද්දේ Stephen Hawking නම් විද්‍යාඥයා විසිනි.) නමින්.මේ විදිහට කළු කුහරයක ස්කන්ධය අඩුවෙන්ට අඩුවෙන්ට මේ ක්‍රියාවලිය වේගවත් වෙනවා.මෙහෙම ස්කන්ධය අඩුවේගෙන ගිහින් අවසානයේ දී අධික පිපුරුමක් ඇතිවෙලා කළු කුහරයේ සියළු ශක්තිය විශ්වයට මුදා හැරීමෙන් කළු කුහරයේ අවසානය සිදු වෙනවා.


(සියළු ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Article Writer - G Mangala Thero


Friday, June 26, 2020

මොනවාද මේ Gravitational Waves ?



Gravitational Waves එහෙමත් නැතිනම් ගුරුත්ව තරංග කියන්නේ මෑතක් වෙනකන් ම සංකල්පයක් විදිහට විද්‍යාව තුළ පිළිගත්ත දෙයක්,
නමුත් පළවෙනි වතාවට 2015 සැප්තැම්බර් 14 වෙනිදා මේ ගැන පර්යේශණ කරපු විද්‍යාඥයන්ට මේ ගුරුත්ව තරංගයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබුණා.

ගුරුත්වාකර්ශනය ගැන අයිසැක් නිව්ටන් කියපු දේ නෙවෙයි ඇල්බට් අයින්ස්ටයින් කීවේ.
අයිසෙක් නිව්ටන්ගේ නියමයට අනුව නිවුටන්  කිව්වේ ගුරුත්ව බලය ඇතිවෙන්නේ වස්තුන් දෙකක් අතර ස්කන්ධයේ ගුණිතයෙන් හා ඒවායේ ස්කන්ධ  කේන්ද්‍ර අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම වන  ලෙසට කියලා.

නමුත් ඇල්බට් අයින්ස්ටයින් ගුරුත්වාකර්ශනය කියලා අර්ථ දැක්වූවේ යම්කිසි පදාර්ථයක් නිසා කාල අවකාශය තුළ ඇතිවන වක්‍රතාවය නිසා ඊට වඩා ස්කන්ධයෙන් අඩු වස්තූන් වැඩි ස්කන්ධයකින් යුක්ත වස්තුව දෙසට ඇදී ඒමක් ලෙසට.
පහත තියෙන ග්‍රැෆික් නිර්මාණයෙන් පෙන්වලා තියෙන්නේ සූර්යයා නිසා කාල අවකාශය තුළ ඇතිවන වක්‍රතාවය නිසා පෘථිවිය සූර්යයා වටා කක්ශගත වී ඇති ආකාරය,
මෙහි දැලක් ආකාරයට සංකේතාත්මක ව දක්වලා තියෙන්නේ කාල අවකාශය.




ඉතින් මේක බැලුවාම කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙන්ට පුලුවන් කාල අවකාශයේ වක්‍රතාවය නිසා පෘථිවිය කක්ශගත වෙලා නොතිබී, සූර්යයා දෙසට ඇදිලා ගිහින් සූර්යයාගේ ගැටෙන්නේ නැතිවෙන්ට හේතුව මොකක්ද කියලා.
ඒකට හේතුව තමා පෘථිවියට මේ කාල අවකාශය කියන දෙයින් කිසිම බලපෑම් කළ හැකි තරමේ ඝර්ෂණයක් ඇති නොවීම.පහත ඡායාරූපයේ තියෙන විදිහට අපි කිසියම් ඇදෙන සුළු රෙද්දක් වැනි දෙයක් හොදින් ඇදලා අල්ලාගෙන ඒක මැදට යම් කිසි බර දෙයක් දැම්මොත් එතන වක්‍ර වෙන ආකාරය බලාගන්න පුලුවන්, ඊලඟට ඊට වඩා බරින් අඩු දෙයක්(අධික ඝර්ෂණයක් ඇති නොවීම සදහා බොහෝ විට ගෝලාකාර දෙයක්) ඒ දෙසට විසි කළොත් එය කිහිප විටක් කැරකී ගොස් අවසානයට විශාල වස්තුව හා ගැටීමක් සිදු වෙනවා.(පහත ඡායාරූපය බලන්න) 



එසේ වීමට හේතුව එයට යොදාගත් ඇදෙන සුළු දෙයින් ඇති කරන ඝර්ෂණය.
නමුත් කාල අවකාශය මඟින් එසේ ඝර්ෂණයක් ඇති නොකරන නිසා සූර්යයා වටා ග්‍රහලෝක,ග්‍රාහක කොටස් හා ග්‍රහලෝක වටා උප ග්‍රහයින් එක දිගටම කක්ෂගත වෙලා පවතිනවා.
ඉතින් මේ විදිහට තියෙන මේ ගුරුත්ව තරංග මෑතක් වෙනකම් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ලැබුණේ නෑ.
මුලින් කීවා වගේ පළමු වරට ගුරුත්ව තරංගයක් නිරීක්ෂ‍ණය කළේ 2015 සැප්තැම්බර් 14 වෙනිදා, ඒ වගේ ම මේ ගුරුත්ව තරංග කියන ඒවා විශ්වයේ ඈත කෙලවරකිනුයි ඇවිත් තියෙන්නේ, ඉතින් ඒවා පෘථිවියට ළඟා වෙද්දි බොහොම දුර්වල මට්ටමක, තව විදිහකට කීවොත් සාමාන්‍යයෙන් තරංග නිරීක්ෂණය කිරීමට යොදාගන්නා උපකරණවලින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නෑ.
2015 දී නිරීක්ෂණය කරපු ගුරුත්ව තරංගය ඇතිවීමට හේතුව වෙලා තිබුණේ මීට වසර බිලියන 1.3කට කලින් විශ්වයේ ඈත කෙලවරක තිබුණු කළු කුහර දෙකක්(කළු කුහර ගැන මෙතනින් කියවන්න) එකට ගැටීම නිසායි. ඒ ඇතිවෙච්ච තරංග පෘථිවිය පසුකළේ 2015 සැප්තැම්බර් 14 වෙනිදායි.
පහත රූපයේ දැක්වෙන්නේ කළු කුහර දෙක ගැටීමට යන අවස්ථාවේ දී කාල අවකාශය තුළ ගුරුත්ව තරංග හටගන්නා ආකාරයයි.


කළු කුහර දෙකක් ගැටීමට පෙර කක්ශගත ව පවතින අවස්ථාවේ දී ගුරුත්ව තරංග හටගන්නා ආකාරය


ගුරුත්ව තරංග ඇතිවීමට හේතුවන අවස්ථා 3ක් නාසා ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙනවා.

1. සුපර්නෝවා තාරකා පිපිරීමක ප්‍රතිඵලයක් වශයෙන්
2.විශාල තරු දෙකක් එකිනෙකා වටා කක්ෂගත වන විට
3.කළු කුහර දෙකක් එකිනෙක වටා කක්ෂගත වී ඒකාබද්ධ වන විට


ගුරුත්ව තරංග නිරීක්ෂණය කරන්නේ කොහොමද ?

කලිනුත් කීවා වගේ මේ ගුරුත්ව තරංග කියන දේවල් සාමාන්‍ය උපකරණවලින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නෑ, ඒ නිසාම විද්‍යාඥයන් මේකට වෙන ම උපකරණයක් නිපදවූවා.ඒ සඳහාම නිර්මාණය කරපු උපකරණය තමා  LIGO (Laser Interferometer Gravitational-Wave Observatory) කියන්නේ.
ගුරුත්ව තරංගයක් කාල අවකාශය හරහා ගමන් කරද්දි කාල අවකාශය හැකිලීමකට ලක් වෙනවා.
මේ උපකරණය මඟින් කරන්නේ ඒ කාල අවකාශයේ ඇතිවන සුළු හැකිළීම් නිරීක්ෂ‍ණය කරන එක.
මේ උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ L අකුරේ හඩේට විහිදුණු එක් පාදයක් කිලෝමීටර් 4ක් පමණ දිග vaccume tube දෙකක් ඔස්සේ ඒ tube දෙකේ එක් පැත්තක සිට අනිත් පැත්ත දක්වා ලේසර් කිරණ එල්ල කිරීම මඟින් අනිත් කෙළවරේ සවිකරලා තියෙන දර්පනවල එම ලේසර් කිරණ වැදිලා නැවත පැමිණීමට ගතවන කාලය නිරීක්ෂණය කිරීමට detector දෙකක් සවිකරලා තියෙනවා,කිසිදු ගුරුත්ව තරංගයක් ගමන් නොකරන අවස්ථාවේ දී මේ ලේසර් කිරණ දර්පනය දක්වාත්, දර්පණයේ සිට ඩිටෙක්ටර් එක දක්වාත් ගමන් කිරීමට ගතවන කාලය සමානයි.යම් විටෙක ඒ කාලයන් අසමාන වුණොත් ඒ අවස්ථාවේ දී විද්‍යාඥයන්ට නිගමනයකට පැමිණීමට පුළුවන් ඒ අවස්ථාවේ දී ගුරුත්ව තරංගයක් මේ හරහා ගමන් කරලා තියෙනවා කියලා.
ඇමරිකාව තුළ මේවා දෙකක් ඉදිකරලා තියෙනවා. 
එකක් Livingston, Louisianaවල වනාන්තරයක් මැදත් - අනික Hanford, Washingtonවල කාන්තාරයක් මැදත් පිහිටා තියෙනවා.

ගුරුත්ව තරංග අනාවරකයන්ගේ ක්‍රියාකාරීත්වය

ගුරුත්ව තරංග අනාවරකයන් දෙකෙහි පිහිටීම


මේ විදිහට නිර්මාණය කරලා තියෙන මේ උපකරණ දෙකට මුලින් ම ගුරුත්ව තරංගයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණේ මුලින් සදහන් කරා වගේ 2015 සැප්තැම්බර් 14 වෙනිදා.මේ විදිහට ගුරුත්ව තරංග පදාර්ථයක් හරහා ගමන් කරද්දි එම පදාර්ථයන් හැකිලී දිග හැරීමකට ලක් වෙනවා.ඒ කියන්නේ එම තරංග පෘථිවිය හරහා ගමන් කරන අවස්ථාවේ දී පෘථිවිය, පෘථිවියේ සිටින ජීවීන්ගේ දේහ පවා හැකිලී දිග හැරීමකට ලක් වුණා,
නමුත් මුලින් සදහන් කළා වගේ ඒක පියවි ඇසින්වත්-සාමාන්‍ය  මිනුම් උපකරණවලින්වත් නිරීක්ෂණය කළ නොහැකි තරමේ ඉතා සියුම් වෙනස්වීමක්.
එම තරංග පෘථිවිය හා සූර්යයා අතර ඇතිකරපු වෙනස්කමත් පරමාණුවක විශ්කම්භයටත් වඩා අඩුයි,පෘථිවිය හා සූර්යයා අතර දුර 149,600,000 KM(කිලෝමීටර් දාහතරකෝටි අනූහය ලක්ෂයක්) විතර වෙනවා,කාබන් පරමාණුවක විශ්කම්භය වෙන්නේ මීටරයෙන් බිලියන දහයෙන් පංගුවක් වගේ ප්‍රමාණයක්.
ඒ විදිහට බලද්දි ඒ වෙනස්කම ගණන් නොගත හැකි තරමේ වෙනසක්.නමුත් ලෝකයේ තියෙන නිවැරදි ම අඩිකෝදුව වෙච්ච LIGO උපකරණයන්ට මේ වෙනස වුණත් මැනගැනීමේ හැකියාව තියෙනවා.ඒ නිසා 2015 දී මෙම උපකරණ හරහා ගමන් කළ ගුරුත්ව තරංගයන් ග්‍රහණය කරගැනීමට හැකිවුණේ.
මින් පසුවත් මෙම උපකරණවලට ගුරුත්ව තරංගයන් කිහිපයක් ම ග්‍රහණය කරගැනීමේ හැකියාව ලැබුණු බව සඳහන් වෙනවා.ඒ සියල්ල ligo ව්‍යාපෘතියට අදාල වෙබ් අඩවියේ දක්වා තියෙනවා.ඒ ගැන වැඩි විස්තර අවශ්‍යයනම්  මෙතැනින් >>> GW detections (Click here) ගිහින් කියවීමේ හැකියාව තියෙනවා.


Article Writer - G Mangala thero