Saturday, June 20, 2020

ජීවිතය යන මහා බර - කෙලෙසද සැහැල්ලු කර ගන්නේ



"බිදුණු කලට අමතක කළ නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කෙලෙසක සුරකිම් ද ආදරෙන්."

මෙම සුමිහිරි ගීතය ඇසෙන විට ඔබට හැගෙන්නේ කුමක්ද? එක්වරම බිදෙන වීදුරු වගේ ද්‍රව්‍යයන් පිළිබඳ සිතට හැගෙන්නේ ද? නැත්නම් මෙහි පවසා ඇති ගැඹුරු අර්ථය වටහා ගැනීමට හැකියාව ලැබේ ද? ප්‍රියානන්ද විජේසුන්දර මහතා ලියන ලද පුන්සිරි සොයිසා නම් ගායකයා විසින් ගායනා කරනු ලබන මෙම ගීතය ඉතා අපුර්ව වූ ගැඹුරු අර්ථයක් මිනිසාට වටහා දීමට උත්සාහයක යෙදී ඇති බව තේරුම් යාමට වැඩි වෙලාවක් ගත වන්නේ නැත.

කුමක්ද මේ ගීතයෙන්  වටහා දීමට ගන්නා උත්සාහය ? මෙහි දක්වා ඇති ගැඹුරු දහම අප බුද්ධියෙන් විමසා බැලිය යුතු ය.බුදු දහමට අනුව වාග් සුචරිතය,කාය සුචරිතය පිළිබඳ උගන්වනු ලබයි.ජීවිතයේ තිබෙන අනිත්‍ය,දුක්ඛ බව වගේම වෙනස් වන බව,බිදෙන සුළු බව  අපට තේරුම් යාමට මෙම ගීතය රචනා කර ඇති බව අර්ථය නිවැරදිව තේරුම් ගැනීමෙන් වටහා ගැනීමට හැකියි.ඉහත දැක්වූ අනිත්‍ය යනාදී කරුණු මොහොතින් මොහොත දකිමින් ඒ අනුව ක්‍රියා කරනවා නම් දුක වේදනා සහ සුඛ වේදනා අපට ඇති නොවේ.ගීතයේ සදහන් කරන ආකාරයට අපගේ මේ ජීවිතය බිඳෙන බඳුන් ලෙස සිතා ක්‍රියා කිරීමට අපට නොහැකි මන්ද?

ජීවිතයක් අවසන් වී තිබෙද්දී එය අපගේ සිතින් අමතක නොකර දුකෙහිම ගැලී සිටියහොත් ඒ වෙනසට අනුව හැඩ නොගැසුණහොත් කවදා හෝ විදීමට,විනාශ වීමට තිබෙන මෙම ජීවිතය අප කෙලෙස ගත කළ යුතුදැයි කියා අප තේරුම් ගෙන අවබෝධ කර ගත යුතුය.
ජීවිතය අපට කොයි මොහොතේ,කොයි දිනයක,කුමන අවස්ථාවක අත්හැර යෑමට සිදු වේ දැයි අපට කිව නොහැකි ය.මෙය විනාශ වීමට වයස් භේදයක් නැත.මහලු වියට ගොස් මරණයට පත් වේ යැයි අපට නිශ්චිතව කිව නොහැක.වර්තමානයේ බොහෝ තරුණ පිරිස්,ළමා වියේ පසුවන අය අකාලයේ මරණයට පත් වේ.ඒ නිසා අපට තේරුම් ගැනීමට ඇති එකම සත්‍යය නම් අපගේ ජීවිතය කුමන හෝ වෙලාවක අත්හැර  යෑමට තරම් අප හිත ශක්තිමත් කරගෙන සිටිය යුතු බව යි.
අප උපන්දා සිට ගෙවන ජීවිතයට අනන්‍යතාවයක් ගොඩනඟාගෙන ඒ ඔස්සේ ජීවිතය ජීවත් කරයි.ඒ වගේම අප විසින් තෝරාගත්  ජීවිතයන්,අපගේ සමීපතමයන්  කරගෙන ඒ අයට ආදරය කිරීමට පෙළඹේ.ඒවා නිසාම අපි හිංසා පීඩනයට ලක් වේ.ශෝක වෙයි. එතන අපට ඇති වන්නේ දුක් වේදනාව පමණි.ඒ වගේම කීර්තියට,ප්‍රශංසාවට ලක් වීම තුළින් අප සතුටු වෙයි.මෙය සුඛ  වේදනාව ලෙස හඳුන්වනු ලබයි.

මෙසේ ඇතිවන  සුඛ හා දුක්ඛ වේදනාවන් තුළින් අපගේ මානසික ස්වභාවය ද තීරණය කරයි.එනම් අප එකිනෙකාට ලබා ඇති අප්‍රමාණ අගයන් අනුවයි.අප සිතන දෙය ඔවුන් තුළින් අපට නොළැබුනහොත් අපගේ සිතෙහි ක්‍රෝධය,ඊර්ෂ්‍යාව ආදී   දුර්ගුණයන් වැඩීමක් සිදු වේ.
අප එසේ නම් කළ යුත්තේ අන් අයගේ ජීවිත වලට අගයන් නොදී සිටීමද ? නැත.අප තේරුම් ගත යුත්තේ ඉහත ගීතේ සදහන් ආකාරයට ජීවිතය කොයි මොහොතේ,කොයි ආකාරයට වෙනස් වුවත් අප එම වෙනස තේරුම් ගෙන ආදරය කළ යුත්තේ ජීවිතය යනු  බිඳෙන,නැතිවන දෙයක් යැයි දැනගෙන ය.අප අපගේ ජීවිත වලට වගේම අපගේ නොවන ජීවිත වලටත් මෙලෙස ආදරය,කරුණාව  දැක්විය යුතුය.බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රකට දහම් කරුණක් නම් 'සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා' යනුවෙනි.එනම් 'සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!' යනුවෙනි.
මෙහිදි බුද්ධියෙන් සෑම දෙයම තේරුම් ගැනීම තුළින් ලෝභ,ද්වේශ,මෝහ යනාදියයෙන් බොහෝ දුරට දුරු වූ මෛත්‍රී සම්පන්න සමාජයක් අපට බිහිවෙයි.එලෙස බිහිවන සමාජය අපගේ ජීවිත වලට කොයිම මොහොතක්වත් බරක් වන්නේ නැත.නිවන පවා ළගා කර ගැනීමට හැකි වන්නේ මෙවන් ජීවිත වලටයි.

ඔබ සිතන්න අප කන්දක් තරණය කිරීමේදී පුළුවන් තරම් බර ගෙන යාම අඩු කරයි.කුමක්ද යත් බර අඩු කරන තරමට අපට කන්දට නැගීම පහසු වනවා මෙන්ම සිතනවාටත් වඩා ඉක්මනින් අපගේ ඉලක්කය ජයග්‍රහණය කර ගැනීමට ද, එමගින් හැකියාව ලැබේ.ජීවිතයද එසේ ය.ජීවිතය ඉදිරියට ගෙනයාමට නම් ඉහත කී දුර්ගුණයන් හිතින් අයින් කර ගැනීම තුළින් විමුක්තියට ඉක්මනින් නිදහසේ ළගා වීමට හැකියාව ලැබෙයි.
අප කුඩා කාලයේ සිට විශාල මානසික පීඩනයකින්  ජීවිතය ගෙනයාමට උත්සාහ කරයි.මෙය අපගේ ජීවිත බරට බොහෝ ලෙස බලපායි.අපගේ සිත තුළ වෛරක්කාරයෙක් , තරහා කාරයෙක් සිටී නම් ඒවා ජීවිතය තිබෙන තුරාවට ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීම අපේ ජීවිතය අපිම විනාශ කර ගැනීමක් වැනිය.
ඒ වගේම තමා මිතුරන් වැඩි වීම නිසාද අපගේ  ජීවිතයට බරක් ඇතිවෙන බව ධර්මයට අනුව පවසයි.එනම් සතුරන් කෙරෙහි තරහව ඇති වනවා මෙන්ම මිතුරුකම ඇලීම නිසා හිතේ ලෝභය ද ඇති වේ.පවු කරන පුද්ගලයා වගේම පින් කරන පුද්ගලයා ද  සිතේ බරක් උසුලාගෙන ජීවත් වෙයි.එනම් පින් කරන පුද්ගලයා තමන් බරක් උසුලාගෙන සිටින බව ඔහු/ඇයවත් නොදන්නා බවයි සදහන් කරන්නේ.සුත්ත නිපාතයේ සුද්ධට්ඨක සූත්‍රයේ සඳහන් පරිදි "පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො"  සංකල්පයට අනුව පිනෙහි හා පවෙහි නොඇලුනු,නොගැටුණු සිත් ඇති ව නිදහස්ව කළ යුතු දෙය කරමින් සිටීම ජීවත් වීම බව පෙන්වා දෙනු ලබයි.මෙයින් පින් නොකළ යුතුයැයි නොකියවෙන අතර, පිනෙහි ඇලීමෙන් වැළකී කටයුතු කිරීමට අනුබල දෙයි.
මෙලෙස බරක් නැති ජීවිතය පිළිබඳ අපට තේරුම් ගැනීමට හැකි වන්නේ 'දැන් මම ලෑස්තියි මැරෙන්න කියා' කලබල නොවී එම සත්‍යය තේරුම් ගැනීමට හැකි පුද්ගලයෙකුට පමණයි.මරණයට අපට ලෑස්ති වී සිටීමට නොහැකියි.එයද බරකි.අපගේ සිතට අනුව රෑට නින්දට යන විට කොයි දවසක හෝ නින්ද ගියාම නැගිට්ටේ නැතුවාට කමක් නෑ  කියා නිදාගැනීමට අප අපගේ ජීවිතය සැහැල්ලු කරගෙන නම් එතනයි අප හරියාකාරව ජීවිත බර  ඉවත් කරගෙන සිටින්නේ.
මේ ආකාරයට ඉහත සත්‍යය තේරුම් ගෙන ඒ ඔස්සේ ජීවිතය බරින් තොරව ඉදිරියට ගෙන යාමට හැකි නම් ජීවිතය නිදහස්,සැපවත් වී ඇති බව අපට තේරුම් යයි.
ධර්මයට අනුව අප හැම වෙලාවෙම  ක්‍රියා කරමු.එවිට ජීවිතය පහසුවෙන් ඉලක්ක කරා ළගා කර ගැනීමට හැකියාව ලැබෙනවා සත්‍යයයි.

Article Writer - Thakshila Srimali

No comments:

Post a Comment