Tuesday, May 4, 2021

21 වන සියවසෙහි සංවර්ධන කුසලතා - C4 සංකල්පය




           21 වන සියවසයේ පන්ති කාමරය කුමන ආකාරයෙන් වෙනස් විය යුතුද යන්න කෙරෙහි අවධානය යොමු කිරීමේදී C 4 සංකල්පයෙහි උපයෝගීතාවය මෙහිදී විශේෂයෙන් වැදගත් වේ. එම නිසා C 4 සංකල්පය යනු කුමක්ද යන්න කෙරෙහි පළමුව අවධානය යොමු කරමු.


* C 4 සංකල්පය 

1. විචාරාත්මක චින්තනය ( Critical thinking ) 

2. සහයෝගීතාවය ( Colloboration ) 

3. සන්නිවේදනය ( Communication ) 

4. නිර්මාණශීලීත්වය ( Creativity ) 


           අනුමාන කිරීම්, තර්ක කිරීම්, තර්කනය, විශ්ලේෂණය කර සංසන්දනය කිරීම, යම්කිසි දෙයක් හොද සහ නරක පැති විචාරාත්මකව බලන්න පුලුවන් තත්ත්වයක් නිර්මාණය කිරීම, ක්ෂණිකව නොව සිතීමේ හැකියාව, තර්කානුකූලව සංසන්දනාත්මකව විග්‍රහ කිරීම, ස්වයං අධ්‍යයනය, ස්වයං චින්තනය, යමක් විග්‍රාහාත්මකව සිතීම, විචාරාත්මකව සිතීමේ හැකියාව විචාරාත්මක චින්තනයි. එසේම තමන්ගේ ගැටලු විසඳාගැනීමේදි තමන් කියවා තිබෙන දෙයක් හෝ, ඉගෙනගෙන තිබෙන දෙයක් හෝ ප්‍රයෝජනයට ගෙන සුදුසු තිරණයක් ගැනීමට විනිශ්චය කිරීමට, අවස්ථාව උචිත පරිදි අනුමාන කිරීමට පුළුවන් හැකියාව, නිගමනාත්මක තර්කනය, තර්ක කිරීමට ඇති හැකියාව විචාරාත්මක චින්තනයයි. මෙහිදී විචාරාත්මක චින්තනයෙන් බලාපොරොත්තු වනුයේ; සංකීර්ණ පද්ධති විශ්ලේෂණය කර සමස්ථයක තිබෙන කොටස් එකිනෙක සමග අන්තර් ක්‍රියා කරන අන්දම නීර්ණය කිරීමට හැකි වීමයි.  (e.g. ගුරුවරයා ශිෂ්‍යයාට අධ්‍යයනය ලබා දීමට ප්‍රථම සැලසුම් කිරීම සිදු කල යුතුයි.)

            ඉලක්ක සපුරා ගැනීම සදහා එකට එකතු වී වැඩ කිරීම, කිසියම් දෙයකට සහභාගී වීමේ කැමැත්ත සහයෝගීතාවයයි. 

           සන්නිවේදනය යනු නිර්මාණාත්මක සහ විචාරශීලි සංවාදයෙහි නිරත වීම, තම සිතුවිලි ප්‍රශ්න සහ කල්පනා විවිධ පරිසරයන් තුළදී බෙදාහදා ගැනීම සහ සිතුවිලි වලට සවන්දීමයි. e.g. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉගැන්වීම., භාෂාවක් භාවිතා කර ගෙන කථා කිරීම, අදහස් හා ආකල්ප හුවමාරුවක් සිදු කිරීම, පොත් පත් හා පුවත්පත් මගින් දැනුම ලබා ගැනීම.

        කුතුහලය, පරිකල්පනය, අවදානම් භාරගැනීම සහ සුනම්‍යතාව පෙන්නුම් කරන කල්පනා ගොඩනැගීම නිර්මාණශීලීත්වයයි. (e.g. අලුත් ආකාරයට සිතීම, තවත් අයෙකුට රසවින්දනයක් ඇති වන ආකාරයට ඉදිරිපත් කිරීම., පවතින දේ වුවත් අලුත් ආකාරයකට සිතා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව, යම් දෙයක් දෙස විමසිලිමත්ව බලා එය පවතින ආකාරයට වඩා වෙනස් ලෙස නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඇති හැකියාව.)


21 වන සියවසෙහි පන්ති කාමරයක් තුලින් බලාපොරොත්තු වන්නේ සියලුම සිසුන් ගෝලීය ප්‍රජාවෙහි ක්‍රියාකාරී සහභාගී කරුවන් බවට පත්වීමට සූදානම් කිරීමයි. විද්වතුන්ගේ මෙන්ම බොහෝ දෙනාගේ අදහස වනුයේ ඒ සදහා විශේෂයෙන් C4 සංකල්පය,  R3 සංකල්පය,  [කියවීම (Reading), ලිවීම (Writing), අංක ගණිතය (Arithmetic) ] යනාදිය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

     21 වන සියවසෙහි පන්ති කාමරය ශිෂ්‍ය කේන්ද්‍රීය, ව්‍යාපෘති පාදක කරගෙන, යාවජීව අධ්‍යාපනය පදනම් කරගෙන ක්‍රියාත්මක විය යුතු ය. මක්නිසාද දැන ගැනීමට ඉගෙන ගැනීම, යමක් කිරීමට ඉගෙන ගැනීම, ජීවත් වීම සදහා ඉගෙන ගැනීම, එකට ජීවත් වීම සදහා ඉගෙන ගැනීම යන අධ්‍යාපනයේ කුලුණු හතර යාවජීව අධ්‍යයනය හා සම්බන්ධ වන නිසාවෙනි. යාවජීව අද්‍යාපනය යනු සමස්ථ ජීවිත කාලය සිසාරා ම ඵලදායී වූ අඛණ්ඩ ඉගෙනීමකට යොමුවීමයි.  තවත් ලෙසකින් අර්ථ දක්වන්නේ නම්; දැඩි පෞද්ගලික හෝ වෘත්තිය හේතූන් මත අඛණ්ඩව ස්වේච්ඡාවෙන් හා ස්වයං අභිප්‍ර්රනයෙන් දැනුම ලබා ගැනීම (යාවජීව අධ්‍යාපනය සදහා ආයතනය. යුනෙස්කෝ.) යාවජීව අධ්‍යාපනයයි. 

           තවද මෙහිදී ඇගයීම් ක්‍රියාවලිය තුළින් ( ඇගයීම් ව්‍යාපෘති මගින් ) ශිෂ්‍යයාගේ කුසලතා සංවර්ධනය කර ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම ගුරුවරයා විසින් කළ යුතු වේ. ගෝලීය අධ්‍යාපනයට ගැලපෙන ශිෂ්‍යයෙක් නිර්මාණය කළ යුතුයි. සැබවින්ම ඒ සදහා ශිෂ්‍යයා අදාල තත්ත්වයන්ට පත් කිරීමට නම් ගුරුවරයා විසින් කළ යුත්තේ කුමක්ද ? 

* ශිෂ්‍යයාට පන්ති කාමරය තුළදී... විවිධ ක්‍රියකාරකම්, තාක්ෂණික විශයන්, භාහිර ක්‍රියකාරකම් තුළින් වෘත්තිය පුහුණුවට යොමු කිරීම.

* ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබා දීම.

*දෙවන භාෂාවක් ඉගැන්වීම.

*තාක්ෂණික විෂයන් විෂය මාලාවට එක් කිරීම.

* අලුත් විෂයමාලා නිර්මාණය කිරීම.

* තක්සේරුකරණ ක්‍රමයෙහි පැවති සහ පවතින තත්ත්වය නව්‍ය ආකාරයට වෙනස් කිරීම...ect.

      තක්සේරුකරණය කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු වේ. එනම් සරලව ම දක්වන්නේ නම් විභාග සදහා ලකුණු ලබා දෙනුයේ කෙසේද ? සහ ඇගයීම් සිදු කරන ආකාරය පිළිබඳව තක්සේරු ක්‍රමයන්හි නවීකරණයක් හා විවිධත්වයක් තිබිය යුතුයි. එමගින් සෞන්දර්ය, මානව දයාව, සදාචාරය, සහජය, ප්‍රතිභාව වැනි නිර්මාණාත්මක කුසලතා තක්සේරුකරණය කළ යුතුයි. නමුත් තක්සේරු ක්‍රම වම් මොළය පරීක්ෂා කිරීමට පමණක් යොදාගෙන තිබේ. දකුණු මොළයට වැඩි ප්‍රමුඛස්ථානයක් නොදී දකුණු මොළය නොසලකා හැර තිබේ. නමුත් විය යුත්තේ 21 වන සියවසෙහි තක්සේරුකරණයේදී ශිෂ්‍යයාගේ දකුණු මොළයේ ක්‍රියාකාරීත්වයට ද ඉඩ ලබා දීමයි. එමගින් ශිෂ්‍යයාගේ වම් මොළයේ ක්‍රියාකාරීත්වය නොසලකා හැරිය යුතුය යන්න අදහස් නොවේ. 

[ වම් මොළය = ගණිත, සූත්‍ර, කටපාඩම් කර විභාග සදහා සූදානම් වීමට ඉදිරිපත් කරන කරුණු.,

දකුණු මොළය = නිර්මාණශීලී හැකියාවන් , අලුත් නිර්මාණ, නව අදහස් සදහා ප්‍රමුඛත්වය දීම. ] 


            මෙසේ තක්සේරුකරණ ක්‍රම 21 වන සියවසෙහි පන්ති කාමරය තුළදී වෙනස් කළ යුතු වේ. එනම් විභාග පවත්වා ලකුණු ලබා දෙන ක්‍රම වෙනස් කළ යුතුයි.

          ඉදිරියේදී  අධ්‍යාපනයට යොමු වන ශිෂ්‍යයන් යොමු කළ යුත්තේ කුමක් සදහා ද ?  ඒ සදහා කෙසේ ශිෂ්‍යයන් හැඩගැස්විය යුතුද යන්න කෙරෙහිද මෙහෙදී අවධානය යොමු කළ යුතු ය. මක්නිසාද සාම්ප්‍රදායික සූත්‍ර න්‍යාය කටපාඩමින් ප්‍රකාශ කරන  ළමයෙකු නොව 21 වන සියවසයේදී ගෝලීයකරණයට සුදුසු දරුවෙක් නිර්මාණය කළ යුතු වීමයී. 


            21 වන සියවසෙහි කුසලතා පාසල් අධ්‍යාපනයේ සහ ශාස්ත්‍රීය සියලුම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ කෙරේ. ඒ සදහා අනුගමනය කරන ක්‍රම අතරින් විෂය ක්ෂේත්‍ර පාඨමාලාවන්හීදී ද, ගුරුවරුන් තිරස් ශික්ෂණ කුසලතාවන් වර්ධනය අරමුණු කරගැනීම කළ යුතු වේ.


තිරස් ශික්ෂණ කුසලතාවය යනු කුමක්ද ? 

           ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී එක් විෂයක් උගන්වන විට එම විෂයට සමගාමීව.. ඒත් සමගම වෙනත් හැකියාවන් දියුණු කිරීමයි. එනම් අදාල විෂයට සමගාමීව වෙනත් විෂයන් සදහාත් භාවිතා කළ හැකි කුසලතාවයන් වර්ධනය කිරීමයි.

e.g. *විද්‍යාව විෂය උගන්වන විට Computer Science අංශයේ ද දැනුම, ඒ ඒ හැකියාවන් දියුණු කිරීම. 

* විද්‍යා පාඨමාලාවකදී වෙනත් විවිධ පර්‍යේක්ෂණ ක්‍රම භාවිතා කිරීම.

*තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම ඉගෙන ගැනීම.

* ලැබ් වල පරීක්ෂණ සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීම.

* නවීන තාක්ෂණය, මෘදුකාංග, වැඩ සටහන්, ග්‍රැෆික්, බහු මාධ්‍ය ප්‍රයෝජනයට ගැනීම.

                              මෙවැනි දෑ මගින් තිරස් ශික්ෂණ කුසලතාවය වර්ධනය කිරීම සිදු කෙරේ.


       21 වන සියවසේ කුසලතා ඉදිරියෙහි ඇති අභියෝග සහ ඒවාට ගත හැකි විසදුම්  කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් වේ. 

* තාක්ෂණික වශයෙන් සියලුදෙනාටම පහසුකම් නොමැති වීම.e.g. ග්‍රාමීය වශයෙන් තාක්ෂණික පහසුකම් අඩු නිසා ඒ සදහා හැඩ ගැසීම සදහා වැඩි කාලයක් ගත වීම. 

* ගුරු පුහුණුව නැතිකම.

            මෙහිදී ගුරු පුහුණු පාඨමාලා සකස් කිරීමේ අවශ්‍යතාවය පවතී. සැබවින්ම ගුරුවරයා හොදින්ම දන්නා කාරණයක් වන්නේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඔවුන් හට යම් සහයක් අවශ්‍ය බව. මෙහිදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රියාවට නන්වන විට පැනනගින ගැටලු නිරාකරණය කර ගැනීම සදහා පුහුණුවක් සහ එම පුහුණුව ගුරුවරුන්ගේ වෘත්තිය සංවර්ධනයට ඇතුළත් කළ හොත් සැලසුම්කරණය, ක්‍රියාත්මකකරණය ආදී ප්‍රශ්න රැසකට විසදුම් සොයා ගත හැක.


විෂයමාලා නිර්මාණයේදී එය දැනුමට පමණක් කේන්ද්‍ර කර ගැනීම.

e.g. -පහ ශේණියේ ශිෂ්‍යත්ව විභාගය ළමයාට පීඩනයක් වීම සහ විෂය පරාසය වැඩි වීම.

- කලින් කලට අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) , අ.පො.ස. ( උසස් පෙළ ) විෂය නිර්දේශය ලිහිල් කිරීම සහ විෂය පරාසය වැඩි කිරීම. උසස් පෙළ විෂය ප්‍රමාණය විෂයන් හතරේ සිට තුන දක්වා අඩු කිරීම. 

- ව්‍යාපෘති ක්‍රමය ලිහිල් කිරීම.

          යන මෙකි කාරණා නිසාවෙන් ඒ ඒ කාලවලදී ඒවායේ ගුණාත්මක බවට හානි වීම සිදු වේ. 

      එම නිසාවෙන් විෂය මාලා නිර්මාණය කිරීමේදී මනෝවිද්‍යාත්මකව සිතා විෂය මාලා නිර්මාණය කිරීමට යොමු වීම උචිත වේ. එසේම විෂය මාලාවක් සම්පාදනයේදී කුසලතා ඉගැන්වීමට සැලසුම් කිරීම මෙන්ම, දැනුම සහ කුසලතා යන දෙකම සමානව වැදගත් බවද සැලකිය යුතු ය. ඊට අමතරව ඉගැන්විය හැකි කුසලතා මොනවාදැයි පිළිබඳව අධ්‍යාපනය මෙහෙයවන්නන් යථාර්ථවාදී විය යුතු වේ. 


වඩා හොද තක්සේරු පරීක්ෂණයන්හී අවශ්‍යතාවය.

            තක්සේරු ක්‍රමවල නවීකරණයක් සහ විවිධත්වයක් තිබිය යුතු ය. වඩාත් සාරවත් ඉගැන්වීම සහ සංකීර්ණ ක්‍රියාවන් මැනීම සදහා අලුත් තක්සේරු ක්‍රම අවශ්‍ය ය.

            21 වන සියවසේ කුසලතා පන්ති කාමරය තුළ ' ඉගැන්වීම ' කෙසේ වෙනස් විය යුතු ද ? යන්න කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කළ යුතු වේ.

             ඒ අනුව ළමයාගේ මනසට වැඩියෙන් කථා කිරීමට හැකි වන පරිදි වීඩියෝ, ප්‍රසන්ටේෂන් වැනි දේවල් මගින් ඉගැන්වීම සිදු කිරීම, ඉගැන්වීමේදී ප්‍රායෝගිකත්වයට මුල්තැන දී සිදු කිරීම, කණ්ඩායම් ක්‍රියකාරකම් වල නිරත කරවීම (ශිෂ්‍යයාගේ වැරදි අඩුපාඩු එමගින් හදුනා ගැනීමට පහසුවෙන් හැකි වන නිසා එය සාර්ථක ඉගැන්වීම් ක්‍රමයකි.) , සහ ගුරුවරයට ශිෂ්‍යයා කෙරෙහි මනෝවිද්‍යාත්මක අවබෝධයක් පැවතිය යුතු වේ. මෙහිදී පළමුව ගුරුවරයා නිර්මාණශීලී විය යුතු වේ. තවද ගුරුවරයා විචාරාත්මක විය යුතුයි. 21 වන සියවසේ ගෝලීයකරණයට, ව්‍යාපාරකරණයට කුසලතා සංකල්පය යොදා ගැනීමට නම් ගුරුවරු අතර වැඩි සහයෝගයක් තිබිය යුතු සේම විශේෂයෙන්ම දක්ෂ ගුරුවරුන්ගේ දෙස බලා තවත් ගුරුවරයෙකු හට ඒ තුළින් යමක් ඉගෙන ගැනීමේ මානසිකවයක් තිබිය යුතුයි. සියලු ගුරුවරුන් තුළ අධිමානය නැති විය යුතුයි.

     ක්ෂණික තීරණ ගැනීමට හැකි වීම සහ ගුරුවරු විෂය මාලාව පිළිබඳව හසල දැනුමක් පැවතිය යුතුයි. ළමයාට දරා ගැනීමට හැකි විෂය මාලාවක් ලබා දීම සහ ළමයාගේ මට්ටමට ඉගැන්වීමට ගුරුවරයා දැන ගත යුතු වේ. අදාල ශිෂ්‍ය වයස් සීමාව තුළ අදාල ඉගැන්විය යුතු විෂය පරාසය කෙබදුද ? යන්න පිළිබඳව ගුරුවරයට අවබෝධයක් පැවතිය යුතුයි. 

         21 වන සියවසේ කුසලතා ගත් විට එක් එක් පුද්ගලයාට අනුව පාසලෙන් පාසලට කුසලතා වෙනස් විය හැක. මෙහිදී කුසලතා යනුවෙන් බලාපොරොත්තු වනුයේ; 

* විචාරාත්මක චින්තනය 

*ගැටලු නිරාකරණය කිරීම.

* පර්‍යේක්ෂණ කුසලතා භාවිතයෙන් විමර්ශනාත්මක ප්‍රශ්න කිරීම්. ( ළමයින්ගේ අදහස් එළියට ගැනීමට හැකි පරිදි ප්‍රශ්න සෑදීම. )

* නිර්මාණශීලීත්වය.

* කලා හැකියාවන් දියුණු කිරීම.

* කුතුහලය.

* පරිකල්පනය.

* ස්වයං මෙහෙයවීම.

* සැලසුම්කරණය.

* වාචික හා ලිඛ්ත සංනිවේදනය. ( සමහර ළමයින්  කථා කිරීමට අකමැත්තක් දැක්වීම හා ලිඛ්ත පර්‍යේක්ෂණ වඩාත් සාර්ථකව කිරීම. එවැනි ළමයින්ගේ එම දෙයංශයෙම එක සේ සංවර්ධනය උදෙසා ගුරුවරයට කණ්ඩායම් ක්‍රියකාරකම් සිදු කළ හැකි ය. ) 

                                                                                       යනාදියයි.

               තනිවම ඉදිරියට පැමිණීමට අකමැති ශිෂ්‍යයන්, තමන්ට නායකත්වය නොදුන හොත් වැඩ කිරීමට අකමැති ශිෂ්‍යයන් සමග ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදි ගුරුවරයට කටයුතු කිරීමට සිදු වේ. මෙහිදී එම එක් එක් ශිෂ්‍යයාගේ විවිධ දක්ෂතා, හැගීම් ඒවා ගුරුවරයා විසින් දැනගෙන නායකත්වය දිය යුත්තේ කුමනාකාරයේ ශිෂ්‍යයන් හටද ? , සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කුමන ආකාරයේ ශිෂ්‍යයන්ට ද ? යන්න හදුනා ගෙන ඒ ඒ ඉගැන්වීම් ඒ ඒ ශිෂ්‍යයාට ගැලපෙන පරිදි සකස් කිරීමට ගුරුවරයා දැනගත යුතු වේ. 

එසේම බහු සංස්කෘතියෙන් පැමිණෙන ශිෂ්‍යයන්ට ගැලපෙන පරිදි ඉගැන්වීම් වෙනස් කිරීමටද ගුරුවරයා දැන සිටීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. 

          21 වන සියවසේ කුසලතා පිළිබඳව විශාල උනන්දුවක් ඇතිවී ඇත්තේ; පාසල් සිසුන් හට අදාල වන සහ ප්‍රයෝජනවත් වන, ඕනෑම රටක, ඕනෑම ප්‍රදේශයක භාවිතා කල හැකි කුසලතා ඉගැන්විය යුතුය යන පදනම යටතේ ය. 20 වන සියවසේ සිසුන් විසින් ඉගෙනගත් කුසලතාවන්ට වඩා වෙනස්වූ ද, සංකීර්ණ, තරගකාරි දැනුම මූලික වූ සහ තාක්ෂණය විසින් මෙහෙයවනු ලබන ආර්ථිකයට සහ සමාජයකට සුදුසු වන්නා වූ කුසලතා ඉගැන්වීම මෙහි පරමාර්ථයයි. මක්නිසාද අධ්‍යාපනයේ අග්‍රඵලය වන්නේ සංවර්ධිත මිනිසා  නිසාවෙනි.


  

✍️ Article Writer :- Thushani Nilushika

මනුෂ්‍ය භාෂාව, භාෂා ප්‍රජාව හා භාෂා සමාජය





          මෙහිදී පොදුවේ මිනිස් භාෂාව පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ. මිනිසා මේ ලෝකයේ ජීවත් වන සෙසු සතුන් අතර අසහාය තත්ත්වයක් හිමි කර ගත් සත්ත්වයෙකි. මිනිසා තමන් ඇතුළු සියලු සතුන් සහිත ජීව ලෝකයත්, තමන් අවට තිබෙන ද්‍රව්‍යමය ලෝකයත් එනම් භෞතික ලෝකයත් පාලනය කිරීමේ ශක්තියක් හිමි කර ගෙන තිබේ. එම නිසාවෙන් ඔහු තමා අවට ලෝකයත්, ජීවත් වන සෙසු සතුන් අතර අසහාය තත්ත්වයක් හිමි කර ගෙන ඇත. සෙසු සතුන් අභිබවා යන ආකාරයට මිනිසාට මෙවෙනි තත්ත්වයක් ලැබී ඇත්තේ අනෙක් සතුන්ට නැති ආකාරයේ ඉන්ද්‍රීය ශක්තියක් සහ බුද්ධි ශක්තියක් මිනිසා සතු වීම නිසා වේ.

           මිනිසා සතු ඉන්ද්‍රීය ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සෙසු සතුන්ට වඩා සියුම් ව අත් පා ආදිය හැසිර වීමේ හැකියාවක් මිනිසා සතු වේ. එහෙත් එම හැකියාව සෙසු සතුන්ට නොපවතී. ඒ අනුව මෙම හැකියාව නිසාවෙන් මිනිසා අනෙකුත් සතුන් අභිබවා යන ආකාරයට අසහාය ශිෂ්ටාචාරයක් ගොඩ නගා ඇත. 

        මිනිසා සතු බුද්ධි ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වනුයේ  මිනිසා තමා සතු බාහිර ඉන්ද්‍රියයන් ක්‍රමානුකූලව පාලනය කිරීමේ හැකියාව ලබා ගනු ලැබූයේ බුද්ධි ඉන්ද්‍රීය මගින් බවයි. එනම් මොළයේ ක්‍රියාකාරීත්වය නිසාවෙනි. මක්නිසාද අත, පය ආදී සෙසු ඉන්ද්‍රියයන් පාලනය කරනුයේ මිනිසාගේ මොළය මගිනි. මොළයට හානි සිදු වූ විට ඊට සම්බන්ධ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ඇන හිටිනු ලබයි. එම නිසා මිනිසාගේ ඉන්ද්‍රියයන් අතර බුද්ධීන්ද්‍රීය එනම් මොළය ප්‍රධානත්වය ගනී. එවිට මිනිසාගේ මේ මනසත්, ඒ හා සම්බන්ධ සිතීමේ හැකියාවත් එනම් චින්තනයත් ඍජුවම මොළය හා සම්බන්ධ වේ.

             අනෙකුත් සතුන් පිළිබඳව අවධානය යොමු කරන විට පැහැදිලි වනුයේ එම සෙසු සතුන්ගේ මනසට ගෝචර වනුයේ තමන් ඉදිරිපිට පවතින දේ පමණක් බවයි. නමුත් මිනිසාට අතීතයේ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම අනාගතයේ සිදු වන්නට නියමිත දේ පිළිබඳව මනසේ මවාගෙන තමාගේ කටයුතු සංවිධානය කර ගැනීමට හැකියාව පවතී.

            එම නිසා මිනිසා සතු මෙම ඉන්ද්‍රීය ශක්තියත්, සෙසු අනෙක් සත්වයන් ගේ ඉන්ද්‍රීය ශක්තියට වඩා ප්‍රබල බව අපට පැහැදිලි වේ. එනම් අත, පය ආදී භාහිර ඉන්ද්‍රියයන් හැසිරවීමේ ශක්තියත් එනම් බුද්ධීන්ද්‍රීය ශක්තියත් සෙසු සතුන් අභිබවා යන ආකාරයට මිනිසා තුළ ක්‍රියාත්මක වේ.

         මෙසේ මිනිසා සතු වූ මේ ඉන්ද්‍රීය ශක්තියත්, බුද්ධි ශක්තියත් සංයෝගයෙන් මිනිසා ලබා ගත් අන් කිසිදු සත්වයෙකුට නොමැති ආකාරයේ හැකියාවක් පවතී.  ඒ හැකියාව අන් කවරක් හෝ නොව භාෂා හැකියාව වේ.


* මිනිසා සතු භාෂා හැකියාව. 

           භාෂාව යනු මූලික වශයෙන් ම ඉන්ද්‍රියයන් සමූහයක් ක්‍රමානුකූලව චලනය කර නිපදවා ගන්නා ශබ්ද වලින් සමන්විත වූ ඒකකයකි. මෙසේ ඉන්ද්‍රියයන් සමූහයක් ක්‍රමානුකූලව චලනය කර භාෂා නිපදවනු ලබයි. 

               ඕනෑම මිනිස් සමාජයක් කෙරෙහි අප අවධානය යොමු කරන විට අපට පැහැදිලි වන්නේ මුලින්ම උපදිනුයේ භාෂනය එනම් කතා කරන භාෂාව බවත්, දෙවනුව අප ලේඛනය නිශ්පාදනය කර ගනු ලබන බවත් ය. මිනිසාට විවිධ ඉන්ද්‍රීය පද්ධතියන් අයිති වේ. ශරීරය තුළ විවිධ ඉන්ද්‍රීය පද්ධතියන් පවතී. ඒ අතරතුර කථා කිරීමේ හැකියාව හා සම්බන්ධ වන ඉන්ද්‍රීය පද්ධතිය අප හදුන්වනුයේ උච්චාරණය ඉන්ද්‍රීය පද්ධතිය නමිනි. මිනිසා තමන්ගේ උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතියට අයිති කෝෂ තන්තු, උගුර, දිව, තොල් වැනි අවයව ක්‍රමානුකූලව චලනය කර භාෂාවට අයිති ශබ්ද  නිශ්පාදනය කර ගනී.

            කිසියම් ජන කණ්ඩායමක් පොදු භාෂාවකින් කටයුතු කරන විට එම තමන්ගේ භාෂණ සමාජයේ ජීවත් වන සාමාජිකයින් එකිනෙකාට වැටහෙන ආකාරයට මේ භාෂාමය ශබ්ද උත්පාදනය කරන විට ඒ ජන කණ්ඩායම් අතර යම් යම් සම්මුතීන් පවති. සම්මුතීන් යනුවෙන් අදහස් කරනුයේ; කිසියම් භාෂණ සමාජයක අපට දක්නට ලැබෙන, මේ භාහිර සමාජයේ දක්නට ලැබෙන යම් යම් වස්තූන්  පුද්ගලයන්, විවිධ සංකල්ප හැදින්වීම සදහා අපි විවිධ සංකේත නාමයන් භාවිතා කිරීමයි.

E.g. සිංහල භාෂාවේදී අප 'පුටුව' හැදින්වීම සදහා භාවිතා කරන වචනය.. ඒ ආකාරයෙන්ම දෙමළ හා ඉංග්‍රිසි භාෂාවන් වලදී ව්‍යවහාර කරනු නොලැබේ. 'පුටුව' හැදින්වීම සදහා ඒ ඒ භාෂාවට අදාල වෙනත් වචන පවතී. 

              මෙලෙස ඒ ඒ වස්තූන් හැදින්වීම සදහා ඒ ඒ භාෂා සමාජය තුළ ජීවත් වන භාෂකයින් විසින් පනවා ගත් සම්මත තිබේ. ඒවා ඒ භාෂක සමාජයට පමණක් ආවේණික වූ සම්මුතීන් වේ. 

         සිංහල භාෂාව පමණක් දන්නා පුද්ගලයෙක් යමෙකු දෙමළ භාෂාවට අයත් වචනයක් ව්‍යවහාර කළ විට එය නොදනී. මක්නිසාද ඔහු ඒ භාෂක සමාජයට පරිභාහිර අයෙකු වන නිසාවෙනි. මෙලෙස ඒ ඒ භාෂක සමාජය විසින් පනවා ගත් ඒ ඒ සම්මුතීන්, ඒ භාෂාව පරිහරණය කරන පුද්ගලයන්ගේ සිතෙහි තැම්පත් වී තිබේ. එවිට එම භාෂකයින් ඒ සම්මුතීන් අනුව තමන්ගේ උච්චාරණ ඉන්ද්‍රීයන් නිසි ආකාරයට චලනය කර භාෂාමය කටයුතු වල නිරත වෙති. මේ ආකාරයට උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතිය හා සම්බන්ධ ඉන්ද්‍රියයන් ක්‍රමානුකූලව චලනය කිරීමේ හැකියාව මිනිසාට ලැබෙනුයේ මනසේ(මොළයේ ) මෙහෙයවීම අනුවයි. 

              මෙම කාර්යය නියමාකාරයෙන් කිරීමට හැකි වනුයේ ස්වභාවික මනසක් එනම් ප්‍රකෘති මනසක් ඇති පුද්ගලයින්ට පමණි. අස්වාභාවික එනම් විකෘති මනසක් ඇති පුද්ගලයෙකු හට තමන්ගේ සමාජයේ සම්මත ආකාරයට භාෂාමය කටයුතු වල යෙදීමට හැකියාවක් නොමැත.           

           එනම් මනසේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය නම් ඔහුට භාෂණ හැකියාවක් නොමැත. එවිට භාෂණ හැකියාවේ යම් යම් දුර්වලතා පවතී. එය අපිට පොදු සමාජයේ අත්දැකීමක් වශයෙන් දැන ගැනීමට ලැබෙන අවස්ථා තිබේ. 

              කිසියම් මානසික විකෘතිතා ඇති පුද්ගලයින්ගේ භාෂාමය හැකියාවේ යම් යම් අඩුපාඩු හදුනා ගැනීමට පුළුවන. එම නිසා බුද්ධීන්ද්‍රීය එනම් මොළයේ ක්‍රියාකාරීත්වය මේ භාෂණ හැකියාව හා සෘජුවම සම්බන්ධ වන බව හදුනා ගත හැක. 

            මිනිසාට මොළයේ ක්‍රියාකාරීත්වයත්, ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයත් ( ඉන්ද්‍රීය පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් ) නිසා ලැබුණු දායාදයක් ලෙස භාෂාව හදුනා ගත හැක. 

             කිසියම් භාෂාවක් කථා කරන විට පුද්ගලයෙකුගේ මනසේ විවිධ සම්මුතීන් රැදී තිබෙන බව යන්නෙන් අදහස් කරනුයේ; මිනිසා උපත ලබන විට භාෂාව පිළිබඳ කිසියම් දැනුමක් මොළය තුළ රදවා ගෙන උපදිනවාය යන අදහස නොවේ. ඕනෑම පුද්ගලයෙක් මේ ලෝකයට උපත ලබනුයේ කිසියම් භාෂාවක් පිළිබඳව දැනුමක් සහිතව නොවේ. උපදින විට භාෂා දැනුමක් මිනිසා සතුව නොපවතී. නමුත් භාෂා ශක්‍යතාවයක් පවතී. භාෂා ශක්‍යතාවයක් යනු; භාෂාවක් කථා කිරීමේ, අවබෝධ කර ගැනීමේ හැකියාව ඔහු තුළ පවතිනවා යන්නයි. එනම් භාෂාවක් කථා කිරීමටත්, අවබෝධ කර ගැනීමටත් ප්‍රකෘති තත්ත්වයේ පවතින මනසක් තිබීම හා ස්වභාවික ඉන්ද්‍රීය පද්ධතියේ ක්‍රියාකාරීත්වයක් පැවතීමයි. මෙහිදී උච්චාරණ ඉන්ද්‍රීයන්ගේ යම්කිසි අඩුපාඩුවක් නොතිබිය යුතුයි. එබදු හැකියාවක් නොමැතිව උපදින පුද්ගලයන් හට භාෂා උච්චාරණය කිරීමේ හැකියාවක් නොමැත. කුඩා දරුවෙක් භාෂාව ඉගෙන ගන්නා කාලය.. ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය භාෂා උපාර්ජනය ලෙස හැදින්විය හැක. ( බහ තෝරන විය. අවුරුදු 1 2/1 - 6 අතර කාලය ) 


* මිනිස් භාෂාවට අයිති විශේශ ලක්ෂණ. 

1. මිනිස් භාෂාවට විශේශ සැලැස්මක් ඇත.( ශබ්දමය හා අර්ථමය වශයෙන් ) 

2. නිර්මාණ ශක්තිය.( විවිධ සීමිත නොවන වාක්‍ය තැනීමේ රටාවක් ඇත. )

3. අත්තනෝමතික ස්වරූපය. 

              යම් අවස්ථාවන් වල මිනිසාගේ ප්‍රකාශන මාධ්‍යයන් මේ යැයි ස්ථිරව ප්‍රකාශ කළ නොහැක. ප්‍රකාශිත අර්ථය හා ප්‍රකාශනයේ ස්වරූපය අතර සබදතාවක් නොමැත. ප්‍රකාශ කරන දෙය කෝපය හෝ දුක නම් එය අවස්ථාවෙන්.. අවස්ථාවට, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

4. ප්‍රකරණයෙන් වියුක්ත වූ එනම් නිශ්චිත අවස්ථාවකින් තොරව ප්‍රකාශ කිරීමේ හැකියාව මිනිස් භාෂාවක තිබේ.

             මිනිසාට අතීත, අනාගත, ව‍ර්තමාන කාලයන් පිළිබඳව විවිධ අවස්ථාවන්, සිද්ධීන්, ද්‍රව්‍යයන් පුද්ගලයන් පිළිබඳව සිතා මතා යම් යම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

5. අර්ථ සංවිධානය පිළිබඳ විශේෂීකරණය.

        ස්වභාවික ලෝකය ඒ ඒ භාෂණ සමාජයන් තුළ විවිධාකාරයෙන් නිරූපණය කිරීම. 



* භාෂා ප්‍රජාව හා භාෂා සමාජය. 


     කිසියම් ජන සමූහයක් පොදුවේ භාවිතා කරන සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාෂාව හැදින්විය හැක. 

          සිංහල භාෂාව කථා කරන ජන සමූහය සිංහල ජන සමූහය ලෙසත්, දෙමළ භාෂාව කථා කරන ජන සමූහය දෙමළ ජන සමූහය ලෙසත් හැදින්විය හැක. 

           පොදුවේ භාෂාවක් නිසා ඒකරාශි වූ පිරිසකට භාෂා ප්‍රජාවක් යැයි කියනු ලබයි. එම භාෂා සමාජය කිසියම් රටකට, භූගෝලීය, දේශපාලන වශයෙන් යම් ප්‍රදේශයකට සීමා විය යුතු නැත. 

           භාෂා ප්‍රජාවක් තුළ අනු කොටස්, අනු ප්‍රභේදයන් වශයෙන් පවතින දේශපාලනමය වශයෙන් බෙදුනු ඒකකයක් භාෂා සමාජයක් ලෙස හැදින්විය හැක.

E.g.

* ලෝකය පුරාම ඉංග්‍රිසි කථා කරන පිරිස භාෂා ප්‍රජාවක් ලෙස හැදින්විය හැක.

 ඇමරිකන් ඉංග්‍රිසි, බ්‍රිතාන්‍ය ඉංග්‍රිසි = ඉංග්‍රිසි භාෂා සමාජය. 


* එකම රාජ්‍යයක් තුළ භාෂා ප්‍රජා කිහිපයක් තිබිය හැක. ඒවා බහු භාෂා සමාජ ලෙස හදුන්වයි. e.g. ඉන්දියාව.


      මෙසේ භාෂාවට මිනිසුන් ඒකරාශි කිරීමටත්, කොටස් වශයෙන් වෙන් කිරීමටත් හැකියාව ඇත.




✍️ Article Writer :-  Thushani Nilushika.

Monday, May 3, 2021

විනය සැකසීම සදහා දඬුවම් ලබාදීම පාසල් පද්ධතියට යෝග්‍ය ද ? (පාසල් කළමණාකරණය)



අතීතයේ අධ්‍යාපනය ගැන විමසන විට පෙනී යන්නෙ ගුරු ගෝල සම්බන්ධය වර්තමානය ට වඩා වෙනස් අයුරකින් තිබූ බවයි.ඒ බව,

වේවැල් කෝටු නාරං සියඹලා           අතූ

කිතුල් පොල් ඉරටු වැල් කහබිලියා   අතූ

මෙවැනි ඉපල් මගෙ දෑසට නොපෑ    යුතූ

පමා නොවී එමි අකුරට මෙයින්        මතූ

                                                   ලෙස ඉහත පද්‍යයෙන් ගම්‍ය වන්නේ අතීතයේ දඩුවම් ක්‍රමය ශාරීරිකව ලබා දුන් බවත්, එකී දඩුවම් ලබා ගත් අය කිසි දිනෙක වැරදි මාර්ගයේ ගියේ නැත.නමුත් මීට දශක ගණනාවකට පෙර පැවති තත්ත්වය වර්ථමානයේ නොමැතිවීම පිළිබඳ ව සතුටු විය හැකිය. විනය මාලාව යහපත් ලෙස ක්‍රියාත්මක වීමට නම් වර්තමානයේ දඩුවම ලබා දීම එක්තරා ක්‍රමයකි. එය ශාරීරික ලෙස මෙන්ම මානසික ලෙස ද ලබා දීම කළ හැකිය. ශාරීරික දඩුවම් අතීතයේ අද්‍යාපනය පද්ධතිය තුළ සුප්‍රසිද්ධ වූවද වර්තමානයේ දී දරුවන් ඇතැම් විට මානසික දඩුවම් වලට ලක්වන ප්‍රවණතා ව වැඩිය. පාසල් තුළ විනය හැඩගස්වනු ලැබීමටද ඇතැම් විට  දඩුවම්  ලබා දීම ද සිදු කරයි.පාසලේ විනය පිළිබිඹු වන දර්ශක කිහිපයකි.

එනම්,

*පන්ති කාමරයේ සිදුවන ඉගෙනුම් ක්‍රියාවලියට පූර්ණ අවධානයෙන් සහභාගි වීම.

*පාසල් පර්‍යන්තයේ සිසුන්ගේ ක්‍රමවත් හැසිරීම.

*සිසුන් කෙරෙන් පළවෙන ස්වයං ශික්ෂණය

*ඉහළ ඉගෙනුම් අභිප්‍රේරණය හෙවත් සිසු ඉගෙනුම් උද්‍යෝගය

     විනය තැනීමේදි මෙම දර්ශක පිළිබිඹු කරන්නට නම් දඩුවමට නොයා පුද්ගලයා භාහිර, අභයන්තර චර්යා පද්ධතිය වෙනස් කිරීම යෝග්‍ය වේ. වර්තමානයේ විනය ස්ථාපනය උදෙසා ගුරුවරුන්ට ඇති සමාන බලයක් පාසල් ප්‍රජාව නියෝජනය කරන ශිෂ්‍ය නායක නායිකාවන්ට ලබා දී ඇත. ඔවුන් ගුරුවරුන්ට වඩා අභිබවා ගොස් දරුවන් පාලනය කිරීමක් දැකිය හැකිය.පාසල් නිල ඇදුම,සිසුන්ගේ කොන්ඩය ආදිය පිළිබදව ගන්න විනය දඩුවම්වලදී ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ඇතැම් චර්‍යාත්මක හැසීරීම් නිසා පාසල් තුළදී හා ඉන් පිටතදී දරුවන් මහත් අපහසුතාවයකට පත් වේ.පාසල තුළදී ඉගෙනුම් අභිප්‍රේරණය නොදක්වන විට ඊට දරුවන් උදෙසා මානසික දඩුවම් ලෙස දක්ශ දරුවන්ට පමනක් අවධානය ලබා දී ඔවුන්ට පමනක් අවධානය යොමු කිරීම තුළින්ද සෙසු දරුවන් ඉදිරියේ දුර්වල දරුවන් ගේ නොහැකියාව කියාපෑම තුළින් දරුවන් තවත් ඉගෙනීමට ඇති රුචිය මෙන්ම විනය තැනීමට කියා දඩුවම් ලබා දුන් විට ,එය  ලබා දුන් ගුරුවරියද පසුව පංතිකාමරය ද පාසල ද එපා වීමට ලක් වී පාසල් ගමනද අඩාල වීමට ලක් වේ.එනිසා පාසල් කළමනාකරණය තුළදී දරුවන්ට විනය හැඩ ගැස්වීමට නම් ඒවෙනුවට දඩුවම නොව අවවාදය ලබා දී චර්‍යා ධනාත්මක කිරීම ප්‍රායෝගික ලෙස සාර්ථක ක්‍රමයකි.

      දරුවන්ට වැරදි සහගත දේවල්වල අනිසි බලපෑම, එය ගැඹුරු වූ අවවාද මගින් සිතට දැනෙන්නට ලබා දුන් විට නැවත ඔවුන් වැරදි කිරීමේ ප්‍රවණතාවය අඩු වේ.දඩුවම් ලබා දෙන්නේ ඒ අනුව දරුවකු නොමඟ යන විටදීය. ඒ නිසා දරුවා නොමඟ යන විට පාසල තුළදී ගුරුවරුන් ලෙස අයහපත් චර්‍යා ඇත්නම් ඒ දරුවන්ට අවවාද ලබා දුන්නත් ඔවුන් නිවැරදි මාර්ගයේ නොයයි නම් විවිධ ධනාත්මක උපස්ථම්භන ලබා දී චර්‍යාව යහපත් කරවාලීම ද කළ හැකිය.වර්තමානයේ බොහෝ රටවල මේ ශාරීරික දඩුවම ඉවත් කර තිබේ. දරුවන්ට යහපත් ඉගෙනුම් වටපිටාවක් සකස් කර දී ඇති ෆින්ලන්තය වැනි රටවල දඩුවම යන වචනය පවා භාවිතයට නොගන්නා තරම්‍ ය. එසේම දරුවන්ට දඩුවම් ලබා දීම වෙනුවට ඔවුන්ටම සමාජයේ අත්දැකීම් තුළින් තම චර්‍යා හැඩගැස්වීමට අනුබල ලබා දීම ද එක්තාරා අයුරක සාර්ථක ක්‍රියාවලියකි. දඩුවම පාසලින් තුරන් කිරීමට  නම් ඒ වෙනුවට චර්‍යාව යහපත් ලෙස හැඩගැස්වීමට නම් උදෑසන රැස්වීම්, විශේෂන සම්මන්ත්‍රණ, දෙමාපිය රැස්වීම් ආදිය තුළින් ද දරුවන්ට තම හැසිරීම් නිවැරදි කිරීමට උපදෙස් ලබා දීම සිදු කල හැකිය.

වර්තමානයේ ඇතැමුන් තමා පරිපූර්ණ මිනිසෙක්‍ ය යන උද්දච්ච හැගීමෙන් යුත් බොහෝ දෙමාපියන් තම දරුවාට පහර දෙන්නෙ තමාගේ ම අච්චුවක් හෝ තම ෆැන්ටසියක තුළ ජීවත් වන පරිපූර්ණ මිනිසෙකු හෝ ගැහැනියක තම දරුවා තුළින් නිර්මාණය කර ගැනීමටය. ඇතැම් විට  වැඩිහිටියන්, ගුරුවරුන් පෞද්ගලික පීඩා දරුවන් පිටින් යැවීම උදෙසා දඩුවම් ලබා දීම් වලට ලක් කරති. දෙමාපියන් දරුවන්ට පහර දෙන්නේ කුඩා කාලයේදි සිය වැඩිහිටියන්ගෙන් ලැබුණු දඩුවම් වල ආභාසය නිසාවෙනි. තමා යහපත් වැඩිහිටියකු  වූයේ තම දෙමාපියන් අපිට ගැසූ නිසා ය යන්න පාරම්බාමිනි.


  දඩුවම ගැන දෙමාපියන්ගෙන් විමසූ විට ඔවුන් ඇතැම් විට පවසන්නෙ මෙවැනි අදහසකි. 'අපි අද මේ තත්වෙ ඉන්නෙ අපේ තාත්තල අපිට මතක හිටිනකල් ගැහුව නිසයි.' ආදී ලෙසිනි. වර්තමානයේ මෙවැනි ලෙස ශාරිරික දඩුවම් ලබා දුන්නොත් දරුවාට දීර්ඝ කාලීන ලෙස ගුරුවරුන් දෙමාපියන් කෙරේ වයිර බදින තත්වවලට පවා පත් විය හැකිය. දඬුවම යනු හුදෙක් තාවකාලික වූ අයහපත්  චර්‍යාව පාලනය කරන ක්‍රමවේදයකි.

දඩුවම් ලෙස,

    * දණ ගැස්සවීම

    * වේවැල් පහර දීම

    * තර්ජනය කිරීම (පංතියේ ඉන්න දුර්වලම ළමයා තමා ඔයා ආදී ලෙසින් නිග්‍රහ කිරීම)

                               ආදී දඩුවම් ලබා දුන්නද එකී දේ නිසා චර්යාව හැඩ ගස්වාගන්නා අය මෙන්ම චර්යාව තව තවත් අදුරු කරගන්නා දරුවන්ද වේ. දරුවන්ගේ සුන්දර වූ පාසල් ගමන මෙවැනි දඩුවම් නිසා අසුන්දර බවට පත කිරීම නොකිරීම පාසලේ කාර්‍යභාරය වේ.

     ඒ අනුව දඩුවම් පාසල් තුළට නොගැලපෙන ක්‍රියාවලියකි. කෙවිට භාවිතා කරන්නෙ හරකුන් දැක්වීමට මිස දරුවන් මෙල්ල කිරීමට නොවන අතර ඔබේ පංති කාමරයේ ඔබේ  දරුවා වහු පැටියෙක් නොව දරුවෙකු යැයි සිතා ක්‍රියා කල යුතු අතර වරදට ශාරීරික හා මානසික ලෙස දඩුවම් ලබානොදී චර්‍යාව යහපත් කිරීම උදෙසා වරදක් කල විට අවවාද අනුශාසනා ලබා දී වරදට හේතු පහදා දී දරුවා යහමග ගත යුතුය. ඒ අනුව දඩුවම පාසලට යෝග්‍ය නොවන ක්‍රියාවලියකි.



Article Writer :- Hashini Imalsha