Sunday, June 14, 2020

පාඩම් කලාට මතක නැද්ද ?




ඔබ‍ට මතකද අද උදේට කෑවේ මොනවද කියල ? එතකොට ඊයේ සහ පෙරේදා  උදේ මොන මොනවද කෑවේ ?????? සමහරුන්ට මොනවද කෑවේ කියල අමතක  ඇතිමුත් සමහරුන්ට මතක ඇතැයි සිතමි. 

මෙලෙස මතකය රදා නොසිටීම සැලකිය යුතු ප්‍රශ්නයකි.මතකය ගැන විමසීමේදී මොළය ගැන කිව යුතුය. 

මොළය ගැන සරල හැදින්වීමක්‌ මෙසේය. මතකය හා බද්ධව ඇති සිරුරේ වැදගත් ඉන්ද්‍රියකි මොළය. 1 1/2kg පමණ බරකින් යුතු මෙහි ස්නායු බිලියන 75-100ත් අතර ආසන්න ප්‍රමාණයක් ඇත. එසේම මේදය 60% ලෙස අධිකවම ඇත්තේ මෙහිය. මොලයේ ආරක්ෂාවට,

• වරාශිකාව 
•ජලාකාර පටලය 
•වීනාoශුකාව 

              ලෙස ස්ථර තුනක් ඇත.එසේම මොළය මගින් සෑම ක්‍රියාවක්ම පාලනය ද  කරයි. 


බුද්ධ දේශනා වල කරුණු සලකා බැලීමේදී මතකය  දුර්වල වීමට හේතු බුදුරජාණන් වහන්සේ වක්‍රාකාරව වදාරා ඇති සේක. ඔබ‍ අසා ඇති, 

          °ආශාව
          °තරහව 
          °අලස බව සහ නිදිමත
          °සැකය
          °විසිරෙන බව 

ආදිය කරුණු අමතක වීම යන සාධකය හා සබැදූ විට මෙසේ විග්‍රහ කල හැක.
පිරිසිදු වතුර වීදුරුවක් ගෙන එයට තීන්ත බිදුවක් දැමූ ක්ෂණයෙන් අපිරිසිදු වේ. ඒ අනුව දරුවෙක් පාඩම් පොත ගෙන කොතරම් නිරවුල් හා අධිෂ්ඨානී මනසින් ගිය ද ඔහුගේ හෝ ඇයගේ අතෙහි පොතට අමතරව  ජංගම දුරකථනය ඇත්නම් එකී කරන කාර්ය නිෂ්ඵල වේ.එවිට සිත නිසැකවම යොමු වන්නේ පොතට නොව දුරකථනයේ විවිධ විශේෂාංග හා සමාජ මාධ්‍ය ජාලා වැනි මාධ්‍යයන් තුළට වේ. මේ ආශාව නිසා පාඩම් මග හැරේ. 

දෙවනුව දරුවකු පාඩම් කරන විට ඒ මොහොතේ යම් කරුණක්‌ නිසා දැඩි ද්වේශයෙන් පසු වනවානම් ඒ සිතිවිලි නිසා ද පාඩම් මතක නොසිටී. 

තෙවනි කරුණ ගත් විට පාඩම් කිරීමට සූදානම්  වන දරුවා පොත අතට ගත් විගස ම නිදිමත පැමිනීම සිදු වුනොත් ඒ අලස කම නිසාද පාඩම් මතක නොසිටී. බුදුරදුන් අoගුත්තර නිකායේ සප්තක නිපාතයේ පචලායන සූත්‍රයහි අලස බව නැති කිරීමට සප්ත කරුණු වදාරා ඇත. 

එසේම ඉගෙනගන්නා කරුණු ගැන සැකය උපදී නම් එහිදී ද මතකය කෙරේ බලපෑම් ඇති කරයි.

අවසන් ලෙස බලන කල පාඩම් කරන විට සිත එක අරමුණක තබා ගත නොහැකිව විසිරී පවතී නම් එවිට ද පාඩම් කරුණු මතක නොසිටින්න හේතු වේ. "දූරංගමං ඒක චරo" ආදී ගාථා වලින් පේන්නේද මේ මේ සිතේ විසිරෙන බවයි.විෂය කරුණු  ඇහුම්කන් දී  ධාරණය කර ප්‍රශ්නය නඟමින් ලේඛනයේ යෙදීම නිසා පාඩම් මතක සිටීමට සිදු  වේ. 

ඉහත කරුණු මෙන්ම විද්‍යානුකූලව ගත් විට අමතක වීමට තවත් කරුණු බලපෑම් කරයි. මතකයේ ප්‍රධාන අංගය මොළය වේ. යමෙක් අධික ලෙස දුම් පානයට ඇබ්බැහි වූවේ නම් මොළේ ස්නායු දුර්වල වී මතකය හීන වී යයි. ප්‍රමාණවත් නින්දක් නොමැති වීම නිසා සිතිවිලි වල උත්තේජනය අවම වන අතර උදෑසන ආහාර වේල අතපසු කිරීම නිසා සහ සීනි අධිකව පාරිභෝජනය නිසා ද මොලයේ ස්නායු දුර්වල වී මතක ශක්තිය හීන කරයි. එසේම ඔබ‍ දන්නවද? මොළයට ඔක්සිජන් අවශ්‍ය බව.පරිසර දුෂණය නිසා අධික ලෙස කාබන්ඩයොක්‌සයිඩ් වායුව පිට වීම නිසා ඒවා අවශෝෂණය වීම නිසා ද මොළයේ ස්නායු ක්‍රියාකාරිත්වය අඩපන වේ. 

විෂය කරුණු ආදිය මතක තබා ගැනීමට නම් එකී අධ්‍යාපන කරුණුවලට ආශාව තිබිය යුතු අතර සෑම විටම 'මට පුළුවන්' යන සුභවාදී සිතුවිලි වලින් යුතු විය යුතුයි.පාඩම් කරන විට ශබ්ද නගා කියවීම මෙන්ම තමා ඉගෙනගත් කරුණු සම වයස් යාලුවන්ට හෝ අසල්වාසී දරුවන් ට නැත්නම් චිත්තරූප මවා හෝ  විෂය කරුණු ආවර්ජනය කිරීම නිසා ද මතකය වර්ධනය කිරීම කල හැක.එක දිගට මනස වෙහෙසීම නිසා කරුණු බහුතරයක් ධාරණය කර ගැනීමට යාමෙන් ද කරුණු අල්පයක් පමණක් මතක හිටිම නිසා එවිට සුළු  විවේකයක් ගැනීම යහපත් වේ. පාඩම් කරන විට පැණි රස ආහාර ගැනීමද අලස බව දුරලා පාඩම් මතක තබා ගැනීමට හේතු වේ. 

බොහෝ දරුවන් කෘතීම ආහාර ගැනීමට හුරු වී ඇත.එය මොළය ට පමණක් නොව මුළු සිරුරටම අහිතකර වේ. මොලයේ මේදය අධිකව ඇති නිසා ඒ  ඔමේගා - 3 සංඝඨක අඩංගු ආහාර මෙන්ම ලුණුවිල ආහාරයට ගැනීම නිසා එහි ඇති ලවණ සංඝඨක නිසා මානසික ආතතිය පාලනය කරයි.එසේම ෆෝලික්‌ හා බී විටමින් ඇති ආහාර ගැනීම නිසා මානසික අවපීඩනය මඟ හරවා ගත හැකි ය.ධාන්‍ය වර්ග ද ඉතා ගුණදායක වේ. එසේම ජලය පානය ද ඉතා වැදගත් වේ.මේ පෝෂ්‍ය කොටස් ගැනීම නිසා යම්තාක්  දුර‍ට හෝ මොළය වර්ධනයට අවශ්‍ය පදාර්ථ ලැබේ. 

ඒ අනුව පාඩම් කරන දරුවෙක් නම් තම කායික මානසික නිරෝගීතාවය පිළිබඳ ව වඩා සැලකිලිමත් විය යුතුය.


Article writer - Hashini Imalsha