Monday, April 26, 2021

අධ්‍යාපන මනෝවිද්‍යාව ( Educational Psychology )







  •  අධ්‍යාපන මනෝවිද්‍යාව හැදින්වීම.

         ව්‍යවහාරික මනෝවිද්‍යා අංශයට ගැනෙන, නිරතුරුවම ප්‍රායෝගිකව භාවිතා වන විෂය ක්ෂෙත්‍රයක් ලෙස අධ්‍යාපන මනෝවිද්‍යාව හදුනා ගත හැකිය. අධ්‍යාපනය යනු; " *කිසියම් සමාජයක් විසින් සිය නව සාමාජිකයන්ට සමාජය සමග සම්බන්ධතා පැවැත්වීමේ කාර්යය පහසු කරලනු පිණිස, ඒ සමාජය විසින් පිළිගන්නා ලද ඇගයීම්, විශ්වාස, සාරධර්ම සහ ඇතැම් සංකේතාත්මක ප්‍රකාශන සම්ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරීකම නම් වේ. "  

මිනිස් මනස ක්‍රියාත්මක වන ආකාරය හා එය හැසිරීමට බලපාන ආකාරය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම මනෝවිද්‍යාවයි. අධ්‍යාපන මනෝවිද්‍යාව අධ්‍යාපනය හා මනෝවිද්‍යාව යන ද්විත්වයෙහි එකතුවක් වන්නේ ය. මක්නිසාද ඉගෙනුම්    ක්‍රියාවලිය, පුද්ගල චර්යාව සමග සම්බන්ධ වන්නක් නිසා මනෝවිද්‍යාව ද ඒ හා බැදී පවතී. මනෝවිද්‍යාව, මනුෂ්‍ය චර්යාව එහි සංවර්ධනය හා ඉගෙනීම සමග බැදී සිටින අධ්‍යයනයකි. එසේ  වුව අධ්‍යාපන මනෝවිද්‍යාව යනු හුදෙක් මෙම අංශ දෙකෙහි සමායෝගය පමණක් ම නොවේ.1.(අතුකෝරල, දයාරෝහණ (2015),අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, පානදුර, ශික්ෂා මන්දිර ප්‍රකාශන. 48 පිටුව ) 

මෙසේ අධ්‍යාපන මනෝවිද්‍යාව යනු කුමක්ද..? යන්න යම් සරල අවබෝධයක් ලබා ගත හැකි ය. නමුත් අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධයෙන් විද්වතුන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.


" අධ්‍යාපන මනෝවිද්‍යාව යනු ඉගැන්වීම හා ඉගෙනුම් සම්බන්ධ මනෝවිද්‍යාවේ අංශයයයි. "  

- B.F. ස්කිනර් - 


" අධ්‍යාපන මනෝවිද්‍යාව යනු අධ්‍යාපනයේ විද්‍යාවයි. " 

- පීල් ( Peel) - 


" අධ්‍යාපන මනෝවිද්‍යාව උපතේ සිට මහලු විය දක්වා පුද්ගයෙකුගේ ඉගෙනීමේ අත්දැකීම් විස්තර කරයි. " 

- Row & Crow - 


" අධ්‍යාපන මනෝවිද්‍යාවේ මූලික අවධානයට යොමුවිය යුත්තේ ඉගෙනුම උපරිම කිරීම සදහා පරිසරය සැකසීමයි. " 

- බෘනර් ( Brooner ) -

     මෙසේ අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති බොහොමයක්  අර්ථනිරූපනයන් අතරින්  ඇන්ඩර්සන්  විසින් ඉදිරිපත් කරන මතය අධ්‍යාපන මනෝවිද්‍යාවේ හරය තේරුම් ගැනීමට බෙහෙවින් උපකාරී වේ..

      අධ්‍යාපන මනෝවිද්‍යාව ප්‍රධාන වශයෙන් ඉගැන්වීම් හා ඉගෙනුම් කේන්ද්‍රීය විය යුතු බව අවධාරණ කරන ඇන්ඩර්සන් (1967) අධ්‍යාපන මනෝවිද්‍යාවේ අර්ථනිරූපනය පහසු කරනු සදහා මූලික ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරයි. එනම්, 


1. ශිෂ්‍ය ඉගෙනුම උපරිම වන්නේ කවර තත්ත්වයන් යටතේද? 

2. ඉගැන්වීම් උපකරණ හා ඉගැන්වීම් ක්‍රියාවලියේ කවර නම් ලක්ෂණ ශිෂ්‍ය ඉගෙනුම පහසු කරන්නේද ? 

                 යනුවෙනි. 

මෙම ප්‍රශ්න දෙකට ලැබෙන පිළිතුරු පරාසය දෙස බලන විට අවසාන විග්‍රහයේදී අධ්‍යාපන මනෝවිද්‍යාවේ අර්ථකථනය නම් ශිෂ්‍ය ඉගෙනුම් ප්‍රගතිය බව මොනවට පැහැදිලි වේ. අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව අර්ථකථනය කරන ඇන්ඩර්සන් තව දුරටත් පවසනු ලබන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාවේ වෑයම විය යුත්තේ අධ්‍යාපන දත්ත සැපයීම, ඒ සම්බන්ධව අවශ්‍ය මූලධර්ම ගොඩනැගීම හා කණ්ඩායම් වශයෙන් ළමයින් සමග කටයුතු කිරීමේදී ඵලදායිතාව වර්ධනය පිණිස අවශ්‍ය කුසලතා ගොඩනැංවීම බවයි. එසේම අධ්‍යාපන මනෝවිද්‍යාවේ අන්තර්ගතය, ක්‍රමවේද හා විෂය ක්ෂේත්‍රයේ සීමා මායිම් තීරණය වන්නේ ශිෂ්‍ය චර්යාව හා ඉගෙනුම් ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ගේ දායකත්වය තුළිනි. මේ අනුව ඉගෙනුම් ස්වභාවය, ශිෂ්‍ය හැකියා වර්ධනය හා ශිෂ්‍යයන් විසින් අත්පත් කර ගත යුතු ඉගෙනුම් ඵල ආදිය එම අන්තර්ගතය තුළම තීරණය වනු ඇත. 2. ( අබේපාල, රෝලන්ඩ් ( 2010 ) , අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම , කොට්ටාව , සාර ප්‍රකාශන. 50 පිටුව ) 

අධ්‍යාපන මනෝවිද්‍යාවේ හරය මෙසේ පෙන්වා දිය හැකිය.

  • අධ්‍යාපන මනෝවිද්‍යාවේ අරමුණු. 

                  අධ්‍යාපන මනෝවිද්‍යාවේ අරමුණු රාශියක් පවතී. ඒ අතරින් ප්‍රධාන අරමුණු කිහිපයක් ම පවතී. ජිතේන්ද්‍ර මොහාන් ( 1996 ) දක්වන  පරිදි අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන අරමුණු මෙසේ ය. 


1.මානව චර්යාවේ මූලිකාංග පිළිබඳ නිශ්චිත දැනුම උත්පාදනය කිරීම, සංවර්ධනය කිරීම හා සම්ප්‍රජානනය කිරීම. 

2. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට අවශ්‍ය අවබෝධය හා සුවිශේෂ කුසලතා සංවර්ධනය කිරීම. 

3. ගුරුවරයාගේ වෘත්තිය ඵලදායිතාව සංවර්ධනය කිරීම.

4. සිසුන්ගේ ඉගෙන ගැනීමේ හැකියා සංවර්ධනය කිරීම. 

5. ඉගෙනීමට පවතින වාසි උපරිම කර ගැනීම හා අවාසි අවම කර ගැනීම.

6. විශේශ අවශ්‍යතා සහිත ළමයින් හදුනා ගැනීම හා ඔවුන්ට වැඩි වාසි සහගත පරිදි කළමනාකරණය.

7. යහපත් සමාජවාතාවරණයක් සහ නීරෝගී මානසික  සෞඛ්‍ය පිහිටුවා ගැනීම.

8. වඩා හොදින් සන්නිවේදනයටත්, තක්සේරුවටත් උචිත නවීන මෙවලම් හා ක්‍රම ශිල්ප භාවිතය. 

9. ශිෂ්‍ය නිර්මාණ ශක්තිය පංති කාමරයේ අන්තර් ක්‍රියාකාරීත්වය නවීකරණය මගින් වැඩි දියුණු කිරීම.

10. දැනුම, අත්දැකීම් ඔස්සේ ප්‍රජානන ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ගවේෂණය කිරීම.

 ( අබේපාල, රෝලන්ඩ්, (2010), අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම, කොට්ටාව, සාර ප්‍රකාශන. 50, 52 පිටු. ) 

මෙසේ අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන අරමුණු හදුනා ගැනීම තුළින් අධ්‍යාපන මනෝවිද්‍යාවේ දිශානතීය කෙබදුද යන්න පූර්ව අවබෝධයක් ලබා ගත හැක.

  • අධ්‍යාපන මනෝවිද්‍යාවේ අන්තර්ගතය. 

             ජිතේන්ද්‍ර මොහාන් විසින් බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා සංගමය, අධ්‍යාපන විද්‍යාපීඨ හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ගුරුවරුන් සදහා සකස් කරන ලද අධ්‍යාපන මනෝවිද්‍යාවේ අන්තර්ගතය මෙසේ උපුටා දක්වා ඇත.


1. ඉගෙනුම් ක්‍රියාවලියේ මූලිකාංග. 

2. ඉගෙනුම හා ධාරණය කෙරේ බලපාන සාධක. 

3. පාසල් වල ඉගෙනුම් ගැටලු. 

4. සංවර්ධන මනෝවිද්‍යාව.

5. සංවර්ධනයට බලපාන සාධක. 

6. අධ්‍යාපනික මිනුම්.

7. මනෝවිද්‍යාව හා ගුරුවරුන්ගේ කාර්යභාරය.

8. අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රවණතා.


             අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන කාර්ය දෙකක් පන්ජාබ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය *එන්. එන්. පැන්ගෝත්රා විසින් පෙන්වා දෙයි. ඒවා නම්, 

1. ඉගැන්වීම සැලසුම් කිරීමේදී අධ්‍යාපන මනෝවිද්‍යාත්මක දැනුම භාවිතා කළහැකි ක්‍රම ශිල්ප කවරේදැයි පැහැදිලි කර තේරුම් ගෙන ඒ අනුව පූර්ව සූදානම. 

2. එසේ සකස් කර ගත් සැලැස්ම ඉගැන්වීමේදී අන්තර්ගතය ඉදිරිපත් කිරීමෙහිලා කුමන මාර්ග භාවිතා කළ හැකිදැයි සලකා බැලීම. 

     යනාදිය වේ. මෙහිදී සැළසුම්කරනය හා ඉගැන්වීම යන සංසිද්ධි ද්වය සාර්ථක ලෙස ඉෂ්ට කර ගැනීමට නම්; ඉගෙනුම් ඵල , කිසියම් ප්‍රවේශ චර්‍යාවකින් ඉගෙනුම් ක්‍රියාවලිය ආරම්භ කිරීම, අපේක්ෂිත නිපුණතා පෝෂණය කිරීම , ඉගෙනුම් ඵල ඇගයීම / ප්‍රතිපෝෂනය යන ප්‍රධාන කාරණා ඉටුවිය යුතු බවද 1976 ග්ලේසර් නම් ව්ද්වතා විසින් පෙන්වා දී තිබේ.


  • අධ්‍යාපන මනෝවිද්‍යාවේ කාර්යභාරය හා ගුරුවරයා.

         අධ්‍යාපන මනෝවිද්‍යාව මනෝවිද්‍යාවේ ප්‍රායෝගික හෙවත් ව්‍යවහාරික අංශයක් වශයෙන් හදුන්වා දිය හැකි ය. පාසල් සංවිධානය තුළ සිසුන්ගේ හැසිරීම් විෂයෙහි සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරිම අධ්‍යාපන මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත්‍රය වේ . ළමයින් පිළිබඳව පංති කාමරයේදී කටයුතු කරන අවස්ථාවේදී ගුරුවරයා විසින් අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනුම භාවිතා කිරීම කළ යුතුම අත්‍යාවශ්‍යය කාරණයකි. ළමයින්ගේ බුදිධිමය , භාවමය හා සාමාජීය වර්ධනයේ ස්වභාවය කෙබඳු ආකාරයේද ?  *  ළමයින්ගේ මූලික අවශ්‍යතා මොනවද ? *ළමයින්ගේ හැසිරීම් විෂයෙහි බලපාන සාධක මොනවද ? යන කරුණු කාරණා පිළිබඳව ගුරුවරයට මනා දැනුමක් තිබීම හා එකී කාරණාවන් පිළිබඳව ස්වයං අවබෝධයක් තිබීම වැදගත් වන්නේය. 

           මනෝවිද්‍යාත්මක සංකල්ප හා ක්‍රම යොදා ගනිමින් , ඉගෙනීම සහ ඉගැන්වීම් පිළිබඳව ගැටලු විමසා බැලීම අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන අරමුණ වේ. සාමාන්‍ය මනෝවිද්‍යාව අධ්‍යාපන හා සම්බන්ධ ගැටලු නිරාකරණයට යොදා ගැනීමක් ලෙස ද එය බොහෝ දුරට හැදින්විය හැක. එම නිසා අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන තේමාව ඉගෙනීම බවද , ප්‍රධාන අරමුණ කාර්යක්ෂම ඉගෙනුමකට  අවශ්‍ය  නිවරදි තත්ත්ව ගොඩනගා ගැනීමේ ක්‍රම සෙවීම බවද උක්ත කරුණු තුලින් මනාව අවබෝධ කර ගත හැක. ළමයින්ගේ බුදිධිමය , චිත්තවේගී වැනි මනෝමය සාධක උදෙසා අධ්‍යාපන මනෝවිද්‍යාවේ විෂය පථයෙන් වැඩි ප්‍රතිශතයක් යෙදෙන බව හදුනා ගත හැකිය. ඒ සමාජ සංවර්ධනය ගැන වඩා හොද අවබෝධයක් ලබා ගැනීම උදෙසා ය. අද වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ගුරුවරයට පංති කාමරය තුළ දී අධ්‍යාපන මනෝවිද්‍යාව නොසලකා හැරිය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව හදුනා ගත හැකිය. එම නිසාවෙන් යමෙක් සාර්ථක ගුරුවරයෙකු වීමට නම් හෙතෙම අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙකු බවට පත් විය යුතු බව මෙමගින් මනාව අවබෝධ වේ. අධ්‍යාපන මනෝවිද්‍යාව හා සම්බන්ධ ඉතා වැදගත් කරුණු 3 ක් ඇත. එනම්, 


1.ඉගෙනීම ලබන්නා.

2.ඉගෙනුම් ක්‍රියාවලිය.

3.ඉගෙනුම් අවස්ථා. 

               යනාදියයි. ඉගෙනුම ලබන්නා හෙවත් ළමයින් කෙරෙහි පළමුව ගුරුවරයාගේ අවධානය යොමු විය යුතුය. මෙහිදී එසේ අවධානය යොමු කරනවාත් අතරම , ඉගෙනුම ලබන්නා හා ඉගෙනුම ලබන අවස්ථා අතර ද මනා සම්බන්ධතාවයක් පැවතීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතු කරුණකි. එසේ ගුරුවරයට ඉගෙනුම් ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය මනෝවිද්‍යාවෙන් මනාව ලබා ගත හැකිය. විශේෂයෙන්ම ඉගෙනුම් අවස්ථා පිළිබඳව ගුරුවරයාගේ සැලකිල්ලට භාජනය විය යුතු ය. ඉගෙනුම් අවස්ථා ලෙස, 

* පාසල් පංති කාමරය 

* පරිසරය 

* පාඩම් අරමුණු 

* දෙමාපිය අපේක්ෂා. 

                         ආදිය දැක්විය හැකිය. ගුරුවරයට මෙකී ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යාපන මනෝවිද්‍යාව මගින් මනා අවබෝධයක් ලබා ගත හැකිය. අනෙකුත් මනෝවිද්‍යා ක්ෂේත්‍ර වලින් ලද දැනුම හා එම ක්ෂේත්‍ර වල පර්‍යේක්ෂණ මූලධර්ම ද භාවිතා කරමින් අධ්‍යාපන මනෝවිද්‍යාවඥයන් විසින් නව දැනුම නිපදවීම සිදු කරති. එසේම අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් සාමාන්‍ය මනෝවිද්‍යාත්මක ක්‍රම ශිල්ප භාවිතා කරන අතර නව දැනුම නිපදවීම ද සිදු කරති. නව ක්‍රම ශිල්ප ගොඩනැන්වීමෙහි නිරත වෙති. විවිධ ක්ෂේත්‍රයන්හි ඉගෙනුම සිදුවන ආකාරය පිළිබඳව ද අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් විසින් පර්‍යේක්ෂණ පවත්වනු ලබයි. එකී ක්ෂේත්‍ර නම්, 


* ළදරු පාසල් වල.

*ප්‍රාථමික හා ද්විතීයික පාසල් වල.

* විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන වල. 

* හමුදා හා කර්මාන්ත ක්ෂේත්‍රයෙහි.  

                                                      යනාදියයි. 

           අධ්‍යාපන මනෝවිද්‍යාව පර්යේෂණාගාරවලට පමණක් සීමාවූවක් නොවේ. අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රය මිනිසුන් ඉගෙන ගන්නා කවර ස්ථානයක හෝ සිදුවන ක්‍රියාවන් සමග සම්බන්ධ වන ආකාරය හදුනා ගත හැක. මිනිසුන් ඉගෙන ගන්නේ කෙසේද ? , කෙසේ ඉගැන්විය යුතුද.. ? යන දෙයංශයේ ම අධ්‍යාපන මනෝවිද්‍යාවේදි කටයුතු කළ යුතුය. මෙහිදී විශේෂයෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාව ගුරුවරුන් හට කිසිසේත්ම බැහැර කළ නොහැකි ය. ඊට හේතු කාරණා වනුයේ; අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනුම ගුරු කාර්‍යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සිදු කරන නිසාවෙනි. සැබවින්ම දක්ෂ ගුරුවරයෙකු වීම සදහා කෙනෙකු සාර්ථක මනෝවිද්‍යාඥයෙකු විය යුතුම බව ප්‍රක්තයක්ෂ කරුණකි.


  • අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් ගුරුවරයට ඇති ප්‍රයෝජන.

     ගුරුවරයාට විවිධ අවස්ථාවන්හිදී විවිධ අන්දමට අධ්‍යාපන මනෝවිද්‍යාව ප්‍රයෝජනවත් වේ. එසේ ප්‍රයෝජනවත් වන අවස්ථා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමූ. 


* ඇගයීම් කාර්යය සාර්ථකව කිරීම සදහා.

* කළමනාකරණ කාර්යය සාර්ථක කරගැනීම සදහා. 

* විනය පවත්වා ගැනීම සදහා. 

* ගුරුවරයට අන්තර් පුද්ගල සබදතා සාර්ථකව පවත්වාගෙන යාම සදහා.

* ළමයාගේ ස්වභාවය අවබෝධ කර ගැනීමට.

* ළමයා ඉගෙන ගන්නා ආකාරය තේරුම් ගැනීම සදහා.

* ළමයා හැදී වැඩෙන ආකාරය තේරුම් ගැනීම සදහා.

* අවශ්‍ය ළමයින් සදහා උපදේශනය හා මාර්ගෝපදේශනයට..

* ළමයින්ගේ නිපුණතා ඇගයීම් කාර්‍යය සදහා.

* තමන් පිළිබඳව ස්වයං අවබෝධයක් ලබා ගැනීම සදහා.

* පාසල් ප්‍රජාව සමග සාර්ථකව සබදතා පැවැත්වීමට.

* ළමයා ඉගෙනුම සදහා පෙළඹවීමට.

* ළමා රුචිකම්, අභියෝග්‍යතා හදුනා ගෙන සංවර්ධනය කිරීම උදෙසා.

* විශේශ අවශ්‍යතා සහිත ළමයින් හදුනා ගැනීම සදහා 

* ඉගැන්වීම් න්‍යායයන් හා උපක්‍රම දැන ගැනීමට.

* ඉගෙනුම් අවස්ථා , මානසික හා චිත්තවේගීක පරිසරය තේරුම් ගැනීම සදහා 

* කාලසටහන් සැකසීමේ මූලධර්ම සදහා 

* යම් යම් විශයන් ඉගැන්විය යුතු වෙලාවන් තීරණය කිරීම සදහා 

* එක් එක් ළමා කණ්ඩායම් වලට කථා කිරීමට ඉගැන්වීම , අවබෝධය ලබා ගැනීම සදහා 

* එක් එක් ළමා කණ්ඩායම් වලට උචිත විෂය සමගාමී කටයුතු හදුනා ගැනීම උදෙසා 

* පාසලේ / පංතියේ සමාජ ව්‍යුහය තේරුම් ගැනීමට 

* දෙමාපිය සබදතා පැවැත්වීමට 

* සමාජ නායකත්ව පෞරුෂයක් පවත්වාගෙන යාමට 

* විෂයමාලා සැකසීම උදෙසා 

* පෙළපොත් ලිවීම / සංස්කරණය / මුද්‍රණය සදහා 

* ළමා සංවර්ධනයට අදාළව කටයුතු කිරීම සදහා 

  

අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් ගුරුවරයට ඇති ප්‍රයෝජන පිළිබඳව මනා අවබෝධයක් සහ එහි හරය තේරුම් ගැනීම උදෙසා එකී ප්‍රයෝජන කිහිපයක් පිළිබඳව කරුණු වශයෙන් විස්තර සහිතව අවධානය යොමු කරමු. 


* ශිෂ්‍යයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම සදහා.

   ශිෂ්‍යයා සෑම අවස්ථාවකදීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී වැදගත්කම සාධකය වේ. මෙහිදී ජාති , කුල,  ආගම්, වර්ණ භේදයකින් තොරව සෑම ශිෂ්‍යයෙකු ම සුවිශේෂී කොට සැලකීම වැදගත් වේ. 

 සම වයස් හෝ එකම ශේණියේ සිටින ළමයින් අතර ඇති, බැලූ බැල්මට පෙනෙන, පොදු සමාන හා යටින් දිවෙන අනන්‍ය වූ , අසමාන වූ චර්යා ලක්ෂණ හා ගති ලක්ෂණ වේ. මේ පොදු බව මෙන්ම විශේශ බවද  නිවරදිව හදුනා ගැන්මට සෑම ගුරුවරයෙකුටම හැකි විය යුතු ය. *

-( අතුකෝරාල , දයාරෝහණ , (2015) , අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා , 51 පිටුව ) 


     සමාන වයසක ළමයින් ගත කරන විට ඒ ඒ ළමයින් පොදු වර්ධන මට්ටමක ගත කරන විට කායික , බුදිධිමය, සමාජමය, සදාචාරමය වශයෙන් වෙන වෙනම වුවද ළමයින්ගේ වෙනස් කම් කිසියම් ප්‍රමාණයකට වෙනස් බව දැකිය හැක. එකී වෙනස් කම් අංග ලක්ෂණ වෙනත් බාහිර බලපෑම් සමග, බාහිර සමාජය සමග සම්බන්ධ වී සමස්ත වශයෙන්, පොදු වශයෙන් ළමයින්ගේ චර්යාවාවෙහි පවතින අනන්‍යසම වූ ලක්ෂණ මතුවන ආකාරය දැක ගැනීමට , හදුනාගැනීමට මෙකී සංසිද්ධීන් මනාව තේරුම් ගැනීමට ගුරුවරයා හට අධ්‍යාපන මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව හා සමාජ මනෝවිද්‍යාව යන ක්ෂේත්‍ර යන්හී මනා වැටහීමක් , අවබෝධයක් තිබිය යුතුය. එසේ හදුනාගෙන ඉගැන්වීම් ක්‍රියාවලිය පොදු රටාවකට සැළසුම් කළ ද , එම පොදු බවත් සමග ඒ ඒ ළමයාට විශේෂිත වූ ඉගැන්වීම් ක්‍රමයක් සැළසුම් කිරීම ගුරුවරයා විසින් අනිවාර්යයෙන් ම සිදු කළ යුතු අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත් වේ.   එසේ චින්තනයක් ගුරුවරයාගේ මනසෙහි ඇති වීමට නම් අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව දැනීමක් පැවතීම අත්‍යවශ්‍ය වේ. ගුරුවරයා විසින් ශිෂ්‍යා කේන්ද්‍ර කර ගෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු වේ. ඒ ඒ ශිෂ්‍යා දන්නා දෙයින් නොදන්නා කරුණු මොනවද යන්න වෙන් කරගෙන ගුරුවරයා විසින් ඒ ඔස්සේ , සරල බවෙන් සංකීර්ණ බවටත් , සංයුක්ත සංකල්ප මගින් වියුක්ත සංකල්ප වලටත් යමින් මනා ඉගැන්වීම් ක්‍රමයක් ගොඩ නැංවිය යුතු වේ. මේ සදහා ගුරුවරයා විසින්;

* කෝල්බර්ග් ඉදිරිපත් කළ සදාචාර සංවර්ධන රටා.. 

* ෆ්‍රොයිඩ් සහ එරික්සන් ඉදිරිපත් කළ පෞරුෂ සංවර්ධන න්‍යායයන් පිළිබඳවත් 

* පියාජේ ඉදිරිපත් කළ බුද්ධි සංවර්ධන න්‍යායයන් පිළිබඳවත් 

මනාව දැනගෙන, ඒ පිළිබඳව අවබෝධයක් ලබා සිටින අයෙකු විය යුතු වේ. 

       තමා උගන්වන ශිෂ්‍යයන් දැනට සිටින සංවර්ධන අවධිය කුමක්ද ? යන්නත්, ශිෂ්‍යයන් විසින් පසු කළ සංවර්ධන අවධියත් , ශිෂ්‍යයන් පා තැබීමට නියමිත සංවර්ධන අවධිය කුමක්ද ? යනාදිය පිළිබඳව ගුරුවරයා දැන සිටීම වැදගත් වේ. එසේ නොදැන කරනු ලබන ඉගැන්වීම් කාර්යය තුළ දුබලතා හදුනා ගත  නොහැකි ය. එය ළමයා විෂයෙහි ගත් විට එමගින් ළමයාට සිදු වනුයේ පුලුල් වූ අසාධාරණයකී. 

   ළමයාට සාධාරණයක් ඉටු වීම උදෙසාත් , ගුරුවරයාගේ ඉගැන්වීම් කාර්යය මනා ලෙස අර්ථ සම්පන්න බවට පත් වීමටත් , ගුරුවරයට ශිෂ්‍යයා පිළිබඳව උක්ත කාරණා සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම උදෙසාත් , ගුරුවරයා අධ්‍යාපන මනෝවිද්‍යාව උගත් අයෙකු විය යුතු වේ.  ගුරුවරයා අධ්‍යාපන මනෝවිද්‍යාව උගත් පමණින් එකී සාපල්‍යතා ලගා කර ගත නොහැක. සැබවින්ම ගුරුවරයා ඊට අනුව කටයුතු කරන අයෙකු වීම ද මෙහිදී ඉතාමත් අත්‍යවශ්‍ය දෙයකි. 


* තමන් පිළිබඳ ස්වයං අවබෝධයක් ලබා ගැනීම සදහා.

     ගුරු ශිෂ්‍ය ක්‍රියකාරකම් වල දී ගුරුවරයට වැදගත් තැනක් හිමි වේ. අධ්‍යාපනයෙන් , වයසින් හා පෙනුමෙන් වැඩිහිටි ගුරුවරයා සෑම කල්හිම සිසුන්ගේ අවධානයට යොමු වේ. ගුරුවරයා හැසිරෙන ආකාරය , කතා කරන ආකාරය හා සම්බන්ධතා පවත්වන ආකාරය යන සියල්ල ශිෂ්‍යයන් විසින් අනුකරණය කරනු ලබයි. ගුරුවරයා සියල්ල දත්, නිවරදි දේ කරන, ආදර්ශයට ගත යුතු හොදම ආකෘතිය ය යන අදහස ප්‍රාථමික වසර වලදී ළමයි දරති. මේ නිසා ගුරුවරයා සෑම කල්හිම තමා හදුනා ගෙන අපේක්ෂිත මට්ටමට හැසිරීමට උනන්දු විය යුතු වේ. මේ කාර්යයේදී මනෝවිද්‍යාත්මක දැනුම ගුරුවරයට තම පෞරුෂය සමබරව තබා ගැනීමේ කාර්යය පහසු කරයි.

- ( අතුකෝරාල, දයාරෝහණ, (2015) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, 50 පිටුව ) 


    මෙහිදී ගුරුවරයා සමාජ සම්බන්ධතා රටා පිළිබඳව, තමාගේ චිත්තවේග ආකූලතා මොනවද යන්න පිළිබඳව , මනෝවිද්‍යත්මක මූලධර්ම භාවිතයෙන් එහි න්‍යායයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගෙන තමාගෙ පෞරුෂය පිළිබඳව වැටහීමක් ලබා ගත යුතුය. ඒ අනුව එකී පදනම මත ගුරුවරයට තම වෘත්තිය තුළ; ගුරු පෞරුෂය මනාව හැඩ ගස්වා ගත හැක. ගුරුවරයා ද මේ මහා සමාජයේ වැදගත් තැනක් උසුලන ගෞරවනීය සමාජ සාමාජිකයෙකු වේ.   සමාජයේ සිටින සෑම සමාජ සාමාජිකයෙකුට ම මෙන්ම, වෘත්තිකයෙකුට, නායකයෙකු ට මෙන්ම ගුරුවරයට ද විවිධ ගැටලු, ප්‍රශ්න මතු විය හැක. එකී අවස්ථාවන් වලදී අන් සෑම අයෙකු මෙන්ම ගුරුවරයා ද ඉච්ඡාභංගත්වයට හෙවත් බලාපොරොත්තු බිදුනු තත්වයට පත් විය හැක. යම් කිසි අවස්ථවකදී... එවැනි තත්වයකදී ඉගැන්වීම් කාර්යය සිදු කරන අවස්ථාවන් වලදී එය ශිෂ්‍යයා විෂයෙහි ද අයහපත් ආකාරයේ බලපෑම් එල්ල විය හැක. එය ගුරුවරයාගේ පෞරුෂයට ප්‍රහාරයක් එල්ල කරා වැනි ය. නමුත් ගුරුවරයා මනෝවිද්‍යාව උගත්, අධ්‍යාපන මනෝවිද්‍යාව ජීවිතයට සම්බන්ධ කර ගත් අයෙකු ව්න්නේ නම්, ගුරුවරයට පංති කාමරයේ දීත්, පාසලේදීත්, සමාජයේදීත්, ආදර්ශමත් අයෙකු ලෙස, මනා පෞරුෂයකින් කටයුතු කළ හැකිය.


 * අවශ්‍ය ළමයින් සදහා උපදේශන හා මාර්ගෝපදේශ කාර්යයන් සදහා.

     වර්තමානයේ ගුරු භූමිකාව හුදෙක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සීමා නොවේ. මනෝචිකිත්සකයෙකු, ආගමික පූජකයෙකු , මාර්ගෝපදේශකයකු , නීතිය ආරක්ෂා කරන්නෙකු , යුක්තිය පසිදලන්නෙකු ආදී ලෙස විවිධ භූමිකා රගපෑමට වර්තමාන ගුරුවරයට සිදු වී ඇත. සංකීර්ණ වූ , නාගරීකරණය වූ ,  කාර්මීකරණය වූ , බිදුනු පවුල් හා අපරාධයන් ගෙන් අඩු නොවූ , කෘතීම වූ , අසංවර වූ , සමාජ සාරධර්ම බිද හෙලන්නා වූ , නිල් චිත්‍රපටි , රූපවාහිනී ආදී සන්නිවේදන මාධ්‍ය මගින් විපරිත කරන ලද ශිෂ්‍යයන් සෑම පංති කාමරයක දී ම මුණ ගැසේ. මොවුන් සමාජයේ වරද නිසා එහි ගොදුරු බවට පත් වූ අසරණයන් ය. සදාචාර පරිහානියේ , චිත්තවේග පරිහානියේ විවිධ මට්ටම් වල මොවුන් සිටිය හැකි ය. 

( අතුකෝරාල, දයාරෝහණ, ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා  ගුරුවරයා., 53 පිටුව )

  

          ඉගෙනුම් සමාජයෙන් කොන් කිරීම, මානසික වශයෙන් අසහනයට පත් කිරීම වැනි දේවල් වලට වඩා මෙකී ශිෂ්‍යයන් ට ආදරය , උණුසුම , සුරක්ෂිතතාව , මග පෙන්වීම හා කාරුණිකවත්වය අවශ්‍යව ඇත. මේ සියල්ල එකී ශිෂ්‍යයන් නිවසේ දෙමාපියන් , සමාජයෙන් සේම පාසලේ දී ගුරුවරුන්ගෙන් නියත වශයෙන්ම බලාපොරොත්තු වේ. එම නිසාවෙන් ගුරුවරයා ඉගෙනුම් කාර්යයට අමතරව එකී භූමිකාව ද නිසි පරිදි ඉටු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි. නමුත් ගුරුවරයට එකී උපදේශන හා මගපෙන්වීමේ කාර්යය ඉටු කළ හැකි වන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව , ළමා මනෝවිද්‍යාව පිළිබඳ ඉගෙන ගෙන සිටිය හොත් පමණී. මෙහිදී ගුරුවරයා විසින් ඒ ඒ අදාල ශිෂ්‍යයන්ගේ බුද්ධි වර්ධන මට්ටම , පෞරුෂ වර්ධන ස්වරූපය , රුචි අරුචිකම් හා ආකල්ප යන සියල්ල මැන බැලීම සිදු කළ යුතු වේ. ඒ සදහා ගුරුවරයා විසින් ගුරුවරයාගේ වෘත්තියේ ම කොටසක් ලෙස එකී කාර්යයන් ඉටු කිරීම සදහා විවිධ පර්‍යේක්ෂණ  සකස් කිරීම , මෙහෙයවීම , ප්‍රථිඵල අර්ථකථනය කර නැවත ඒ සදහා විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම.. යනාදී නිසි විවිධ පිළියම් යෙදීම හා ක්‍රියාවට නැන්වීම සිදු කළ යුතු වේ. සම වයස් කණ්ඩායම් සමග කටයුතු කරන්නේ කෙසේද ? , හොද මිතුරන්.. ආශයට නුසුදුසු පිරිස හදුනා ගන්නේ කෙසේද ? , භාහිර සමාජයේ බලපෑම් හදුනාගෙන ඉගෙනුම් කටයුතු නිසියාකාරව කරගෙන යන්නේ කෙසේද ? , සමාජ සබදතා පවත්වන්නේ කෙසේද ? , සදාචාරාත්මක හැසිරීමක්  ඇති කර ගන්නේ කෙසේද ? ..... යනාදිය පිළිබඳව ශිෂ්‍යයාට මගපෙන්වීමට ගුරුවරයා විසින් සමත් විය යුතු වේ. නමුත් අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව නොදැන ගුරුවරයට මෙකී එකදු කාර්යයක් හෝ සාර්ථකව ඉටු කළ නොහැකි වනු ඇත.


* ගුරුවරයාට විනය පවත්වා ගැනීම සදහා. 

               සමාජයේ සෑම සාමජිකයෙකුගේ ම දුප්පත් , පොහොසත් , උස් , පහත් , ජාති , කුල , ආගම් භේදයකින් තොරව දරුවන් පාසලේ සිටින නිසාවෙන් පාසල යනු  අවට සමාජයේ ම ප්‍රතිබිම්බයක් වශයෙන් හැදින්විය හැක. එම නිසා පාසලේදී , පංති කාමරයේ දී සමාජයේ දැකිය හැකි සෑම විනය ගැටලුවක් ම පාහේ දැක ගත හැක. බලාපොරොත්තු විය හැක. මෙහිදී එකී තත්ත්වයන් තුළදී ගුරුවරයාගෙන් බලාපොරොත්තු වනුයේ අදාල විනය ගැටලුව කුමක්ද ? යන්න හදුනාගෙන , ගැටලුවේ ස්වරූපය හා ශිෂ්‍යයන් ගේ මානසික තත්ත්වය වටහාගෙන , නිවරදිව ගැටලු විශ්ලේෂණය කර සාර්ථකව පිළියම් යෙදීම වේ. දඩුවම් දීම අවශ්‍ය ද ? , අවශ්‍ය නම් ඒ කවර අන්දමට ද ? කවර ආකාරයෙන් කෙසේ කළ යුතු ද ? , ඒ ඒ වයස් වල දරුවන් දඩුවම් , නීති රීති පිළිබඳව දරන ආකල්ප හා ඔවුන් දක්වන ප්‍රතිචාර වෙනස් වේ. පියාජේ , කෝල්බර්ග් , නෝර්මන් , ජේ. බුල්. පෙක් හා හැවි(ග්)හර්ස්ට් ආදීන් මේ පිළිබඳ ව විවිධ මත පල කර ඇත. මෙම මත පිළිබඳ ව වැටහීම ඇති කල්හි විනය පාලකයෙකු ලෙස ගුරුවරයට සාර්ථකව කටයුතු කළ හැකි ය. 

( අතුකෝරාල, දයාරෝහණ, ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා., 54 පිටුව ) 


          අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව නොදන්නා , අවබෝධයක් නොමැති ගුරුවරයා ශිෂ්‍යයා විසින් සිදු කරන සෑම වරදකට ම , ශිෂ්‍යයන්ගේ වෙනස් වූ සෑම හැසිරීමකට ම ඒ ඒ අවස්ථාවන් වලදී හිතුන හිතුන පරිදි දඩුවම් ලබා දීම සිදු කළ ද , ශිෂ්‍ය මට්ටම් හා ශිෂ්‍යයින්ගේ චින්තන වර්ධනය ගැන මනා අවබෝධයක් ඇති ගුරුවරයා දඩුවම් ලබා දීම අර්ථවත්ව , සංගතිකව , ස්ථිරව සිදු කරමින් ශිෂ්‍යයා යහපත් මාර්ගයෙහි යෙදවීම සිදු කරනු ලබයි. නමුත් ගුරුවරයට එසේ එය නිවරදි ආකාරයට විනයකින් යුතුව කටයුතු කළ හැකි වන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධයෙන් නිසි දැනුමක් පවතින්නේ නම් පමණි.


* ඇගයීම් කාර්යය සාර්ථකව කිරීම සදහා. 

         ඉගැන්වීම , ඉගෙනීම , ඇගයීම යන කාර්යයන් තුන එකිනෙකට සම්බන්ධව එක් ව යන ක්‍රියකාරකම් තුනකි. මෙහිදී එකී සම්බන්ධතාවය නම් ඉගැන්වීම සාර්ථකව ඉටු කළ හැකි වීද..? යන්නත්, ඉගෙනීම සාර්ථකව සිදු වූයේ ද යන්න පිළිබඳව මැන බැලීම සදහා ඇගයීම් ක්‍රියාදාමය සාර්ථකව සිදු කිරීමයි. 

      අධ්‍යාපන මනෝවිද්‍යාවේදී බුද්ධි පර්‍යේක්ෂණ සැකසීම හා ඇගයීමට ලක් කිරීම , රචනාමය , බහුවරණ ප්‍රශ්න පත්‍ර සැකසීම , වාචික හා ලිඛ්ත ප්‍රශ්න සැකසීම පිළිබඳවත් , පවත්වනු ලබන විභාග වලින් ගන්නා ලකුණු අර්ථකථනය කරනුයේ කෙසේද යන්න පිළිබඳවත් අවබෝධයක් ලබා දේ. එම වැටහීම නොදත් ගුරුවරයට තමා කරන කාර්යය පිළිබඳව නිවරදි වැටහීමක් නොමැත. මේ නිසා ඉගැන්වීම හා සමානවම වටිනාකමක් ඇති ඇගයීම් කාර්යය සාර්ථකව මෙහෙයවා ලීමට අධ්‍යාපන මනෝවිද්‍යාව හා මිනුම් ක්‍රම ඉගෙන ගෙන තිබීම වැදගත් වේ.


* ගුරුවරයාට අන්තර් පුද්ගල සබදතා සාර්ථකව පවත්වාගෙන යාම සදහා.

           ගුරු - ශිෂ්‍ය , ගුරු - ගුරු , ගුරු - විදුහල්පති , ගුරු - පරිපාලන හා ගුරු -  දෙගුරු යනාදී විවිධ වූ මට්ටම් යටතේ විවිධ වූ සමාජ සබදතා සාර්ථකව පවත්වා ගැනීමට තම වෘත්තීමය කටයුතු වලදී ගුරුවරයට සිදු වේ. යම් යම් අවස්ථාවන් වලදී මනෝවිද්‍යාව ගැන නොදන්නා ඇතැම් දෙමාපියන් , විවිධ නිළධාරීන්ගෙන් විවිධ බලපෑම් එල්ල විය හැක. නිදසුන් වශයෙන් දැක්වුව හොත්; ශිෂ්‍යයාගේ පවතින ප්‍රථිඵල ඉහල නංවා පෙන්වා දෙන ලෙස.. විවිධ නිර්දේශ පත්‍ර නිකුත් කර දෙන ලෙස.. ආදී වශයෙනි. සැබවින්ම මෙහිදී එකී බලපෑම් මත සිට ගුරුවරයා කටයුතු කළ හොත් ශිෂ්‍යයාට මානසික මෙන්ම කායික අතින් ද සිදු වන්නේ මහත් වූ අසාධාරණයකී. යම් හෙයකින් එසේ සිදු වුව හොත් ගුරුවරයාගේ පෞරුෂයට මෙන්ම පාසලට ද එයින් අපකීර්තියක් , හානියක් සිදු විය හැකි ය. වර්තමානයේ ද පාසල් පද්ධතීන් තුළ සංවර්ධන සමිති , ගුරු දෙගුරු රැස්වීම් , පෞද්ගලිව ගුරුවරයා මුණ ගැසී.... යනාදී වශයෙන් විවිධ අවස්ථාවන් වල ගුරුවරයට විවිධ පාර්ශවයනගෙන් පැමිණෙන බල කිරීම් දැක ගත හැක. මෙහිදී මෙවැනි තත්ත්වයන් වලදී ගුරුවරයට එවැනි උපදෙස් ලැබුණ ද.., ශිෂ්‍යයන් ට හිරිහැරයක් නොවන අන්දමට කටයුතු කිරීමට අධ්‍යාපන මනෝවිද්‍යාව උගත් ගුරුවරයට හැකි වේ . ගුරුවරයා ප්‍රජාව සමග එක්ව කටයුතු කරන , පාසලත් , ප්‍රජාවත් යා කරන පුරුකක් විය යුතු වේ.  එහිදී ළමයින් හදාවඩා ගැන්ම පිළිබඳව දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව දෙමාපියන් සමග සාකච්චා කළ යුතු වේ. මනෝවිද්‍යාව උගත් එය භාවිතා කරන ගුරුවරයට මෙහිදී කළ හැකි කාර්යභාරය ඉමහත් ය. 

( අතුකෝරාල, දයාරෝහණ,( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා., 55 පිටුව )



* කළමනාකරණ කාර්යය සාර්ථක කර ගැනීම සදහා.

         අතීතයේ පැවති අධ්‍යාපන ක්‍රියාවලියට වඩා වර්තමානයේ තාක්ෂණයේ දියුණුව , අධ්‍යාපන රටා වල සිදු වී තිබෙන වෙනස්කම් ආදිය නිසාවෙන් වේගවත් අධ්‍යාපනයක් දැකගත හැක. වර්තමානයේ පාසල් පද්ධතිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය දෙස අවධානය යොමු කිරීමේ දී සීමිත කාලයක් තුළ දී , සීමිත සම්පත් උපයෝගී කර ගෙන උපරිම ප්‍රථිඵල ලබා ගන්නටත් , පෙන්වීමටත් බල කරන අධ්‍යාපන විශේෂඥයන් මෙන්ම විවිධ නිළධාරීන්ගේ බලපෑම් පවතින නිසාවෙන් ගුරුවරයා මතම විශාල කාර්යභාරයක් , වගකීමක් ඉටු කිරීමට භාර ව ඇත. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ ළමයාට වේ. ශිෂ්‍යයා කේන්ද්‍ර කොට ගෙන , ශිෂ්‍යයාගේ අභිවෘද්ධිය උදෙසා අධ්‍යාපන ක්‍රියාවලියේ දී සියල්ල සැලසුම් කිරීම සිදු කළ යුතු ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් එකී කළමනාකරුවන් විසින් ඉදිරිපත් කරන සෑම අදහසක් ම , මූලධර්මයක් ම අධ්‍යාපන මනෝවිද්‍යාව හා මනෝවිද්‍යාව සමග කිසිදු අදාල තාවයක් නොදක්වන අවස්ථා දැක ගත හැක. එවැනි අවස්ථාවන් වලදී ගුරුවරයා හට තමාගේ පාසලට, පංති කාමරයට, ශිෂ්‍යයන්ට ගැලපෙන ආකාරයට , උචිත පරිදි ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වා ගෙන යාමටත් , සාර්ථක කළමණාකරනයක් එතුළ පවත්වාගෙන යාමටත් , සමත් වීමට හැකි වන්නේ.. අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව  අවබෝධයක් හා එතුලින් උකහා ගත් දැනුම මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා ශිෂ්‍යයා පිළිබඳව මනා දැක්මක් පවතින්නේ නම් පමණි.


 * ගුරුවරයාට විෂය කරුණු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හා ඉගැන්වීම් ක්‍රම සැලසුම් කිරීම සදහා. 

          ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රධානම , වැදගත්ම , ප්‍රමුඛතම සාධකය වන්නේ විශය කරුණු වේ. ගුරු ශිෂ්‍ය  හමුවකදී විෂය කරුණු සම්ප්‍රේෂණය කිරීමක් සිදු වේ. මේ නිසා ඒ ඒ ශිෂ්‍යයාට දරාගත හැකි , තේරුම් ගත හැකි , අවබෝධ කර ගත හැකි විෂය කරුණු කවරේදැයි තෝරා බේරා ගැන්මට ගුරුවරයට අධ්‍යාපන මනෝවිද්‍යාව උපකාරී වේ. තෝරා ගන්නා විශය කරුණු දරුවන්ගේ බුද්ධි සංවර්ධන අවධියට ගැලපෙන පරිදි සරල කර, අවශ්‍ය නිදර්ශන ඉදිරිපත් කරමින් , සිත්ගන්නා සුළු අන්දමින් , අවශ්‍ය ශව්‍ය දෘෂය ආධාරක ද උපයෝගී කරගෙන , උචිත පරිදි ඉදිරිපත් කිරීමට අධ්‍යාපන මනෝවිද්‍යා දැනීම බෙහෙවින් *උපකාරී වේ. 

( අතුකෝරාල, දයාරෝහණ , ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා., 52 පිටුව )


         මෙහිදී දරුවන්ට විෂය කරුණු ඉදිරිපත් කිරීමේ දී ගුරුවරයා විසින් ශිෂ්‍යයන්ට කරුණු මනාව නිරවුල්ව ග්‍රහණය කර ගත හැකි ආකාරයත් , ශිෂ්‍යයින්ට කරුණු ග්‍රහණය කර ගත හැකි පහසු ශිල්පීය ක්‍රම භාවිතා කරමින් විෂය කරුණු ඉදිරිපත් කිරීමටත්... ගුරුවරයට මග පෙන්වනුයේ අධ්‍යාපන මනෝවිද්‍යාව මගිනි. ඒ ඒ අවස්ථාවට උගන්වන පාඩමට , පංති කාමරයට , ශිෂ්‍යයින්ගේ මානසික මට්ටමට ගැළපෙන ආකාරයට ගුරුවරයා විසින් ඉගැන්වීම් ක්‍රම සැළසුම් කළ යුතු වේ. මෙහිදී කවර අවස්ථවකදී දේශන කළ යුතු ද? , කුමන අවස්ථාවක සාකච්චා කිරීම.. , ගැටලු විසදීම , පියවර මගින් නිර්මාණාත්මක ක්‍රමයකට පාඩම ඉදිරිපත් කිරීම , ගවේශන , පැවරුම් , ව්‍යාපෘති , නිබන්ධන ක්‍රම භාවිතා කිරීම යනාදිය තීරණය කිරීමට හා ක්‍රියාත්මක කිරීම උදෙසා ගුරුවරයට මහත් ඉඩකඩක්.. රුකුලක්.. සපයනු ලබන්නේ.. අධ්‍යාපන මනෝවිද්‍යාව මගිනි. මක්නිසාද අධ්‍යාපන මනෝවිද්‍යාව ගුරුවරයා හට * පැව්ලොව් , තෝන්ඩයික් , ස්කිනර්.. ආදී මනෝවිද්‍යාඥයින් ඉදිරිපත් කළ ඉගෙනුම් න්‍යායයන් ද , සංකල්ප සාධනය හා ප්‍රතිපත්තිය පිළිබඳව පියාජේ , විගොට්ස්කි , හා බෘනර්.. ඉදිරිපත් කළ න්‍යායයන් ද.., එබින්හවුස් , බාර්ට්ලේ ආදීන් කළ පර්‍යේක්ෂණ වල ප්‍රථිඵල හා එඩ්ගාර් ඩේල් ඉදිරිපත් කළ අත්දැකීම් කේතුව පිළිබඳව වැටහීමක්* 

( අතුකෝරාල, දයාරෝහණ , (2015) , අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා ) 53 පිටුව ) 


ලබා ගත හැකි වන නිසාවෙනි. ගුරුවරයට තම වෘත්තිය වඩාත් සාර්ථක කර ගැනීම සදහා මෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාව තුළින් ඉගැන්වීමේ කලාව උපයෝගී කරගෙන මෙසේ ඉගැන්වීම් ක්‍රම හා විෂය කරුණු පිළිබඳව ද මනා අවබෝධයක් ලබා ගත හැකි වේ.

        මෙසේ අධ්‍යාපන මනෝවිද්‍යාවේන් ගුරුවරයට ඇති ප්‍රයෝජන සංක්ෂිප්තව පෙන්වා දිය හැක.


ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ගේ අනාගතය දකිනුයේ ගුරුවරයා විසිනි. ඇතැම් විට ඔහු සිය මුළු ජීවිතයම කැප කරනුයේ ශිෂ්‍යයා වෙනුවෙනි. දරුවන්ගේ අභිවෘද්ධිය දැක ගුරුවරුන් සෑම මොහොතක ම සතුටු වේ. ඔවුන්ට ඒ වෙනුවෙන් දරුවන්ගෙන් පෙර හෝ පසු අපේක්ෂාවන් නොමැත. මෙවන් උදාර චේතනාවන් පෙරදැරි කරගෙන දැයට දායාද කරන දරුවන් අනාගතය වෙනුවෙන් බොහෝ දේ කරති. ඔවුහු සමාජයේ ඉතා ඉහළ නිලතල වලට පත් වෙති.  එවන් අභීත දරු පරපුරක් නිර්මාණය කළ ගුරු මව්වරු.. පියවරු.. අතීතයේ දී ද..., වර්තමානයේ දී ද..., මෙන්ම අනාගතයේ දී ද...  සුවහසක් වූ ජාතියේ මල් කැකුළු පුබුදුවා ලන්නට පාසල වෙත පිය නගනුයේ මහත් වූ සෙනෙහසකිනී.

           නමුත් වර්තමාන අද්‍යතන සමාජය තුළ ගුරුවරයාගේ විනය පිරිහුනු අවස්ථා ද අපට අසන්නට, දකින්නට ලැබේ. එනම් සිසු දරු දැරියෝ අපයෝජනයට ලක් කිරීම , තුවාල සිදුවන ආකාරයේ දැඩි පහර දීම් , බැන තර්ජනය කිරීම , නොසලකා හැරීම... වැනි අකටයුතුකම් ඒ අතර වේ. විශේෂයෙන්ම පාසල් වෙලාවෙන් පසුව පැවැත්වෙන උපකාරක පංති සදහා සහභාගි නොවන සිසුන් වෙත බලපෑම් කිරීම ද ප්‍රබලව සිදු වන්නකි. මෙවන් සිදුවීම් හේතුවෙන් වර්තමානය තුළ ගුරුවරයා කෙරෙහි පවතින විශ්වාස බොහෝ දුරට බිද වැටී ඇත. ගුරු ගෞරවය ද පරිහානියට පත් වෙමින් පවතී.  එකී කාරණාවන්ට හේතුව වනුයේ ඇතැම් ගුරුවරුන් අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම වේ.  

               ගුරුවරයා නිසා ශිෂ්‍යයා ද, ශිෂ්‍යයා නිසා ගුරුවරයා ද බබළයි යන්න සැබෑවකි. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පැවතිය යුතු සම්බන්ධතාවය පිය පුත්‍ර සම්බන්ධතාවක් විය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. " සැබෑ ගුරුවරයා යනු ප්‍රඥාව සහ හදවතේ එකතුවකි. ", "ගුරුවරුන් යනු ළමයෙකුගේ දෙවෙනි දෙමාපියන් ය. "  යනු අප සමාජයේ සංකල්ප ගත වූ තවත් එක්  ප්‍රසිද්ධ වූ අදහසකී. 

                 උක්ත කරුණු යම් පදනමක සිට සලකා බලන කල්හී සෑම ගුරුවරයකු ම අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙකු විය යුතු වේ. ඒ සදහා ලියවී ඇති පොත් පත් කියවා එම පර්‍යේක්ෂණ ප්‍රථිඵල, අධ්‍යාපන න්‍යායයන් , තේරුම් ගෙන ඒවා ප්‍රායෝගිකව තම පංති කාමරයේ හා පාසලේ භාවිතා කළ විට අඩු වෙහෙසකින්... වැඩි ප්‍රථිඵල ලබා ගත හැකි වනු ඇත. ගුරුවරයට තම වෘත්තීය ජීවිතය තෘප්තිමත්ව ගෙන යා හැකි වනු ඇත. අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගෙනගෙන , පුහුණු කළ නිරීක්ෂණ සෑම දිනකම නව දැනීමක්.. නව අත්දැකීමක් ලැබෙනු ඇත. ගුරුවරයා නිතරම වැඩ කරනුයේ , වැඩෙන ජීවියෙකු සමග ය. ඔහුගේ බාහිරව දැකිය හැකි ශාරීරික වර්ධනය මෙන් ම හෝ ඊටත් වඩා ශීඝ්‍රයෙන් , බුදිධිමය සමාජය , සදාචාරමය හා චිත්තවේගීක වර්ධනය සිදුවන බව ගුරුවරයා තේරුම් ගත යුතු වේ. එම වර්ධනයන් සිදුවන ආකාරය විනිවිද දැකිය හැකි මනසක් හා මසැසක් ගුරුවරයට තිබිය යුතු වේ. ( අතුකෝරාල, දයාරෝහණ, ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා., 56 පිටුව ) 


        සැබවින්ම අධ්‍යාපන මනෝවිද්‍යාව මගින් ගුරුවරයා හට සිය වෘත්තීය සාර්ථකත්වය ලබා ගැනීමටත් , තමාටත් , සමාජයටත් සේවයක් වීමටත් , ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයේදී ශිෂ්‍යයන් සමග උචිත පරිදි කටයුතු කිරීමටත් මනාව මග පෙන්වනු ලබයි. ඒ බව වඩාත් තීව්‍ර ව පැහැදිලි වන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් ගුරුවරයට ලැබෙන ප්‍රයෝජන සලකා බැලීමේදී වේ. ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සිදුවන සෑම අවස්ථාවක ම අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධ  වේ. මේ නිසා ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ සෑම අයෙකු ම අධ්‍යාපන මනෝවිද්‍යාව න්‍යායාත්මකව උගත යුතුවා පමණක් නොව සෑම අවස්ථාවක දී ම ප්‍රායෝගිකව භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.


References 

  • අතුකෝරාල, දයාරෝහණ , ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, ශික්ෂා මන්දිර ප්‍රකාශන, පානදුර.

  • අතුකෝරාල, දයාරෝහණ, ( 2014 ) , අධ්‍යාපන මනෝවිද්‍යාව හා අධ්‍යාපන ව්‍යවහාර පිළිබඳ රචනා, ශික්ෂා මන්දිර ප්‍රකාශන, පානදුර.

  • අබේපාල, රෝලන්ඩ්, ( 2010 ) , අධ්‍යාපනයේ මනෝවිද්‍යත්මක පදනම, සාර ප්‍රකාශන, කොට්ටාව.

  • ඒකනායක, උපාලි, ( 2018 ), මනෝවිද්‍යාත්මක අධ්‍යාපනික දාර්ශනික ගුරු උපදේශනය, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.

  • බාලසූරිය, ඒ.එස්, ( 2011 ), ආධ්‍යාත්මික සංවර්ධන මනෝවිද්‍යාව, සාර ප්‍රකාශන, කොට්ටාව.




Article Writer :- Thushani Nilushika