අධ්‍යාපනය යනු කුමක්ද යන්න අර්ථ දැක්වීම එතරම් සුළුපටු කාර්යක් නොවේ. චින්තනයෙන් නොදියුණු ,දැනුමෙන් සන්නද්ධ නොවූ ප්‍රාථමික ගෝත්‍රීය සමාජ රාමුව තුළ මිනිසා ජීවත්වන කල ඔහු කළ වැරදි අපමණය.ඒ සෑම වැරැද්දක්ම ඔහු ජීවිතය පවත්වාගෙන යාම සදහා දරන ලද ප්‍රයත්නයේ එක් ප්‍රතිඵලයක් විය. එම වරද පිටුපස වූ නිරීක්ෂණය, අත්දැකීම්, පුහුණුව, විකල්ප මාර්ග මත ක්‍රියාත්මකවීම මත අවිඥානිකව ම දැනුම ගොඩනැගීමත්, ඉගෙනීමත් සිදුවිය.ඒ අනුව අවසන දැනුම කෝෂ්ඨාගාරයක් නිර්මාණය විය. ගබඩා කිරීම,විශ්ලේෂණය ,නිරීක්ෂණය හා විකාශනය ඒ තුළ විය.
මේ අනුව මිනිසා තමා ජීව්ත්වීමෙන් ලද අත්දැකීම් සමුදාය දැනුම යනුවෙන් ගොනුකර ගත් අතර එම දැනුම මානව සමාජයේ යහප උදෙසා පමණක් නොව කේන්ද්‍රීය යහපත උදෙසා ද විවිධ පදනමින් උපයෝගිකර ගැනීම පරම්පරාවෙන් පරම්පාරවට දැනුම පැවරීම, උපතේ සිට මරණය තෙක් ස්වාධීන පුද්ගලයෙකු ලෙස ගොඩ නැගීම ඇතුළු සමස්ථය අධ්‍යාපනය යනුවෙන් හැදින්විය හැකිය.
මේ අනුව යමින් අධ්‍යාපණය යන්න විවිධ දාර්ශනිකයන් හා අධ්‍යාපනඥයින් විසින් විවිධාකාරව නිර්වචන ඉදිරිපත් කර තිබේ.
යුගයෙන් යුගය කලින් කල පළවී ඇති නිර්වචනයෝ කෙරෙහි අවධානය යොමු කරමින් අධ්‍යාපන යනු කුමක්ද යන්න අර්ථ අවබෝධයට යොමුවෙමු.
අධ්‍යාපනය යනු,
- සාක්ෂර ශක්‍යතාව (අක්ෂරවිත්) සමග ආධ්‍යාත්මික (ආත්මවිත්) ගුණ වගාව අධ්‍යාපනයයි .
- අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගුණදහමින් යුත් හදවතක් ආති පුද්ගලයෙකු තැනීමයි.
- කොන්පියුසියස්තුමා(Confusius, 551-479 B.C.)
- අධ්‍යාපනය මගින් සාවද්‍ය දේවල් ඉවත් කරලමින් සත්‍යය අනාවරණය කොට ගත යුතුය.
-සොක්‍රටීස් (Socratates 469-399)
- බාල කාලයේ ස්වභාවධර්මය අනුව වැඩෙන දරුවාට හොද පුරුදු හා පුහුණුවක් දීමෙන් සංවර්ධනය කිරීම අධ්‍යාපනයයි.
- අධ්‍යාපනය ඉතා උතුම් හා අලංකාර දෙයකි.( රිපබ්ලික් )
- අධ්‍යාපනයෙන් යහපත් පුද්ගලයන් බිහිවනවා පමණක් නොව ,ඒ අය යහපත් අන්දමට ක්‍රියා කරන්නටත් පුරුදු වෙයි.(ද ලොස්)
- ප්ලේටෝ(plato, 429-384)
- ජීවිතයේ ප්‍රීතිය හා වාසනාව සලසා දෙන පරිදි බුද්ධි වර්ධනය ඇති කිරීම හා ජීවන තත්ත්වය නගාලීම අධ්‍යාපනයයි.
- ප්‍රැන්සිස් බේකන්( Francis Becon. 1521-1690)
- අධ්‍යාපනය යනු පූර්ණ මිනිසෙකු බිහි කිරීමයි.
- ආමෝස් කොම්නියස් (Amos Comenius,1592-1690)
- යුද්ධයේ දීත් ,සාමයේ දීත්, පෞද්ගලිකවත් ,පොදුවේත් සෑම කාර්යයක් ම සාධාරණ ලෙසත් උදාර ලෙසත් ඉටුකළ හැකි මනුෂ්‍යයෙකු බිහි කිරීම අධ්‍යාපනය යි.
- ජෝන් මිල්ටන් (john Milton.1608-1674)
- අධ්‍යාපය යනු බලපෑම්වලින් තොර ස්වාභාවික වර්ධනයකි.
- අධ්‍යාපනය ස්වාභාව ධර්මය අනුව ඇතිවන ක්‍රියා පද්ධතියකි. ළමයාගේ අධ්‍යාපනය ඔහුගේ හැකියාවන්ට ,අවශ්‍යතාවන්ට ,ලැදියාවන්ට අනුකූලව ලබා දිය යුතුය.
- රූසෝ(Rousseau, 1712-1778)
- අධ්‍යාපනය යනු ස්වභාවයෙන්ම පුද්ගලයා සතු සියලු ශක්තීන් ක්‍රමානුකූල ව සංවර්ධනය කිරීමයි.
- පෙස්ටලොසි(pestalozzi,1746-1827)
- සෑම පරම්පරාවක් විසින්ම පවත්වාගෙන යාම සදහා හෝ වැඩි දියුණු කිරීම සදහා තම බාල පරම්පාරාව වෙත හිතා මතාම සංස්කෘතිය පවරා දීම අධ්‍යාපනයයි.
- ජෝන් ස්ටූවට් මිල් (John Steurt Mill, 1806-1873)
- අධ්‍යාපනයේ කාර්ය වන්නේ අප පූර්ණ ජීවීතයකට සූදානම කිරීමයි..
- හර්බට් ස්පෙන්සර් (Hrrbert Spencer, 1820-1903)
- ළමයාට සිය වටපිටාව සහ ජිවත් වීමට උපකාරීවන අත්දැකීම ලබාදීම අධ්‍යාපනයයි.
- අධ්‍යාපනය ජීවත්වීමේ ක්‍රියාවලියක් මිස අනාගත ජීවිතයට සූදානම් වීමක් නොවේ.
- අධ්‍යාපන යනු අත්දැකීම සංවිධානය හා ප්‍රතිසංවිධානය කිරීමයි.
- ජෝන් ඩුවී(Johon Dewey, 1869,1948)
- අධ්‍යාපනය යනු හුදෙක් දැනුම අත්කර ගැනීමේ ක්‍රියාවලියක් නොව ජීවිතය සමස්තයක් කොටගෙන ඊට අදාළ සියලුදේට මුහුණ දිය හැකි සමෝධානික පුද්ගලයෙකු බිහිකිරීමයි.
- පී.ක්‍රිෂ්ණමූර්ති.(P.Krishnamurthi,1895-1986)
- අධ්‍යාපනය පුද්ගලයාගේ හිස ,අත්,පා යන අංශවල ගැබ් වූ හැකියාවන් හදුනාගෙන ඒවායේ පූර්ණ වර්ධනයක් ඇති කිරීම යි.
- මහත්මා ගාන්ධි (Mahathma Gandhi 1895-1986)
- අධ්‍යාපනයේ ප්‍රමුඛ නිෂ්ඨාව වන්නේ අළුත් අළුත් දේ කළ හැකි ,නිර්මාණශීලී නවෝත්පාදක හා ගවේෂණශීලි පුද්ගලයින් බිහි කිරීමයි.
- ජින් පියාජේ ( Jean Piagect, 1896-1980)
- අධ්‍යාපන යනු ළමයා තුළ උසස් මානසික ලක්ෂණ පුහුණු කරවීම සදහා හිතාමතා කරන ප්‍රයත්නයකි.
- ආර්.එස්.පීටර්ස්( R.S.Peters)
නව නිර්වචන
- දිවි පැවත්ම සදහා ඉගෙනුම (Lerning to be - Edgar Faure ) යුනෙස්කෝ වාර්ථාවේ සදහන් වන පරිදි ජීවිතයට අදාළ ඒ සදහා එදිනෙදා භාවිතයට අවශ්‍ය දැනුම,කුසලතා ,ආකල්ප රැසකර ගැනීමේ ක්‍රියාවාලිය අධ්‍යාපනයයි.
- In its broadest meaning education is any process by which an individual gains knowledge ,insight or develops attitudees or skills .
- ( Encyclopedia Amricana )
- ලෝක අධ්‍යාපනය පිළිබද නවතම චින්තනය (Lernig :THE TREASURE WITHIN 1996 ජැක්ස් ඩොලර් ජාත්‍යන්තර කොමිසම් වාර්තාව)
දැනුම ,ආකල්ප ,කුසලතා පුළුල් කරගනිමින් අකණ්ඩව වෙනසවන සංකීර්ණ අන්තර් සම්බන්ධතා ඇති ලෝකයට හැඩ ගැසීමට හැකියාව ලබා ගැනීම කළ යුත්තේ කුළුණු සතරක් වටා ගොඩ නැගී ඇති ඉගෙනුම ක්‍රියාවාලි සතරක් අනුවය. එනම් ,
01. ඉගෙනීමට ඉගෙනීම ( Leraning to know)
02. කිරීමට ඉගෙනීම (Leraning to do )
03. එක්ව ජීවත්වීමට ඉගෙනීම (Leraning to live together )
04.දිවි පැවැත්මට ඉගෙනීම (Lerning to be)
ඉහත නිර්වචනයන්ට අමතරව අධ්‍යාපනය යන්න කුමක්ද තේරුම් ගැනීමට ආධුනිකයන් ගත් උත්සහයන් කිහිපයක් වෙතද අවධානය යොමු කරමු.
- අධ්‍යාපනය යනු දැනුම ,ආකල්ප,කුසලතා අතින් පුද්ගලයා ලබන ස්ථාවර වූත්,අඛන්ඩ වූත්,චර්යාමය හෙවත් හැසිරීම් රටාවේ වෙනසකි.
- අධ්‍යාපන යනු එක් පරම්පරාවක් සතු සංස්කෘතිය තවත් පරම්පරාවකට පවරා දීමයි.
දහස් ගණන් වූ මෙවැනි නිර්වච එකිනෙකට වෙනස්වීමට ඒ ඒ අධ්‍යාපනඥයින් ජීවත් වූ සමාජ පරිසරය හා අවශ්‍යතා ආදිය බල පාන්නට ඇති.එසේ නමුත් ඉහත නිර්වචන් ඔස්සේ අධ්‍යාපන පිළිබදව මතු වී පෙනෙන වැදගත් කරුණු කිහිපයකි.
* දැනුම හා කුසලාතාවලින් සමන්විත බව.
* යාවජීව ක්‍රියාවලියක් බව.
* අඛණ්ඩ ක්‍රියාවලියක් බව.
* පුද්ගලයාගේ චර්‍යාමය වෙනසක් අපේක්ෂිත බව.
* සමාජ දායාද පරපුරෙන් පරපුරට පවරා දෙන බව.
මේ අයුරින් උක්ත නිර්වචන අධ්‍යණය ඔස්සේ ශිෂ්‍යයාට මෙන්ම ගුරුවරයාටද අධ්‍යාපනය යන්න කුමක්ද පිළිබඳ විග්‍රහයක් ගොඩනගා ගත හැකිවේ..එතුළින් ඉගෙනුම් හා ඉගැන්වීම කාර්ය වාඩාත් ප්‍රතිඵලදායි වනු නිසැකය.
මේ සමගම ඉගෙනීම යන්න කුමක්දැයි අවබෝධයක් ලබා ගනිමු.
ඉගෙනීම යන්නට සරල අර්ථකතනය වන්නේ, නොදන්නා දෙයක් දැන ගැනීම යන්නයි. විවිධ ගුරුකුලයන් ,දාර්ශනිකයන් ,අධ්‍යාපනඥයින් ආදීන් මේ සදහාද විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇති අතර ඒ අතරින් වඩාත් පිළිගත් නිරවචන 2ක් පහත පරිදි වේ.
- "ඉගෙනීම යනු අනුභූතියේ(පුහුණුවේ) ප්‍රතිඵලයක් ලෙස ඇතිවන සාපේක්ෂ වශයෙන් නිත්‍ය වූ චර්යා වෙනස්වීමයි."
- (Morgan)
- ඉගෙනීම යනු උපස්ථම්භනය කරන ලද පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන සාපේක්ෂ වශයෙන් නිත්‍ය වූ චර්යා වෙනස්වීමේ ශක්‍යතාවයි"
අමතර අදහස්
මේ අයුරින් විවිධ නිර්වචන අධ්‍යාණය තුළින් විශය ප්‍රවේශය වඩාත් සාර්ථක වන බව නිසැකය.එසේ නමුත්, අනුන්ගේ නිර්වචන කටපාඩම් කිරීමට ශිෂ්‍යයා එකවර යොමු කරනවාට වඩා කළ යුතු දෙය වන්නේ තේමා කාරණය හැකි උපරිමයෙන් තම ශිෂ්‍යන් අතින් නිර්වචනය කිරීමයි.එලෙස නිර්වචනය හෝ අදහස් විමසන කල බොහෝ අසම්පූර්ණ සාර්ථක පිළිතුරු ලැබේ.එහෙත් ඔබ නොදන්නවා ඇත.ඔබ යම් විෂයයක් සම්බන්ධව යම් අයෙකු කරන ලද ප්‍රකාශයක් ඉදිරිපත් කලත් එවැනි ප්‍රකාශ ඉදිරිපත් කළ විද්වතුන් බිහි වූයේ ද තමා ඉදිරිපිට වූ ප්‍රශ්නයට වැරදි වැරදි කරුණු කී ශිෂ්‍යයන් ම බව. එබැවින් විද්වතුන්ගේ ප්‍රකාශ අපි ඔවුන්ගේ ගැත්තන් පරිදි ප්‍රකාශ කරනවාට වඩා එම උගතුන්ගේ දාර්ශනිකයන්ගේ මත අපගේ චින්තනයේ තබාගෙන එවැනි මත ඉදිරිපත් කළ හැකි චින්තකයන් පිරිසක් වශයෙන් බිහිවීම වඩාත් සාර්ථකයැයි සැළකිය හැක.එනම් ඔබේ අක්ෂිය තුළින් ඔබ ලබන අවබෝධය වඩාත් සාර්ථක වේ..
Article Writer :- පි.ඩ්බ්.මනුෂිකා දිශ්නි