Friday, May 29, 2020

ජීවිතය ජය ගන්නේ කෙසේද ?



ජීවිතය නම් බාධක , කම්කටොලු මැඩගෙන ඉදිරියට වීර්යය වඩාගෙන  යන ගංගාවක් නම් එහි මූලික පරමාර්ථය වනුයේ සප්ත මහා සාගරය තුළට එක් වීමයි.ගංගාවක් සෑම විටම ගල්පර තුළින් සහ වෙනත් දෑ තුළින් ගමන් කරන්නේ එය තමන්ට බාධාවක් නොකරගෙන තමන්ගේ ඉලක්කය උදෙසා ගමන් කිරීමට තිබෙන බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි.

උසස් මනසකින් යුත් මිනිසා යන පුද්ගලයා ද එසේය.අප සියල්ලෝම මිනිසුන් වශයෙන් බොහෝ සිතුම් ,පැතුම් , අභිලාෂයන් සිතේ පෙරදැරි කරගෙන ජීවත් වෙයි.අප සැමවිටම බලාපොරොත්තු ගොන්නක් ජීවිතය තුළ රදවාගෙන ඉදිරියට යෑමට උත්සාහ කරයි.
මිනිසා උත්සාහය තුළින් බලාපොරොත්තු වන්නේ ජීවිතය ජය ගැනීම නොවේද? 
මෙලෙස ජීවිතය ජය ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවක ම සිත,කය හා වචනය යන ත්‍රිවිද්වාර මූලික කරගෙන උපරිම වශයෙන් උත්සාහ දරන මිනිසා එය භෞතික හා අධ්‍යාත්මික වශයෙන් ද ජය ගැනීමට උත්සාහ දරන බව මේ සමාජයේ සිටින විවිධ පුද්ගලයන් නිරීක්ෂණය කිරීමෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබෙයි.

එසේ නම් ජීවිතය ජය ගත්තා යැයි අපට සතුටු විය හැක්කේ කුමන අංශය තුළින් අප උත්සාහ දැරුවොත් ද යන වග අපට තේරුම් ගැනීමට අපහසු නොවේ.එනම් සැබෑ ලෙසටම ගත් කල ජීවිතය ජය ගත්තා යැයි පවසන්නේ මෙම අංශ දෙකෙන් ම අප ජය ගත්තොත් පමණි.

මිනිසුන් සෑම විටම ලෞකික අංශයෙන්  පමණක් ජය ගැනීමට උත්සාහ දරයි.මෙහිදී එදිනෙදා ජීවිත් වීමට අපට අවශ්‍ය බාහිර දේ සමග ඉන්ද්‍රියයන් ඇසුරු කරගෙන ඉන්ද්‍රිය ගෝචර වන ආකාරයට පහසු, යහපත්, හොඳ සහ සැපවත් ආකාරයට ජීවත් වීමට ලැබෙන දේවල් ම ලැබෙනවානම් පමණක් අප සතුටට පත් වෙයි.මෙහිදී ජීවිතය විදවන දෙයක් නොවන බවත් විදිය  යුත්තක් ලෙස සිතා අප නිරන්තරයෙන් කටයුතු කිරීමට පෙළඹේ.

නමුත් සෑම විටම එකම ආකාරයෙන් අපට මෙලෙස සතුටට පත් වී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැත.අප  නොසිතෙන ආකාරයෙන්, නොසිතෙන මොහොතක අපට නොගැළපෙන දෑ අපගේ ජීවිතයට ළං වේ.ඒවා ඉවත් කර ගැනීමට අප බුද්ධියෙන් සිතා  අපරමිත උත්සාහයක්, කැපවීමක් හා මහන්සියක් සිදු කිරීම තුළින් අපගේ ජීවිතය ජය ගැනීමට පහසු වේ.

ආධ්‍යාත්මික වශයෙන් ජීවිතය ජය ගැනීම යනු විශිෂ්ට ලෙස සදාතනික සුව පහසුව ලබා ජීවිතය ජය ගැනීමයි.මෙම ජය ගැනීම අප කාටත් ලේසියෙන් ලබා ගත නොහැකි දෙයකි.මිනිසා සෑම විටම පරාජයට පත් වන්නේ භෞතික වගේම  ලෞකික දේ ම පමණක් ලබා ගැනීමට උත්සාහ දැරීම තුළිනි.
අප මෙම පරාජය තුළින් සිතට ගත යුතු එක් කරුණක් ඇත.එනම් අප විසින් කළ යුත්තේ ලෞකික  වශයෙන් ජීවිතය ජය ලබන අතර ම ආධ්‍යාත්මික ජීවිත ජයග්‍රහණය ලබා ගැනීමට ද කටයුතු කිරීමයි.නැතිනම් ලබන ජයෙන් කිසිදු  පලක් නැත.

 සිත තුළ නිතරම අරමුණු වන්නේ  ජීවිතය සාර්ථක කර ගැනීමයි.දිනා ගැනීමයි.නමුත් බොහෝ පුද්ගලයන්ට තිබෙන ගැටලුව වන්නේ සෑම විටම පැරදීමට , අසාර්ථකත්වයට ලක් වන්නේ ඇයි ද යන්නයි.එනිසා ජීවිතය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න වග ඔවුන්ගේ මනසට වද දෙන ප්‍රධාන කාරණාවක් වේ.

අප පරාජය තුළින් දුකට පත් වෙයි.අසාර්ථකත්වය බාර ගැනීමට ද සිදු වේ.එසේම දිනා ගත් දෙයක් දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතා අසීරුයි.යම් දෙයක් අපි දිනා ගත්තත්  ඊළගට අපගේ තිබෙන බලාපොරොත්තුව දිනා ගැනීමට නොහැකි වී පරාජය වේ.
එසේ කියා අප උත්සාහය අත් නොහළ යුතුයි.අප මුලින් ලබා ගත් සාර්ථකත්වයන් , දිනා ගත් දෑ වර්තමානයේ පරාජය වූවා කියා අත් හැරීම සාර්ථක පුද්ගලයකුගේ ක්‍රියා කලාපය නොවේ.

අප බුදු දහම තුළින් ඉගෙනගත් එක් යථාර්ථයක් ඇත.එනම් ලැබීම්,නොලැබීම් කියා  දෙයක් තිබෙන බවයි.නොලැබීම් තුළින් ලැබෙන දුක ලැබූ ජය තුළින් සමනය කර ගැනීමට ක්‍රියා කිරීම අප  කළ යුතුයි.
ඒ සමගම දෙවන ජයග්‍රහණය නොලැබී යෑමට බලපෑ හේතුව කුමක්ද යන්න අවබෝධ කරගෙන සිත සන්සුන්ව නැවතත් එයට උත්සාහ කිරීම තුළින් ඒ මිනිසාට  එය ජය ගැනීමට හැකි වේ.

අප ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබාගෙන ඇත්නම් යහපත් අරමුණින් , උත්සාහයෙන් , උනන්දුවෙන් දිනා ගත් දෙය දිගින් දිගටම රැකගැනීමත් ,ඉන් පසුව එය තවත් සිතට ශක්තියක් කරගෙන අනාගතය තුළ දී දිනීමට, දිනා ගැනීමට ඇති දේවල් සම්බන්ධයෙන් ඉතා හොඳ සැලසුමක් ඇති කර ගැනීමටත්  හැකියාව ලැබෙයි.අප අපගේ සිත යහපත් අරමුණින් දියුණු කරගෙන ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය හා ප්‍රඥාව වඩවාලමින් ජීවිතය තුළින් ජයග්‍රහණය ලැබීමට උත්සාහ කළ යුතුයි.

මිනිසුන් සිතන පතන ආකාරය එකිනෙකට වෙනස්.ඔවුන්ගේ බලාපොරොත්තු ද වෙනස් වේ.නමුත් ඒ එකිනෙකට වෙනස් සෑම බලාපොරොත්තුවක් ම යහපත් අරමුණු පෙරදැරි කරගෙන ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන විට ඒ බලාපොරොත්තු කා හටවත් හානියක් නොවේනම් අනිවාර්යයෙන් තමන්ට ජය අත් කර ගැනීමට ලැබේ.අපරමිත වීර්යයක් හා උත්සාහයක් ගනිමින් විශ්වාසය තබා කටයුතු කළ යුතුයි.එවිට දිනිය හැකිය.ඉන්පසුව තමාගේ ජීවිතය ඊළගට දිනා ගැනීමට අවැසි දේ පිළිබඳ සිතිය යුතුය.එම ජයග්‍රහණය ද මුළින් සදහන් ආකාරයට ආධ්‍යාත්මික වශයෙන් ජය ගැනීමට උත්සාහ කළ යුතුයි.සිහි බුද්ධියෙන් සිතා මතා ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කළහොත් සියල්ලෙන් ම ජය ගැනීමට පුළුවනි.

අප  සෑම විටම උත්සාහ කළ යුත්තේ කිසි විටෙකත් පරාජිතයකු නොවී වැඩකටයුතු කිරීමටයි.මා ප්‍රථමයෙන් දිනා ගත් දෙය අතීතයට ගිය විට දෙවනුව දිනීමට සිතා සිටින දේ වර්තමානයට එක් වේ.එය අනිවාර්යයෙන් ම දිනාගෙන මිසක් උත්සාහය අත් නොහරිමි යන දැඩි අධිෂ්ඨානය තිබිය යුතුය.ඒ වගේම සාර්ථක හා ජීවිතය දිනපු පුද්ගලයන්  අනිවාර්යයෙන් ම අනාගතයේ දිනන්නට බලාපොරොත්තු වන දෙය දිනා ගැනීමට යහපත්, සාර්ථක සැලැස්මකට අනුව කටයුතු කරනු ලබයි.

මෙසේ ගත් විට තුන් කල්හි ම ජය ගැනීමට හැකි පුද්ගලයා කිසිම දිනෙක ජීවිතය තුළ පරාජිතයෙක් ලෙස හංවඩු ගැසෙන්නේ නැත.සිත තුළ ආධ්‍යාත්මික බලයක්, ශක්තියක් ඒ සදහා  ගොඩනගා ගෙන තිබීම සාර්ථකත්වයේ මං සළකුණකි.
එය සෑම කල්හි ම ජීවිතය ජය ගැනීම සදහා ද , සාර්ථක වීම සදහා ද මුළු ලෝකයක් ඉදිරියේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම සදහා ද උපකාරී වේ.
මෙසේ ජීවිතය ජය ගැනීමට නම් අප පිළිබඳ ආත්ම විශ්වාසයක් අප විසින්ම ගොඩනගා ගත යුතු ය.සිත තුළ තරහව,දුක හටගත් විට සිදු වන්නේ අනුන්ට නොව තමුන්ට  පාඩුවකි.දුක දැනුණු විට තමා දුර්වලයෙක් , විනාශකාරයෙක් ලෙස සිතා සියල්ල  අතහැර දමයි.ජය ගැනීමට උත්සාහ නොකරයි.ජයග්‍රහණ හීන බවට පත් වෙයි.
එනිසා දුක, කලකිරීම විනාශ කර දමා සෑම මොහොතකම සුබවාදීව, සතුටින් ජීවත් වන්නට උත්සාහ කළහොත් සාර්ථකත්වය තුළින් ශ්‍රේෂ්ඨත්වයට පත් වී ලෞකික හා අධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම ඔබට,මට ජීවිතය ජය ගැනීමට අවකාශය ලැබේ.

උත්සාහය අත් නොහරින්න.
ජයග්‍රහණය ඔබේ අත ළඟයි
බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න.
ඔබට ජය!!!!!😊😊😊


Article Writer - Thakshila Srimali

2 comments: