මේ ලිපිය කියවන ඔබ මදකට නතර වී සිතා බලන්න ඔබ නිසි ලෙස දෙමාපියන්ට සලකනවද? නැද්ද ?
නැතිනම් දෙමව්පියන් ට සලකා ගත නොහැකිව ඔබ පසු තැවෙනවද?
තමන්ගේ අසරණතා නිසා වැඩිහිටියන්ට සලකාගැනීමට නොහැකි ව පශ්චාත්තාපයට පත් වූ පිරිසක් ද වේ.නමුත් අද සමාජය තුළ පවතින ඛේදජනක තත්වය වී ඇත්තේ කොතරම් ධනය, බලය තිබුනද ඇතැමුන් තම මහලු දෙමව්පියෝ නිවසින් බැහැර නිරාහාරව කුටි වල රඳවා තැබීම, මහ මග දමා යාම සහ අනාථ නිවාස වල දැමීම ආදිය ඔබටත් මටත් ඇස ගැටෙන සංසිද්ධි වේ.
මේවාට වගකිව යුත්තන් කවරහුද?
ලංකාව තුළ මහලු ප්‍රජාවගෙන් බොහෝ කොටසක් තම සැදැ සමය අනාථ නිවාස වල සිර වී සිටිති. වැඩිහිටි නිවාස ලංකාවට අවශ්‍ය ද ? යන්න තීරණය ඔබ සතුය. තම යුතුකම් වගකීම් නිසි ලෙස අවබෝධයෙන් කිරීම තුළින් මෙවැනි තත්ව දුරු කරගත හැකිය.
කියෙව්වොත් පසක් වේවි උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගේ 'අම්මා' කෘතිය. එහි කථකයාද සමාජ ස්ථාවරත්වයට පත් වූවද ඔහුට ද දෙමව්පියන් මිය යන තුරු ම නිසි ලෙස උපස්ථාන කිරීමට නොහැකිව පසු තැවෙන්න සිදු විය. එසේම ජයතිලක කම්මැල්වීර මහතා රචිත 'තාත්තාගේ මළගම' කෘතිය ගත් විටද ඉහත කරුණම පසක් වේ. පිටිසර ප්‍රාදේශයක ඉපිද තම පියා ඇතුළු පිරිස හැර කොළඹ රැකියාවට එන කථකයාට නැවත පියා අවසාන වතවට දකින්නට ලැබෙන්නේ පුත්තලමේ කුඩා පැල් කොටයක සව් කඩදාසි මලින් සැරසුණු මල්වඩමක් ළග ලාබ මිනී පෙට්ටියක බහාලූ මෘතදේහයක් ලෙසිනි.
ඉතින් දෙමව්පියන් ජීවිත් වී ඇති විට තමාට ඔවුන්ට උපස්ථාන කිරීමට අවශ්‍ය පහසුකම් තිබියදීත් එසේ නොකිරීම පහත් ක්‍රියාවකි. දසමස් කුස දරා අනෙක විධ දෝමනස්සයන් විඳ දරුවන් පෝෂණය කර සිප්කිරි පොවා උස් මහත් කල පසු දරුවන් දෙමව්පියෝ අමතක කර දමන තත්වයට පත් වී ඇත. ධනය කෙතරම් තිබුණ ද අසරණ දෙමව්පියන්ට කළගුණ සලකන්නේ නැත්නම් මිනිස් දම් සිතේ නැත්නම් ඒ දරුවන්ගෙන් ඇති ඵලය කිම ?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර රැසකම දෙමව්පියන්ට සැළකීමේ ආනිසංස ද නොසලකා හැරීමහි ප්‍රතිඵල ද වදාරා ඇත.ඒ අනුව පරාභව සූත්‍රයේ දී මෙසේ වදාළ සේක !
"යෝ මාතරං පිතරං වා - ජිණ්‌ණකං ගතයොබ්‌බනං,
පහු සන්‌තො න භරති - තං පරාභවතො මුඛං"
-ඛුද්දක නිකාය,සුත්ත නිපාතය,උරග වග්ගය,පරාභව සූත්‍රය
(යමෙක් ධනයෙන් ආඪ්‍ය වුවද මහලු මව පියා පෝෂණය නොකිරීම පිරිහීමට කරුණක් වේ. )
මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන බ්‍රහ්ම ගුණ කදම්භ මව්පියන්ට ඇති අතර බුදුරදුන් සිගලෝවාද සූත්‍රය තුළින් ද දෙමව්පියන්ට ඉටු කල යුතු යුතුකම් වගකීම් දක්වා ඇත.ඇතැම් අයට තමන්ගේ පෞද්ගලික අසරණ භාවයන් මත දෙමව්පියන්ට සලකා ගැනීමට නොහැකි වී ඇත.නමුත් ඔවුනට ජීවත් ව සිටින කාලය තුළ තම දෙමව්පියන්ගේ සිත් සතුටින් තැබීම උදෙසාත් මියගිය පසු මොනයම් හෝ ක්‍රමයකින් පිං පෙත් අනුමෝදන් කිරීම සිදු කල හැකිය.එයද ඔවුන් උදෙසා කරන යුතුකමකි.
බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ යථාර්ථවාදී දර්ශනය පවත්නා ලක්දිව තුළට බටහිර සමාජ සංස්කෘතීන්ගෙන් එන සියළුම දේ තෝරා බේරීමක් නොමැතිව වැලදගැනීම නිසා සමාජයේ මිනිසුන්ගෙන් උතුම් මිනිස්දම් ක්‍රමයෙන් ක්‌ෂය වී යමින් පැවතීමක් දිගින් දිගටම දක්නට ලැබේ.එසේ ම ඔබ සිතනවා ඇති කන්න බොන්න අදින්න පළදින්න ඉන්න තැනක් ලබා දුන් පමණින් දෙමව්පියන්ගේ සිතේ සැනසුම ඇති වේ කියා, එහෙත් එය මුසාවකි.ඔවුනට කොතරම් මෙකී දේ ලබා දුන්නත් දරුමුණුබුරු සෙනෙහස ආදී මානසික සහනයට අවශ්‍ය කරුණු නැත්නම් ඔවුන් මානසික මෙන්ම කායිකව ද දුර්වල මට්ටමට පත් වේ.
දෙමව්පියෝ මහලු වන විට ඔවුන්ගේ මානසික තත්ව වෙනස් වේ.එකී අනිත්‍යතාවය සියළුම දෙනාට පොදු වේ. එනිසා ඉවසීමෙන් මහලු වූ විට දෙමව්පියන් කරන කියන දේවල් ගැන සානුකම්පාව බලා ක්‍රියා කල යුතු වේ.
අවසන් ලෙස කීමට ඇත්තේ කිසිමදිනෙක දෙමව්පියන්ව තනි නොකරන්න... සෙනෙහස ලබා දෙන්න... යුතුකම් වගකීම් ඉටු කරන්න... යනුවෙනි.
Article Writer - Hashini Imalsha