Monday, June 8, 2020

කළණ මිතුරු ඇසුර






එක්තරා හවසක ගැහැණු ළමයෙක් තමන්ගේ හොඳම මිතුරියට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.ඒ තමන්ගේ පෙම්වතා තමාට දවස් කිහිපයක සිට දුරකථන  ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් වත් ලබා නොදුන් නිසාය.ඇය තම මිතුරියට කතා කොට පැවසුවේ තමාගේ පෙම්වතා දවස් කිහිපයක් කතා නොකළ බවත්, ඔහුට යම්කිසි කරදරයක් සිදුවීද යන්න බියක් තිබෙන බවයි.කිසිම දිනෙක මෙලෙස කතා නොකළ නොසිටි බව කී ඇය තම මිතුරියට කියා සිටියේ ඔහුට ඇමතුමක් ලබා ගන්නා ලෙසයි.තම මිතුරිය පාසල් යන කාලයේ සිට තමන්ව දන්නා නිසා තම පෙම්වතා ද  ඇයගේ මිතුරෙක් නිසා ඔහු ඇයට කතා කරයි කියා  සිතුවාය.

මිතුරිය ඇය වෙනුවෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.ඔහු ඇයට පැවසුවේ තමා ඇයව අත්හැර දමු බවයි.මිතුරියට එය සිතා ගත නොහැකි විය.කුමක් නිසා ද යත් දන්නා කාලයක සිට ඔහුගේ සහ ඇයගේ ආදරය රණ්ඩු සරුවල් ,තරහ මරහ මැද අවුරුදු 5 ක් පමණ තිබු නිසා ය.ඇය තම මිතුරියට මෙය s.m.s  පණිවිඩයකින් පවසා සිටියේ ඔහු ගත් කුමන තීරණයක් වුවත් ඔයා අපේක්ෂාවෙන් පිළිගන්නවාද? යන්න පිළිබඳවයි.

ඇය හඩා සිටියේ තමන්ට ඔහු නොමැතිව ජීවත් විය නොහැකි බවත් , යළිත් එය සත්‍යයක් දැයි කියා ඔහුගෙන් අසා සිටින්නට කියා ය.ඔහුගේ අවසාන තීරණය එය විය.ඔහුට වෙන කෙනෙක් සිටින බවත්,තමා ඇයව අත්හැර දැමු බවත් කියා සිටින්නැයි අවසාන වතාවට ඇයට කියන්නැයි ඔහු කීවේය.

මිතුරිය  බොහෝ ඉවසීමෙන් තමාගේ මිතුරියට මෙය පවසා සිටියේ ඇය ඊළගට කුමන තීරණයක් ගනීදැයි  සිතා ගත නොහැකි නිසාවෙනි.එනම් තම මිතුරිය ඔහුට කෙතරම් ආදරය කරනවා ද කියා ඇය දැනන් සිටියා.
ඇය හුගක් හැඩුවාය.එක්වරම දිගු සුසුමක් හෙළා 'මම තීරණයක් ගත්තා' ඇය කීවාය.තමාගේ අම්මා, තාත්තා, සහෝදරයන් අමතක කොට  මරණය තෝරා ගත්තාය.

කරන්න යන මෝඩකම ගැන ඇයට අමතක වුණි.නමුත් ඇයගේ මිතුරිය ඇය අමතක නොකළාය.ළග නොමැති වුනත් ඇය සැනසීමට බොහෝ උත්සාහ කළාය.දුරකථනයෙන් ඇයගේ  සිත සැනසීමට , ඉදිරි ජීවිතය ගෙවන ආකාරය පිළිබඳ නිදි වරා ඇය සමග කතා කළාය.

ඔහුට තමන් ගැන ආදරයක් නොමැති නිසා ඇයව දමා ගියත්, තමන්ට ඇත්තටම ආදරය කරන අම්මා, තාත්තා, සහෝදරයන් සිටිද්දී තමන් ගැන කිසි ලෙසකින්වත්  නොසිතූ පුද්ගලයෙක් වෙනුවෙන් මැරෙන්න යන්නෙ කුමක් නිසාද කියා ඇසුවාය.

බොහෝ වෙලාවට මෙවැනි විටික තමාගේ ආදරය බිදී ගිය දුක පමණයි හිතට දැනෙන්නේ.තමන්ට ආදරය කරන, තමන් වෙනුවෙන් ජීවිත් වන අම්මා තාත්තා සිතට නැගෙන්නේ නැත.

නමුත් ඇය සෑමදේම  තම මිතුරියට කියා දුන්නේ තමන්ගේ මව ලෙසිනි.ජීවිතයේ තිබෙන වටිනාකම ඇයට තේරුම් කර දුන්නාය.හැගීම්වලට වඩා මෙවැනි අවස්ථාවල බුද්ධියෙන් තීරණ ගත යුතු බව තම මිතුරියට කියා දුන්නාය.
එතුළින් මිතුරිය ළග සිට  ඇය බේරා ගත්තාය.


මෙයින් තේරුම් ගත හැක්කේ හොදම මිතුරන්  අපව තනි නොකරන බවයි.අත්හැර නොයන බවයි.සැපේදි නැතත් දුකේදී ඔවුන් අප සමඟ සිටියි.බුදුරජාණන් වහන්සේ ද බුදු දහමට අනුව දේශනා කළේ කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමටයි.ඔවුන් අපව කුමන ප්‍රශ්න ආවත් තනි නොකරයි.

මිත්‍රයන් අතර ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කරන මිතුරන් ද සිටී.නමුත් කළණ මිතුරා ඔවුන්ගෙන් වෙන්ව හදුනාගත  හැකිය.එනම් බුදු දහමේ දක්වන ආකාරයට" තුට්ඨි සුඛායා  ඉතරීතරෙන" දුක සැප දෙකෙහිම තමා සමගම සිටින්නා කල්‍යාණ මිත්‍රයා' යනුවෙනි.


පියෝච ගරු භාවනීයෝ
චත්තාච වචනක්කමෝ
ගම්භීරංච කතං කත්වා
නෝවට්ඨානේ නියෝජයේ 

යමෙක් තමාගේ ශීල සම්පත්තියෙන් ඇසුරු කරන්නට ප්‍රිය වෙයිද , පාෂාණච්ජත්‍රයක් මෙන් වෙයිද ගුණ වශයෙන් සම්භාවනා කළයුතු  වෙයිද, ඇසුරු කරන්නන්ට යහපත පිළිබඳ අවවාද කරයිද , චතුරාර්ය සත්‍යය ආදි ධර්ම කරුණු  පහදා දෙයිද  ඇසුරු කරන්න සුදුසු ස්ථානයෙහිම තබති ද , එබදු ගුණැති පුද්ගලයා කළණ මිතුරෙකි.
මෙලෙස බුදු දහමේ දැක්වූ කළණ මිතුරෙක් තමාගේ ජීවිතයට සිටී නම් තමන් වැරදි පාරේ යෑම අඩු වේ.

ඉහත දැක්වූ කථාවෙදි ඇයගේ මිතුරිය ඇය ගත් මෝඩ තීරණය හමුවේ ඇයට සත්‍යය තේරුම් කර , තමාගේ ජීවිතය හැරයන පුද්ගලයෙක් වෙනුවෙන් විනාශ නොකර තමන් වෙනුවෙන් ජීවත් වන පුද්ගලයන් උදෙසා  ජීවත් විය යුතු ආකාරය ඇයට අවබෝධ  කර දුන්නාය.
. කවුරු හැරගියත් මව, පියා, සහෝදරයන් හා හොද මිතුරන් තමන්ව කිසිදා අත් නොහරින බව අප තේරුම් ගෙන තමන් වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය නැවතුනු තැනින් ඉදිරියට ගෙන යා යුතුය.


අවසාන වශයෙන් අප ප්‍රාර්ථනා කළ යුත්තේ
අප කළ පිනෙන්- දුදනන් හමු නොවී
සසර වසන තුරු- සුදනන් හමු වේවා 
යන්නයි.


Article Writer - Thakshila Shrimali