Tuesday, May 4, 2021

මනුෂ්‍ය භාෂාව, භාෂා ප්‍රජාව හා භාෂා සමාජය





          මෙහිදී පොදුවේ මිනිස් භාෂාව පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ. මිනිසා මේ ලෝකයේ ජීවත් වන සෙසු සතුන් අතර අසහාය තත්ත්වයක් හිමි කර ගත් සත්ත්වයෙකි. මිනිසා තමන් ඇතුළු සියලු සතුන් සහිත ජීව ලෝකයත්, තමන් අවට තිබෙන ද්‍රව්‍යමය ලෝකයත් එනම් භෞතික ලෝකයත් පාලනය කිරීමේ ශක්තියක් හිමි කර ගෙන තිබේ. එම නිසාවෙන් ඔහු තමා අවට ලෝකයත්, ජීවත් වන සෙසු සතුන් අතර අසහාය තත්ත්වයක් හිමි කර ගෙන ඇත. සෙසු සතුන් අභිබවා යන ආකාරයට මිනිසාට මෙවෙනි තත්ත්වයක් ලැබී ඇත්තේ අනෙක් සතුන්ට නැති ආකාරයේ ඉන්ද්‍රීය ශක්තියක් සහ බුද්ධි ශක්තියක් මිනිසා සතු වීම නිසා වේ.

           මිනිසා සතු ඉන්ද්‍රීය ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සෙසු සතුන්ට වඩා සියුම් ව අත් පා ආදිය හැසිර වීමේ හැකියාවක් මිනිසා සතු වේ. එහෙත් එම හැකියාව සෙසු සතුන්ට නොපවතී. ඒ අනුව මෙම හැකියාව නිසාවෙන් මිනිසා අනෙකුත් සතුන් අභිබවා යන ආකාරයට අසහාය ශිෂ්ටාචාරයක් ගොඩ නගා ඇත. 

        මිනිසා සතු බුද්ධි ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වනුයේ  මිනිසා තමා සතු බාහිර ඉන්ද්‍රියයන් ක්‍රමානුකූලව පාලනය කිරීමේ හැකියාව ලබා ගනු ලැබූයේ බුද්ධි ඉන්ද්‍රීය මගින් බවයි. එනම් මොළයේ ක්‍රියාකාරීත්වය නිසාවෙනි. මක්නිසාද අත, පය ආදී සෙසු ඉන්ද්‍රියයන් පාලනය කරනුයේ මිනිසාගේ මොළය මගිනි. මොළයට හානි සිදු වූ විට ඊට සම්බන්ධ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ඇන හිටිනු ලබයි. එම නිසා මිනිසාගේ ඉන්ද්‍රියයන් අතර බුද්ධීන්ද්‍රීය එනම් මොළය ප්‍රධානත්වය ගනී. එවිට මිනිසාගේ මේ මනසත්, ඒ හා සම්බන්ධ සිතීමේ හැකියාවත් එනම් චින්තනයත් ඍජුවම මොළය හා සම්බන්ධ වේ.

             අනෙකුත් සතුන් පිළිබඳව අවධානය යොමු කරන විට පැහැදිලි වනුයේ එම සෙසු සතුන්ගේ මනසට ගෝචර වනුයේ තමන් ඉදිරිපිට පවතින දේ පමණක් බවයි. නමුත් මිනිසාට අතීතයේ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම අනාගතයේ සිදු වන්නට නියමිත දේ පිළිබඳව මනසේ මවාගෙන තමාගේ කටයුතු සංවිධානය කර ගැනීමට හැකියාව පවතී.

            එම නිසා මිනිසා සතු මෙම ඉන්ද්‍රීය ශක්තියත්, සෙසු අනෙක් සත්වයන් ගේ ඉන්ද්‍රීය ශක්තියට වඩා ප්‍රබල බව අපට පැහැදිලි වේ. එනම් අත, පය ආදී භාහිර ඉන්ද්‍රියයන් හැසිරවීමේ ශක්තියත් එනම් බුද්ධීන්ද්‍රීය ශක්තියත් සෙසු සතුන් අභිබවා යන ආකාරයට මිනිසා තුළ ක්‍රියාත්මක වේ.

         මෙසේ මිනිසා සතු වූ මේ ඉන්ද්‍රීය ශක්තියත්, බුද්ධි ශක්තියත් සංයෝගයෙන් මිනිසා ලබා ගත් අන් කිසිදු සත්වයෙකුට නොමැති ආකාරයේ හැකියාවක් පවතී.  ඒ හැකියාව අන් කවරක් හෝ නොව භාෂා හැකියාව වේ.


* මිනිසා සතු භාෂා හැකියාව. 

           භාෂාව යනු මූලික වශයෙන් ම ඉන්ද්‍රියයන් සමූහයක් ක්‍රමානුකූලව චලනය කර නිපදවා ගන්නා ශබ්ද වලින් සමන්විත වූ ඒකකයකි. මෙසේ ඉන්ද්‍රියයන් සමූහයක් ක්‍රමානුකූලව චලනය කර භාෂා නිපදවනු ලබයි. 

               ඕනෑම මිනිස් සමාජයක් කෙරෙහි අප අවධානය යොමු කරන විට අපට පැහැදිලි වන්නේ මුලින්ම උපදිනුයේ භාෂනය එනම් කතා කරන භාෂාව බවත්, දෙවනුව අප ලේඛනය නිශ්පාදනය කර ගනු ලබන බවත් ය. මිනිසාට විවිධ ඉන්ද්‍රීය පද්ධතියන් අයිති වේ. ශරීරය තුළ විවිධ ඉන්ද්‍රීය පද්ධතියන් පවතී. ඒ අතරතුර කථා කිරීමේ හැකියාව හා සම්බන්ධ වන ඉන්ද්‍රීය පද්ධතිය අප හදුන්වනුයේ උච්චාරණය ඉන්ද්‍රීය පද්ධතිය නමිනි. මිනිසා තමන්ගේ උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතියට අයිති කෝෂ තන්තු, උගුර, දිව, තොල් වැනි අවයව ක්‍රමානුකූලව චලනය කර භාෂාවට අයිති ශබ්ද  නිශ්පාදනය කර ගනී.

            කිසියම් ජන කණ්ඩායමක් පොදු භාෂාවකින් කටයුතු කරන විට එම තමන්ගේ භාෂණ සමාජයේ ජීවත් වන සාමාජිකයින් එකිනෙකාට වැටහෙන ආකාරයට මේ භාෂාමය ශබ්ද උත්පාදනය කරන විට ඒ ජන කණ්ඩායම් අතර යම් යම් සම්මුතීන් පවති. සම්මුතීන් යනුවෙන් අදහස් කරනුයේ; කිසියම් භාෂණ සමාජයක අපට දක්නට ලැබෙන, මේ භාහිර සමාජයේ දක්නට ලැබෙන යම් යම් වස්තූන්  පුද්ගලයන්, විවිධ සංකල්ප හැදින්වීම සදහා අපි විවිධ සංකේත නාමයන් භාවිතා කිරීමයි.

E.g. සිංහල භාෂාවේදී අප 'පුටුව' හැදින්වීම සදහා භාවිතා කරන වචනය.. ඒ ආකාරයෙන්ම දෙමළ හා ඉංග්‍රිසි භාෂාවන් වලදී ව්‍යවහාර කරනු නොලැබේ. 'පුටුව' හැදින්වීම සදහා ඒ ඒ භාෂාවට අදාල වෙනත් වචන පවතී. 

              මෙලෙස ඒ ඒ වස්තූන් හැදින්වීම සදහා ඒ ඒ භාෂා සමාජය තුළ ජීවත් වන භාෂකයින් විසින් පනවා ගත් සම්මත තිබේ. ඒවා ඒ භාෂක සමාජයට පමණක් ආවේණික වූ සම්මුතීන් වේ. 

         සිංහල භාෂාව පමණක් දන්නා පුද්ගලයෙක් යමෙකු දෙමළ භාෂාවට අයත් වචනයක් ව්‍යවහාර කළ විට එය නොදනී. මක්නිසාද ඔහු ඒ භාෂක සමාජයට පරිභාහිර අයෙකු වන නිසාවෙනි. මෙලෙස ඒ ඒ භාෂක සමාජය විසින් පනවා ගත් ඒ ඒ සම්මුතීන්, ඒ භාෂාව පරිහරණය කරන පුද්ගලයන්ගේ සිතෙහි තැම්පත් වී තිබේ. එවිට එම භාෂකයින් ඒ සම්මුතීන් අනුව තමන්ගේ උච්චාරණ ඉන්ද්‍රීයන් නිසි ආකාරයට චලනය කර භාෂාමය කටයුතු වල නිරත වෙති. මේ ආකාරයට උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතිය හා සම්බන්ධ ඉන්ද්‍රියයන් ක්‍රමානුකූලව චලනය කිරීමේ හැකියාව මිනිසාට ලැබෙනුයේ මනසේ(මොළයේ ) මෙහෙයවීම අනුවයි. 

              මෙම කාර්යය නියමාකාරයෙන් කිරීමට හැකි වනුයේ ස්වභාවික මනසක් එනම් ප්‍රකෘති මනසක් ඇති පුද්ගලයින්ට පමණි. අස්වාභාවික එනම් විකෘති මනසක් ඇති පුද්ගලයෙකු හට තමන්ගේ සමාජයේ සම්මත ආකාරයට භාෂාමය කටයුතු වල යෙදීමට හැකියාවක් නොමැත.           

           එනම් මනසේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය නම් ඔහුට භාෂණ හැකියාවක් නොමැත. එවිට භාෂණ හැකියාවේ යම් යම් දුර්වලතා පවතී. එය අපිට පොදු සමාජයේ අත්දැකීමක් වශයෙන් දැන ගැනීමට ලැබෙන අවස්ථා තිබේ. 

              කිසියම් මානසික විකෘතිතා ඇති පුද්ගලයින්ගේ භාෂාමය හැකියාවේ යම් යම් අඩුපාඩු හදුනා ගැනීමට පුළුවන. එම නිසා බුද්ධීන්ද්‍රීය එනම් මොළයේ ක්‍රියාකාරීත්වය මේ භාෂණ හැකියාව හා සෘජුවම සම්බන්ධ වන බව හදුනා ගත හැක. 

            මිනිසාට මොළයේ ක්‍රියාකාරීත්වයත්, ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයත් ( ඉන්ද්‍රීය පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් ) නිසා ලැබුණු දායාදයක් ලෙස භාෂාව හදුනා ගත හැක. 

             කිසියම් භාෂාවක් කථා කරන විට පුද්ගලයෙකුගේ මනසේ විවිධ සම්මුතීන් රැදී තිබෙන බව යන්නෙන් අදහස් කරනුයේ; මිනිසා උපත ලබන විට භාෂාව පිළිබඳ කිසියම් දැනුමක් මොළය තුළ රදවා ගෙන උපදිනවාය යන අදහස නොවේ. ඕනෑම පුද්ගලයෙක් මේ ලෝකයට උපත ලබනුයේ කිසියම් භාෂාවක් පිළිබඳව දැනුමක් සහිතව නොවේ. උපදින විට භාෂා දැනුමක් මිනිසා සතුව නොපවතී. නමුත් භාෂා ශක්‍යතාවයක් පවතී. භාෂා ශක්‍යතාවයක් යනු; භාෂාවක් කථා කිරීමේ, අවබෝධ කර ගැනීමේ හැකියාව ඔහු තුළ පවතිනවා යන්නයි. එනම් භාෂාවක් කථා කිරීමටත්, අවබෝධ කර ගැනීමටත් ප්‍රකෘති තත්ත්වයේ පවතින මනසක් තිබීම හා ස්වභාවික ඉන්ද්‍රීය පද්ධතියේ ක්‍රියාකාරීත්වයක් පැවතීමයි. මෙහිදී උච්චාරණ ඉන්ද්‍රීයන්ගේ යම්කිසි අඩුපාඩුවක් නොතිබිය යුතුයි. එබදු හැකියාවක් නොමැතිව උපදින පුද්ගලයන් හට භාෂා උච්චාරණය කිරීමේ හැකියාවක් නොමැත. කුඩා දරුවෙක් භාෂාව ඉගෙන ගන්නා කාලය.. ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය භාෂා උපාර්ජනය ලෙස හැදින්විය හැක. ( බහ තෝරන විය. අවුරුදු 1 2/1 - 6 අතර කාලය ) 


* මිනිස් භාෂාවට අයිති විශේශ ලක්ෂණ. 

1. මිනිස් භාෂාවට විශේශ සැලැස්මක් ඇත.( ශබ්දමය හා අර්ථමය වශයෙන් ) 

2. නිර්මාණ ශක්තිය.( විවිධ සීමිත නොවන වාක්‍ය තැනීමේ රටාවක් ඇත. )

3. අත්තනෝමතික ස්වරූපය. 

              යම් අවස්ථාවන් වල මිනිසාගේ ප්‍රකාශන මාධ්‍යයන් මේ යැයි ස්ථිරව ප්‍රකාශ කළ නොහැක. ප්‍රකාශිත අර්ථය හා ප්‍රකාශනයේ ස්වරූපය අතර සබදතාවක් නොමැත. ප්‍රකාශ කරන දෙය කෝපය හෝ දුක නම් එය අවස්ථාවෙන්.. අවස්ථාවට, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

4. ප්‍රකරණයෙන් වියුක්ත වූ එනම් නිශ්චිත අවස්ථාවකින් තොරව ප්‍රකාශ කිරීමේ හැකියාව මිනිස් භාෂාවක තිබේ.

             මිනිසාට අතීත, අනාගත, ව‍ර්තමාන කාලයන් පිළිබඳව විවිධ අවස්ථාවන්, සිද්ධීන්, ද්‍රව්‍යයන් පුද්ගලයන් පිළිබඳව සිතා මතා යම් යම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

5. අර්ථ සංවිධානය පිළිබඳ විශේෂීකරණය.

        ස්වභාවික ලෝකය ඒ ඒ භාෂණ සමාජයන් තුළ විවිධාකාරයෙන් නිරූපණය කිරීම. 



* භාෂා ප්‍රජාව හා භාෂා සමාජය. 


     කිසියම් ජන සමූහයක් පොදුවේ භාවිතා කරන සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාෂාව හැදින්විය හැක. 

          සිංහල භාෂාව කථා කරන ජන සමූහය සිංහල ජන සමූහය ලෙසත්, දෙමළ භාෂාව කථා කරන ජන සමූහය දෙමළ ජන සමූහය ලෙසත් හැදින්විය හැක. 

           පොදුවේ භාෂාවක් නිසා ඒකරාශි වූ පිරිසකට භාෂා ප්‍රජාවක් යැයි කියනු ලබයි. එම භාෂා සමාජය කිසියම් රටකට, භූගෝලීය, දේශපාලන වශයෙන් යම් ප්‍රදේශයකට සීමා විය යුතු නැත. 

           භාෂා ප්‍රජාවක් තුළ අනු කොටස්, අනු ප්‍රභේදයන් වශයෙන් පවතින දේශපාලනමය වශයෙන් බෙදුනු ඒකකයක් භාෂා සමාජයක් ලෙස හැදින්විය හැක.

E.g.

* ලෝකය පුරාම ඉංග්‍රිසි කථා කරන පිරිස භාෂා ප්‍රජාවක් ලෙස හැදින්විය හැක.

 ඇමරිකන් ඉංග්‍රිසි, බ්‍රිතාන්‍ය ඉංග්‍රිසි = ඉංග්‍රිසි භාෂා සමාජය. 


* එකම රාජ්‍යයක් තුළ භාෂා ප්‍රජා කිහිපයක් තිබිය හැක. ඒවා බහු භාෂා සමාජ ලෙස හදුන්වයි. e.g. ඉන්දියාව.


      මෙසේ භාෂාවට මිනිසුන් ඒකරාශි කිරීමටත්, කොටස් වශයෙන් වෙන් කිරීමටත් හැකියාව ඇත.




✍️ Article Writer :-  Thushani Nilushika.

No comments:

Post a Comment