Tuesday, May 4, 2021

21 වන සියවසෙහි සංවර්ධන කුසලතා - C4 සංකල්පය




           21 වන සියවසයේ පන්ති කාමරය කුමන ආකාරයෙන් වෙනස් විය යුතුද යන්න කෙරෙහි අවධානය යොමු කිරීමේදී C 4 සංකල්පයෙහි උපයෝගීතාවය මෙහිදී විශේෂයෙන් වැදගත් වේ. එම නිසා C 4 සංකල්පය යනු කුමක්ද යන්න කෙරෙහි පළමුව අවධානය යොමු කරමු.


* C 4 සංකල්පය 

1. විචාරාත්මක චින්තනය ( Critical thinking ) 

2. සහයෝගීතාවය ( Colloboration ) 

3. සන්නිවේදනය ( Communication ) 

4. නිර්මාණශීලීත්වය ( Creativity ) 


           අනුමාන කිරීම්, තර්ක කිරීම්, තර්කනය, විශ්ලේෂණය කර සංසන්දනය කිරීම, යම්කිසි දෙයක් හොද සහ නරක පැති විචාරාත්මකව බලන්න පුලුවන් තත්ත්වයක් නිර්මාණය කිරීම, ක්ෂණිකව නොව සිතීමේ හැකියාව, තර්කානුකූලව සංසන්දනාත්මකව විග්‍රහ කිරීම, ස්වයං අධ්‍යයනය, ස්වයං චින්තනය, යමක් විග්‍රාහාත්මකව සිතීම, විචාරාත්මකව සිතීමේ හැකියාව විචාරාත්මක චින්තනයි. එසේම තමන්ගේ ගැටලු විසඳාගැනීමේදි තමන් කියවා තිබෙන දෙයක් හෝ, ඉගෙනගෙන තිබෙන දෙයක් හෝ ප්‍රයෝජනයට ගෙන සුදුසු තිරණයක් ගැනීමට විනිශ්චය කිරීමට, අවස්ථාව උචිත පරිදි අනුමාන කිරීමට පුළුවන් හැකියාව, නිගමනාත්මක තර්කනය, තර්ක කිරීමට ඇති හැකියාව විචාරාත්මක චින්තනයයි. මෙහිදී විචාරාත්මක චින්තනයෙන් බලාපොරොත්තු වනුයේ; සංකීර්ණ පද්ධති විශ්ලේෂණය කර සමස්ථයක තිබෙන කොටස් එකිනෙක සමග අන්තර් ක්‍රියා කරන අන්දම නීර්ණය කිරීමට හැකි වීමයි.  (e.g. ගුරුවරයා ශිෂ්‍යයාට අධ්‍යයනය ලබා දීමට ප්‍රථම සැලසුම් කිරීම සිදු කල යුතුයි.)

            ඉලක්ක සපුරා ගැනීම සදහා එකට එකතු වී වැඩ කිරීම, කිසියම් දෙයකට සහභාගී වීමේ කැමැත්ත සහයෝගීතාවයයි. 

           සන්නිවේදනය යනු නිර්මාණාත්මක සහ විචාරශීලි සංවාදයෙහි නිරත වීම, තම සිතුවිලි ප්‍රශ්න සහ කල්පනා විවිධ පරිසරයන් තුළදී බෙදාහදා ගැනීම සහ සිතුවිලි වලට සවන්දීමයි. e.g. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉගැන්වීම., භාෂාවක් භාවිතා කර ගෙන කථා කිරීම, අදහස් හා ආකල්ප හුවමාරුවක් සිදු කිරීම, පොත් පත් හා පුවත්පත් මගින් දැනුම ලබා ගැනීම.

        කුතුහලය, පරිකල්පනය, අවදානම් භාරගැනීම සහ සුනම්‍යතාව පෙන්නුම් කරන කල්පනා ගොඩනැගීම නිර්මාණශීලීත්වයයි. (e.g. අලුත් ආකාරයට සිතීම, තවත් අයෙකුට රසවින්දනයක් ඇති වන ආකාරයට ඉදිරිපත් කිරීම., පවතින දේ වුවත් අලුත් ආකාරයකට සිතා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව, යම් දෙයක් දෙස විමසිලිමත්ව බලා එය පවතින ආකාරයට වඩා වෙනස් ලෙස නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඇති හැකියාව.)


21 වන සියවසෙහි පන්ති කාමරයක් තුලින් බලාපොරොත්තු වන්නේ සියලුම සිසුන් ගෝලීය ප්‍රජාවෙහි ක්‍රියාකාරී සහභාගී කරුවන් බවට පත්වීමට සූදානම් කිරීමයි. විද්වතුන්ගේ මෙන්ම බොහෝ දෙනාගේ අදහස වනුයේ ඒ සදහා විශේෂයෙන් C4 සංකල්පය,  R3 සංකල්පය,  [කියවීම (Reading), ලිවීම (Writing), අංක ගණිතය (Arithmetic) ] යනාදිය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

     21 වන සියවසෙහි පන්ති කාමරය ශිෂ්‍ය කේන්ද්‍රීය, ව්‍යාපෘති පාදක කරගෙන, යාවජීව අධ්‍යාපනය පදනම් කරගෙන ක්‍රියාත්මක විය යුතු ය. මක්නිසාද දැන ගැනීමට ඉගෙන ගැනීම, යමක් කිරීමට ඉගෙන ගැනීම, ජීවත් වීම සදහා ඉගෙන ගැනීම, එකට ජීවත් වීම සදහා ඉගෙන ගැනීම යන අධ්‍යාපනයේ කුලුණු හතර යාවජීව අධ්‍යයනය හා සම්බන්ධ වන නිසාවෙනි. යාවජීව අද්‍යාපනය යනු සමස්ථ ජීවිත කාලය සිසාරා ම ඵලදායී වූ අඛණ්ඩ ඉගෙනීමකට යොමුවීමයි.  තවත් ලෙසකින් අර්ථ දක්වන්නේ නම්; දැඩි පෞද්ගලික හෝ වෘත්තිය හේතූන් මත අඛණ්ඩව ස්වේච්ඡාවෙන් හා ස්වයං අභිප්‍ර්රනයෙන් දැනුම ලබා ගැනීම (යාවජීව අධ්‍යාපනය සදහා ආයතනය. යුනෙස්කෝ.) යාවජීව අධ්‍යාපනයයි. 

           තවද මෙහිදී ඇගයීම් ක්‍රියාවලිය තුළින් ( ඇගයීම් ව්‍යාපෘති මගින් ) ශිෂ්‍යයාගේ කුසලතා සංවර්ධනය කර ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම ගුරුවරයා විසින් කළ යුතු වේ. ගෝලීය අධ්‍යාපනයට ගැලපෙන ශිෂ්‍යයෙක් නිර්මාණය කළ යුතුයි. සැබවින්ම ඒ සදහා ශිෂ්‍යයා අදාල තත්ත්වයන්ට පත් කිරීමට නම් ගුරුවරයා විසින් කළ යුත්තේ කුමක්ද ? 

* ශිෂ්‍යයාට පන්ති කාමරය තුළදී... විවිධ ක්‍රියකාරකම්, තාක්ෂණික විශයන්, භාහිර ක්‍රියකාරකම් තුළින් වෘත්තිය පුහුණුවට යොමු කිරීම.

* ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබා දීම.

*දෙවන භාෂාවක් ඉගැන්වීම.

*තාක්ෂණික විෂයන් විෂය මාලාවට එක් කිරීම.

* අලුත් විෂයමාලා නිර්මාණය කිරීම.

* තක්සේරුකරණ ක්‍රමයෙහි පැවති සහ පවතින තත්ත්වය නව්‍ය ආකාරයට වෙනස් කිරීම...ect.

      තක්සේරුකරණය කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු වේ. එනම් සරලව ම දක්වන්නේ නම් විභාග සදහා ලකුණු ලබා දෙනුයේ කෙසේද ? සහ ඇගයීම් සිදු කරන ආකාරය පිළිබඳව තක්සේරු ක්‍රමයන්හි නවීකරණයක් හා විවිධත්වයක් තිබිය යුතුයි. එමගින් සෞන්දර්ය, මානව දයාව, සදාචාරය, සහජය, ප්‍රතිභාව වැනි නිර්මාණාත්මක කුසලතා තක්සේරුකරණය කළ යුතුයි. නමුත් තක්සේරු ක්‍රම වම් මොළය පරීක්ෂා කිරීමට පමණක් යොදාගෙන තිබේ. දකුණු මොළයට වැඩි ප්‍රමුඛස්ථානයක් නොදී දකුණු මොළය නොසලකා හැර තිබේ. නමුත් විය යුත්තේ 21 වන සියවසෙහි තක්සේරුකරණයේදී ශිෂ්‍යයාගේ දකුණු මොළයේ ක්‍රියාකාරීත්වයට ද ඉඩ ලබා දීමයි. එමගින් ශිෂ්‍යයාගේ වම් මොළයේ ක්‍රියාකාරීත්වය නොසලකා හැරිය යුතුය යන්න අදහස් නොවේ. 

[ වම් මොළය = ගණිත, සූත්‍ර, කටපාඩම් කර විභාග සදහා සූදානම් වීමට ඉදිරිපත් කරන කරුණු.,

දකුණු මොළය = නිර්මාණශීලී හැකියාවන් , අලුත් නිර්මාණ, නව අදහස් සදහා ප්‍රමුඛත්වය දීම. ] 


            මෙසේ තක්සේරුකරණ ක්‍රම 21 වන සියවසෙහි පන්ති කාමරය තුළදී වෙනස් කළ යුතු වේ. එනම් විභාග පවත්වා ලකුණු ලබා දෙන ක්‍රම වෙනස් කළ යුතුයි.

          ඉදිරියේදී  අධ්‍යාපනයට යොමු වන ශිෂ්‍යයන් යොමු කළ යුත්තේ කුමක් සදහා ද ?  ඒ සදහා කෙසේ ශිෂ්‍යයන් හැඩගැස්විය යුතුද යන්න කෙරෙහිද මෙහෙදී අවධානය යොමු කළ යුතු ය. මක්නිසාද සාම්ප්‍රදායික සූත්‍ර න්‍යාය කටපාඩමින් ප්‍රකාශ කරන  ළමයෙකු නොව 21 වන සියවසයේදී ගෝලීයකරණයට සුදුසු දරුවෙක් නිර්මාණය කළ යුතු වීමයී. 


            21 වන සියවසෙහි කුසලතා පාසල් අධ්‍යාපනයේ සහ ශාස්ත්‍රීය සියලුම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ කෙරේ. ඒ සදහා අනුගමනය කරන ක්‍රම අතරින් විෂය ක්ෂේත්‍ර පාඨමාලාවන්හීදී ද, ගුරුවරුන් තිරස් ශික්ෂණ කුසලතාවන් වර්ධනය අරමුණු කරගැනීම කළ යුතු වේ.


තිරස් ශික්ෂණ කුසලතාවය යනු කුමක්ද ? 

           ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී එක් විෂයක් උගන්වන විට එම විෂයට සමගාමීව.. ඒත් සමගම වෙනත් හැකියාවන් දියුණු කිරීමයි. එනම් අදාල විෂයට සමගාමීව වෙනත් විෂයන් සදහාත් භාවිතා කළ හැකි කුසලතාවයන් වර්ධනය කිරීමයි.

e.g. *විද්‍යාව විෂය උගන්වන විට Computer Science අංශයේ ද දැනුම, ඒ ඒ හැකියාවන් දියුණු කිරීම. 

* විද්‍යා පාඨමාලාවකදී වෙනත් විවිධ පර්‍යේක්ෂණ ක්‍රම භාවිතා කිරීම.

*තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම ඉගෙන ගැනීම.

* ලැබ් වල පරීක්ෂණ සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීම.

* නවීන තාක්ෂණය, මෘදුකාංග, වැඩ සටහන්, ග්‍රැෆික්, බහු මාධ්‍ය ප්‍රයෝජනයට ගැනීම.

                              මෙවැනි දෑ මගින් තිරස් ශික්ෂණ කුසලතාවය වර්ධනය කිරීම සිදු කෙරේ.


       21 වන සියවසේ කුසලතා ඉදිරියෙහි ඇති අභියෝග සහ ඒවාට ගත හැකි විසදුම්  කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් වේ. 

* තාක්ෂණික වශයෙන් සියලුදෙනාටම පහසුකම් නොමැති වීම.e.g. ග්‍රාමීය වශයෙන් තාක්ෂණික පහසුකම් අඩු නිසා ඒ සදහා හැඩ ගැසීම සදහා වැඩි කාලයක් ගත වීම. 

* ගුරු පුහුණුව නැතිකම.

            මෙහිදී ගුරු පුහුණු පාඨමාලා සකස් කිරීමේ අවශ්‍යතාවය පවතී. සැබවින්ම ගුරුවරයා හොදින්ම දන්නා කාරණයක් වන්නේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඔවුන් හට යම් සහයක් අවශ්‍ය බව. මෙහිදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රියාවට නන්වන විට පැනනගින ගැටලු නිරාකරණය කර ගැනීම සදහා පුහුණුවක් සහ එම පුහුණුව ගුරුවරුන්ගේ වෘත්තිය සංවර්ධනයට ඇතුළත් කළ හොත් සැලසුම්කරණය, ක්‍රියාත්මකකරණය ආදී ප්‍රශ්න රැසකට විසදුම් සොයා ගත හැක.


විෂයමාලා නිර්මාණයේදී එය දැනුමට පමණක් කේන්ද්‍ර කර ගැනීම.

e.g. -පහ ශේණියේ ශිෂ්‍යත්ව විභාගය ළමයාට පීඩනයක් වීම සහ විෂය පරාසය වැඩි වීම.

- කලින් කලට අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) , අ.පො.ස. ( උසස් පෙළ ) විෂය නිර්දේශය ලිහිල් කිරීම සහ විෂය පරාසය වැඩි කිරීම. උසස් පෙළ විෂය ප්‍රමාණය විෂයන් හතරේ සිට තුන දක්වා අඩු කිරීම. 

- ව්‍යාපෘති ක්‍රමය ලිහිල් කිරීම.

          යන මෙකි කාරණා නිසාවෙන් ඒ ඒ කාලවලදී ඒවායේ ගුණාත්මක බවට හානි වීම සිදු වේ. 

      එම නිසාවෙන් විෂය මාලා නිර්මාණය කිරීමේදී මනෝවිද්‍යාත්මකව සිතා විෂය මාලා නිර්මාණය කිරීමට යොමු වීම උචිත වේ. එසේම විෂය මාලාවක් සම්පාදනයේදී කුසලතා ඉගැන්වීමට සැලසුම් කිරීම මෙන්ම, දැනුම සහ කුසලතා යන දෙකම සමානව වැදගත් බවද සැලකිය යුතු ය. ඊට අමතරව ඉගැන්විය හැකි කුසලතා මොනවාදැයි පිළිබඳව අධ්‍යාපනය මෙහෙයවන්නන් යථාර්ථවාදී විය යුතු වේ. 


වඩා හොද තක්සේරු පරීක්ෂණයන්හී අවශ්‍යතාවය.

            තක්සේරු ක්‍රමවල නවීකරණයක් සහ විවිධත්වයක් තිබිය යුතු ය. වඩාත් සාරවත් ඉගැන්වීම සහ සංකීර්ණ ක්‍රියාවන් මැනීම සදහා අලුත් තක්සේරු ක්‍රම අවශ්‍ය ය.

            21 වන සියවසේ කුසලතා පන්ති කාමරය තුළ ' ඉගැන්වීම ' කෙසේ වෙනස් විය යුතු ද ? යන්න කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කළ යුතු වේ.

             ඒ අනුව ළමයාගේ මනසට වැඩියෙන් කථා කිරීමට හැකි වන පරිදි වීඩියෝ, ප්‍රසන්ටේෂන් වැනි දේවල් මගින් ඉගැන්වීම සිදු කිරීම, ඉගැන්වීමේදී ප්‍රායෝගිකත්වයට මුල්තැන දී සිදු කිරීම, කණ්ඩායම් ක්‍රියකාරකම් වල නිරත කරවීම (ශිෂ්‍යයාගේ වැරදි අඩුපාඩු එමගින් හදුනා ගැනීමට පහසුවෙන් හැකි වන නිසා එය සාර්ථක ඉගැන්වීම් ක්‍රමයකි.) , සහ ගුරුවරයට ශිෂ්‍යයා කෙරෙහි මනෝවිද්‍යාත්මක අවබෝධයක් පැවතිය යුතු වේ. මෙහිදී පළමුව ගුරුවරයා නිර්මාණශීලී විය යුතු වේ. තවද ගුරුවරයා විචාරාත්මක විය යුතුයි. 21 වන සියවසේ ගෝලීයකරණයට, ව්‍යාපාරකරණයට කුසලතා සංකල්පය යොදා ගැනීමට නම් ගුරුවරු අතර වැඩි සහයෝගයක් තිබිය යුතු සේම විශේෂයෙන්ම දක්ෂ ගුරුවරුන්ගේ දෙස බලා තවත් ගුරුවරයෙකු හට ඒ තුළින් යමක් ඉගෙන ගැනීමේ මානසිකවයක් තිබිය යුතුයි. සියලු ගුරුවරුන් තුළ අධිමානය නැති විය යුතුයි.

     ක්ෂණික තීරණ ගැනීමට හැකි වීම සහ ගුරුවරු විෂය මාලාව පිළිබඳව හසල දැනුමක් පැවතිය යුතුයි. ළමයාට දරා ගැනීමට හැකි විෂය මාලාවක් ලබා දීම සහ ළමයාගේ මට්ටමට ඉගැන්වීමට ගුරුවරයා දැන ගත යුතු වේ. අදාල ශිෂ්‍ය වයස් සීමාව තුළ අදාල ඉගැන්විය යුතු විෂය පරාසය කෙබදුද ? යන්න පිළිබඳව ගුරුවරයට අවබෝධයක් පැවතිය යුතුයි. 

         21 වන සියවසේ කුසලතා ගත් විට එක් එක් පුද්ගලයාට අනුව පාසලෙන් පාසලට කුසලතා වෙනස් විය හැක. මෙහිදී කුසලතා යනුවෙන් බලාපොරොත්තු වනුයේ; 

* විචාරාත්මක චින්තනය 

*ගැටලු නිරාකරණය කිරීම.

* පර්‍යේක්ෂණ කුසලතා භාවිතයෙන් විමර්ශනාත්මක ප්‍රශ්න කිරීම්. ( ළමයින්ගේ අදහස් එළියට ගැනීමට හැකි පරිදි ප්‍රශ්න සෑදීම. )

* නිර්මාණශීලීත්වය.

* කලා හැකියාවන් දියුණු කිරීම.

* කුතුහලය.

* පරිකල්පනය.

* ස්වයං මෙහෙයවීම.

* සැලසුම්කරණය.

* වාචික හා ලිඛ්ත සංනිවේදනය. ( සමහර ළමයින්  කථා කිරීමට අකමැත්තක් දැක්වීම හා ලිඛ්ත පර්‍යේක්ෂණ වඩාත් සාර්ථකව කිරීම. එවැනි ළමයින්ගේ එම දෙයංශයෙම එක සේ සංවර්ධනය උදෙසා ගුරුවරයට කණ්ඩායම් ක්‍රියකාරකම් සිදු කළ හැකි ය. ) 

                                                                                       යනාදියයි.

               තනිවම ඉදිරියට පැමිණීමට අකමැති ශිෂ්‍යයන්, තමන්ට නායකත්වය නොදුන හොත් වැඩ කිරීමට අකමැති ශිෂ්‍යයන් සමග ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදි ගුරුවරයට කටයුතු කිරීමට සිදු වේ. මෙහිදී එම එක් එක් ශිෂ්‍යයාගේ විවිධ දක්ෂතා, හැගීම් ඒවා ගුරුවරයා විසින් දැනගෙන නායකත්වය දිය යුත්තේ කුමනාකාරයේ ශිෂ්‍යයන් හටද ? , සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කුමන ආකාරයේ ශිෂ්‍යයන්ට ද ? යන්න හදුනා ගෙන ඒ ඒ ඉගැන්වීම් ඒ ඒ ශිෂ්‍යයාට ගැලපෙන පරිදි සකස් කිරීමට ගුරුවරයා දැනගත යුතු වේ. 

එසේම බහු සංස්කෘතියෙන් පැමිණෙන ශිෂ්‍යයන්ට ගැලපෙන පරිදි ඉගැන්වීම් වෙනස් කිරීමටද ගුරුවරයා දැන සිටීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. 

          21 වන සියවසේ කුසලතා පිළිබඳව විශාල උනන්දුවක් ඇතිවී ඇත්තේ; පාසල් සිසුන් හට අදාල වන සහ ප්‍රයෝජනවත් වන, ඕනෑම රටක, ඕනෑම ප්‍රදේශයක භාවිතා කල හැකි කුසලතා ඉගැන්විය යුතුය යන පදනම යටතේ ය. 20 වන සියවසේ සිසුන් විසින් ඉගෙනගත් කුසලතාවන්ට වඩා වෙනස්වූ ද, සංකීර්ණ, තරගකාරි දැනුම මූලික වූ සහ තාක්ෂණය විසින් මෙහෙයවනු ලබන ආර්ථිකයට සහ සමාජයකට සුදුසු වන්නා වූ කුසලතා ඉගැන්වීම මෙහි පරමාර්ථයයි. මක්නිසාද අධ්‍යාපනයේ අග්‍රඵලය වන්නේ සංවර්ධිත මිනිසා  නිසාවෙනි.


  

✍️ Article Writer :- Thushani Nilushika

මනුෂ්‍ය භාෂාව, භාෂා ප්‍රජාව හා භාෂා සමාජය





          මෙහිදී පොදුවේ මිනිස් භාෂාව පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ. මිනිසා මේ ලෝකයේ ජීවත් වන සෙසු සතුන් අතර අසහාය තත්ත්වයක් හිමි කර ගත් සත්ත්වයෙකි. මිනිසා තමන් ඇතුළු සියලු සතුන් සහිත ජීව ලෝකයත්, තමන් අවට තිබෙන ද්‍රව්‍යමය ලෝකයත් එනම් භෞතික ලෝකයත් පාලනය කිරීමේ ශක්තියක් හිමි කර ගෙන තිබේ. එම නිසාවෙන් ඔහු තමා අවට ලෝකයත්, ජීවත් වන සෙසු සතුන් අතර අසහාය තත්ත්වයක් හිමි කර ගෙන ඇත. සෙසු සතුන් අභිබවා යන ආකාරයට මිනිසාට මෙවෙනි තත්ත්වයක් ලැබී ඇත්තේ අනෙක් සතුන්ට නැති ආකාරයේ ඉන්ද්‍රීය ශක්තියක් සහ බුද්ධි ශක්තියක් මිනිසා සතු වීම නිසා වේ.

           මිනිසා සතු ඉන්ද්‍රීය ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සෙසු සතුන්ට වඩා සියුම් ව අත් පා ආදිය හැසිර වීමේ හැකියාවක් මිනිසා සතු වේ. එහෙත් එම හැකියාව සෙසු සතුන්ට නොපවතී. ඒ අනුව මෙම හැකියාව නිසාවෙන් මිනිසා අනෙකුත් සතුන් අභිබවා යන ආකාරයට අසහාය ශිෂ්ටාචාරයක් ගොඩ නගා ඇත. 

        මිනිසා සතු බුද්ධි ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වනුයේ  මිනිසා තමා සතු බාහිර ඉන්ද්‍රියයන් ක්‍රමානුකූලව පාලනය කිරීමේ හැකියාව ලබා ගනු ලැබූයේ බුද්ධි ඉන්ද්‍රීය මගින් බවයි. එනම් මොළයේ ක්‍රියාකාරීත්වය නිසාවෙනි. මක්නිසාද අත, පය ආදී සෙසු ඉන්ද්‍රියයන් පාලනය කරනුයේ මිනිසාගේ මොළය මගිනි. මොළයට හානි සිදු වූ විට ඊට සම්බන්ධ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ඇන හිටිනු ලබයි. එම නිසා මිනිසාගේ ඉන්ද්‍රියයන් අතර බුද්ධීන්ද්‍රීය එනම් මොළය ප්‍රධානත්වය ගනී. එවිට මිනිසාගේ මේ මනසත්, ඒ හා සම්බන්ධ සිතීමේ හැකියාවත් එනම් චින්තනයත් ඍජුවම මොළය හා සම්බන්ධ වේ.

             අනෙකුත් සතුන් පිළිබඳව අවධානය යොමු කරන විට පැහැදිලි වනුයේ එම සෙසු සතුන්ගේ මනසට ගෝචර වනුයේ තමන් ඉදිරිපිට පවතින දේ පමණක් බවයි. නමුත් මිනිසාට අතීතයේ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම අනාගතයේ සිදු වන්නට නියමිත දේ පිළිබඳව මනසේ මවාගෙන තමාගේ කටයුතු සංවිධානය කර ගැනීමට හැකියාව පවතී.

            එම නිසා මිනිසා සතු මෙම ඉන්ද්‍රීය ශක්තියත්, සෙසු අනෙක් සත්වයන් ගේ ඉන්ද්‍රීය ශක්තියට වඩා ප්‍රබල බව අපට පැහැදිලි වේ. එනම් අත, පය ආදී භාහිර ඉන්ද්‍රියයන් හැසිරවීමේ ශක්තියත් එනම් බුද්ධීන්ද්‍රීය ශක්තියත් සෙසු සතුන් අභිබවා යන ආකාරයට මිනිසා තුළ ක්‍රියාත්මක වේ.

         මෙසේ මිනිසා සතු වූ මේ ඉන්ද්‍රීය ශක්තියත්, බුද්ධි ශක්තියත් සංයෝගයෙන් මිනිසා ලබා ගත් අන් කිසිදු සත්වයෙකුට නොමැති ආකාරයේ හැකියාවක් පවතී.  ඒ හැකියාව අන් කවරක් හෝ නොව භාෂා හැකියාව වේ.


* මිනිසා සතු භාෂා හැකියාව. 

           භාෂාව යනු මූලික වශයෙන් ම ඉන්ද්‍රියයන් සමූහයක් ක්‍රමානුකූලව චලනය කර නිපදවා ගන්නා ශබ්ද වලින් සමන්විත වූ ඒකකයකි. මෙසේ ඉන්ද්‍රියයන් සමූහයක් ක්‍රමානුකූලව චලනය කර භාෂා නිපදවනු ලබයි. 

               ඕනෑම මිනිස් සමාජයක් කෙරෙහි අප අවධානය යොමු කරන විට අපට පැහැදිලි වන්නේ මුලින්ම උපදිනුයේ භාෂනය එනම් කතා කරන භාෂාව බවත්, දෙවනුව අප ලේඛනය නිශ්පාදනය කර ගනු ලබන බවත් ය. මිනිසාට විවිධ ඉන්ද්‍රීය පද්ධතියන් අයිති වේ. ශරීරය තුළ විවිධ ඉන්ද්‍රීය පද්ධතියන් පවතී. ඒ අතරතුර කථා කිරීමේ හැකියාව හා සම්බන්ධ වන ඉන්ද්‍රීය පද්ධතිය අප හදුන්වනුයේ උච්චාරණය ඉන්ද්‍රීය පද්ධතිය නමිනි. මිනිසා තමන්ගේ උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතියට අයිති කෝෂ තන්තු, උගුර, දිව, තොල් වැනි අවයව ක්‍රමානුකූලව චලනය කර භාෂාවට අයිති ශබ්ද  නිශ්පාදනය කර ගනී.

            කිසියම් ජන කණ්ඩායමක් පොදු භාෂාවකින් කටයුතු කරන විට එම තමන්ගේ භාෂණ සමාජයේ ජීවත් වන සාමාජිකයින් එකිනෙකාට වැටහෙන ආකාරයට මේ භාෂාමය ශබ්ද උත්පාදනය කරන විට ඒ ජන කණ්ඩායම් අතර යම් යම් සම්මුතීන් පවති. සම්මුතීන් යනුවෙන් අදහස් කරනුයේ; කිසියම් භාෂණ සමාජයක අපට දක්නට ලැබෙන, මේ භාහිර සමාජයේ දක්නට ලැබෙන යම් යම් වස්තූන්  පුද්ගලයන්, විවිධ සංකල්ප හැදින්වීම සදහා අපි විවිධ සංකේත නාමයන් භාවිතා කිරීමයි.

E.g. සිංහල භාෂාවේදී අප 'පුටුව' හැදින්වීම සදහා භාවිතා කරන වචනය.. ඒ ආකාරයෙන්ම දෙමළ හා ඉංග්‍රිසි භාෂාවන් වලදී ව්‍යවහාර කරනු නොලැබේ. 'පුටුව' හැදින්වීම සදහා ඒ ඒ භාෂාවට අදාල වෙනත් වචන පවතී. 

              මෙලෙස ඒ ඒ වස්තූන් හැදින්වීම සදහා ඒ ඒ භාෂා සමාජය තුළ ජීවත් වන භාෂකයින් විසින් පනවා ගත් සම්මත තිබේ. ඒවා ඒ භාෂක සමාජයට පමණක් ආවේණික වූ සම්මුතීන් වේ. 

         සිංහල භාෂාව පමණක් දන්නා පුද්ගලයෙක් යමෙකු දෙමළ භාෂාවට අයත් වචනයක් ව්‍යවහාර කළ විට එය නොදනී. මක්නිසාද ඔහු ඒ භාෂක සමාජයට පරිභාහිර අයෙකු වන නිසාවෙනි. මෙලෙස ඒ ඒ භාෂක සමාජය විසින් පනවා ගත් ඒ ඒ සම්මුතීන්, ඒ භාෂාව පරිහරණය කරන පුද්ගලයන්ගේ සිතෙහි තැම්පත් වී තිබේ. එවිට එම භාෂකයින් ඒ සම්මුතීන් අනුව තමන්ගේ උච්චාරණ ඉන්ද්‍රීයන් නිසි ආකාරයට චලනය කර භාෂාමය කටයුතු වල නිරත වෙති. මේ ආකාරයට උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතිය හා සම්බන්ධ ඉන්ද්‍රියයන් ක්‍රමානුකූලව චලනය කිරීමේ හැකියාව මිනිසාට ලැබෙනුයේ මනසේ(මොළයේ ) මෙහෙයවීම අනුවයි. 

              මෙම කාර්යය නියමාකාරයෙන් කිරීමට හැකි වනුයේ ස්වභාවික මනසක් එනම් ප්‍රකෘති මනසක් ඇති පුද්ගලයින්ට පමණි. අස්වාභාවික එනම් විකෘති මනසක් ඇති පුද්ගලයෙකු හට තමන්ගේ සමාජයේ සම්මත ආකාරයට භාෂාමය කටයුතු වල යෙදීමට හැකියාවක් නොමැත.           

           එනම් මනසේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය නම් ඔහුට භාෂණ හැකියාවක් නොමැත. එවිට භාෂණ හැකියාවේ යම් යම් දුර්වලතා පවතී. එය අපිට පොදු සමාජයේ අත්දැකීමක් වශයෙන් දැන ගැනීමට ලැබෙන අවස්ථා තිබේ. 

              කිසියම් මානසික විකෘතිතා ඇති පුද්ගලයින්ගේ භාෂාමය හැකියාවේ යම් යම් අඩුපාඩු හදුනා ගැනීමට පුළුවන. එම නිසා බුද්ධීන්ද්‍රීය එනම් මොළයේ ක්‍රියාකාරීත්වය මේ භාෂණ හැකියාව හා සෘජුවම සම්බන්ධ වන බව හදුනා ගත හැක. 

            මිනිසාට මොළයේ ක්‍රියාකාරීත්වයත්, ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයත් ( ඉන්ද්‍රීය පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් ) නිසා ලැබුණු දායාදයක් ලෙස භාෂාව හදුනා ගත හැක. 

             කිසියම් භාෂාවක් කථා කරන විට පුද්ගලයෙකුගේ මනසේ විවිධ සම්මුතීන් රැදී තිබෙන බව යන්නෙන් අදහස් කරනුයේ; මිනිසා උපත ලබන විට භාෂාව පිළිබඳ කිසියම් දැනුමක් මොළය තුළ රදවා ගෙන උපදිනවාය යන අදහස නොවේ. ඕනෑම පුද්ගලයෙක් මේ ලෝකයට උපත ලබනුයේ කිසියම් භාෂාවක් පිළිබඳව දැනුමක් සහිතව නොවේ. උපදින විට භාෂා දැනුමක් මිනිසා සතුව නොපවතී. නමුත් භාෂා ශක්‍යතාවයක් පවතී. භාෂා ශක්‍යතාවයක් යනු; භාෂාවක් කථා කිරීමේ, අවබෝධ කර ගැනීමේ හැකියාව ඔහු තුළ පවතිනවා යන්නයි. එනම් භාෂාවක් කථා කිරීමටත්, අවබෝධ කර ගැනීමටත් ප්‍රකෘති තත්ත්වයේ පවතින මනසක් තිබීම හා ස්වභාවික ඉන්ද්‍රීය පද්ධතියේ ක්‍රියාකාරීත්වයක් පැවතීමයි. මෙහිදී උච්චාරණ ඉන්ද්‍රීයන්ගේ යම්කිසි අඩුපාඩුවක් නොතිබිය යුතුයි. එබදු හැකියාවක් නොමැතිව උපදින පුද්ගලයන් හට භාෂා උච්චාරණය කිරීමේ හැකියාවක් නොමැත. කුඩා දරුවෙක් භාෂාව ඉගෙන ගන්නා කාලය.. ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය භාෂා උපාර්ජනය ලෙස හැදින්විය හැක. ( බහ තෝරන විය. අවුරුදු 1 2/1 - 6 අතර කාලය ) 


* මිනිස් භාෂාවට අයිති විශේශ ලක්ෂණ. 

1. මිනිස් භාෂාවට විශේශ සැලැස්මක් ඇත.( ශබ්දමය හා අර්ථමය වශයෙන් ) 

2. නිර්මාණ ශක්තිය.( විවිධ සීමිත නොවන වාක්‍ය තැනීමේ රටාවක් ඇත. )

3. අත්තනෝමතික ස්වරූපය. 

              යම් අවස්ථාවන් වල මිනිසාගේ ප්‍රකාශන මාධ්‍යයන් මේ යැයි ස්ථිරව ප්‍රකාශ කළ නොහැක. ප්‍රකාශිත අර්ථය හා ප්‍රකාශනයේ ස්වරූපය අතර සබදතාවක් නොමැත. ප්‍රකාශ කරන දෙය කෝපය හෝ දුක නම් එය අවස්ථාවෙන්.. අවස්ථාවට, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

4. ප්‍රකරණයෙන් වියුක්ත වූ එනම් නිශ්චිත අවස්ථාවකින් තොරව ප්‍රකාශ කිරීමේ හැකියාව මිනිස් භාෂාවක තිබේ.

             මිනිසාට අතීත, අනාගත, ව‍ර්තමාන කාලයන් පිළිබඳව විවිධ අවස්ථාවන්, සිද්ධීන්, ද්‍රව්‍යයන් පුද්ගලයන් පිළිබඳව සිතා මතා යම් යම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

5. අර්ථ සංවිධානය පිළිබඳ විශේෂීකරණය.

        ස්වභාවික ලෝකය ඒ ඒ භාෂණ සමාජයන් තුළ විවිධාකාරයෙන් නිරූපණය කිරීම. 



* භාෂා ප්‍රජාව හා භාෂා සමාජය. 


     කිසියම් ජන සමූහයක් පොදුවේ භාවිතා කරන සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාෂාව හැදින්විය හැක. 

          සිංහල භාෂාව කථා කරන ජන සමූහය සිංහල ජන සමූහය ලෙසත්, දෙමළ භාෂාව කථා කරන ජන සමූහය දෙමළ ජන සමූහය ලෙසත් හැදින්විය හැක. 

           පොදුවේ භාෂාවක් නිසා ඒකරාශි වූ පිරිසකට භාෂා ප්‍රජාවක් යැයි කියනු ලබයි. එම භාෂා සමාජය කිසියම් රටකට, භූගෝලීය, දේශපාලන වශයෙන් යම් ප්‍රදේශයකට සීමා විය යුතු නැත. 

           භාෂා ප්‍රජාවක් තුළ අනු කොටස්, අනු ප්‍රභේදයන් වශයෙන් පවතින දේශපාලනමය වශයෙන් බෙදුනු ඒකකයක් භාෂා සමාජයක් ලෙස හැදින්විය හැක.

E.g.

* ලෝකය පුරාම ඉංග්‍රිසි කථා කරන පිරිස භාෂා ප්‍රජාවක් ලෙස හැදින්විය හැක.

 ඇමරිකන් ඉංග්‍රිසි, බ්‍රිතාන්‍ය ඉංග්‍රිසි = ඉංග්‍රිසි භාෂා සමාජය. 


* එකම රාජ්‍යයක් තුළ භාෂා ප්‍රජා කිහිපයක් තිබිය හැක. ඒවා බහු භාෂා සමාජ ලෙස හදුන්වයි. e.g. ඉන්දියාව.


      මෙසේ භාෂාවට මිනිසුන් ඒකරාශි කිරීමටත්, කොටස් වශයෙන් වෙන් කිරීමටත් හැකියාව ඇත.




✍️ Article Writer :-  Thushani Nilushika.

Monday, May 3, 2021

විනය සැකසීම සදහා දඬුවම් ලබාදීම පාසල් පද්ධතියට යෝග්‍ය ද ? (පාසල් කළමණාකරණය)



අතීතයේ අධ්‍යාපනය ගැන විමසන විට පෙනී යන්නෙ ගුරු ගෝල සම්බන්ධය වර්තමානය ට වඩා වෙනස් අයුරකින් තිබූ බවයි.ඒ බව,

වේවැල් කෝටු නාරං සියඹලා           අතූ

කිතුල් පොල් ඉරටු වැල් කහබිලියා   අතූ

මෙවැනි ඉපල් මගෙ දෑසට නොපෑ    යුතූ

පමා නොවී එමි අකුරට මෙයින්        මතූ

                                                   ලෙස ඉහත පද්‍යයෙන් ගම්‍ය වන්නේ අතීතයේ දඩුවම් ක්‍රමය ශාරීරිකව ලබා දුන් බවත්, එකී දඩුවම් ලබා ගත් අය කිසි දිනෙක වැරදි මාර්ගයේ ගියේ නැත.නමුත් මීට දශක ගණනාවකට පෙර පැවති තත්ත්වය වර්ථමානයේ නොමැතිවීම පිළිබඳ ව සතුටු විය හැකිය. විනය මාලාව යහපත් ලෙස ක්‍රියාත්මක වීමට නම් වර්තමානයේ දඩුවම ලබා දීම එක්තරා ක්‍රමයකි. එය ශාරීරික ලෙස මෙන්ම මානසික ලෙස ද ලබා දීම කළ හැකිය. ශාරීරික දඩුවම් අතීතයේ අද්‍යාපනය පද්ධතිය තුළ සුප්‍රසිද්ධ වූවද වර්තමානයේ දී දරුවන් ඇතැම් විට මානසික දඩුවම් වලට ලක්වන ප්‍රවණතා ව වැඩිය. පාසල් තුළ විනය හැඩගස්වනු ලැබීමටද ඇතැම් විට  දඩුවම්  ලබා දීම ද සිදු කරයි.පාසලේ විනය පිළිබිඹු වන දර්ශක කිහිපයකි.

එනම්,

*පන්ති කාමරයේ සිදුවන ඉගෙනුම් ක්‍රියාවලියට පූර්ණ අවධානයෙන් සහභාගි වීම.

*පාසල් පර්‍යන්තයේ සිසුන්ගේ ක්‍රමවත් හැසිරීම.

*සිසුන් කෙරෙන් පළවෙන ස්වයං ශික්ෂණය

*ඉහළ ඉගෙනුම් අභිප්‍රේරණය හෙවත් සිසු ඉගෙනුම් උද්‍යෝගය

     විනය තැනීමේදි මෙම දර්ශක පිළිබිඹු කරන්නට නම් දඩුවමට නොයා පුද්ගලයා භාහිර, අභයන්තර චර්යා පද්ධතිය වෙනස් කිරීම යෝග්‍ය වේ. වර්තමානයේ විනය ස්ථාපනය උදෙසා ගුරුවරුන්ට ඇති සමාන බලයක් පාසල් ප්‍රජාව නියෝජනය කරන ශිෂ්‍ය නායක නායිකාවන්ට ලබා දී ඇත. ඔවුන් ගුරුවරුන්ට වඩා අභිබවා ගොස් දරුවන් පාලනය කිරීමක් දැකිය හැකිය.පාසල් නිල ඇදුම,සිසුන්ගේ කොන්ඩය ආදිය පිළිබදව ගන්න විනය දඩුවම්වලදී ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ඇතැම් චර්‍යාත්මක හැසීරීම් නිසා පාසල් තුළදී හා ඉන් පිටතදී දරුවන් මහත් අපහසුතාවයකට පත් වේ.පාසල තුළදී ඉගෙනුම් අභිප්‍රේරණය නොදක්වන විට ඊට දරුවන් උදෙසා මානසික දඩුවම් ලෙස දක්ශ දරුවන්ට පමනක් අවධානය ලබා දී ඔවුන්ට පමනක් අවධානය යොමු කිරීම තුළින්ද සෙසු දරුවන් ඉදිරියේ දුර්වල දරුවන් ගේ නොහැකියාව කියාපෑම තුළින් දරුවන් තවත් ඉගෙනීමට ඇති රුචිය මෙන්ම විනය තැනීමට කියා දඩුවම් ලබා දුන් විට ,එය  ලබා දුන් ගුරුවරියද පසුව පංතිකාමරය ද පාසල ද එපා වීමට ලක් වී පාසල් ගමනද අඩාල වීමට ලක් වේ.එනිසා පාසල් කළමනාකරණය තුළදී දරුවන්ට විනය හැඩ ගැස්වීමට නම් ඒවෙනුවට දඩුවම නොව අවවාදය ලබා දී චර්‍යා ධනාත්මක කිරීම ප්‍රායෝගික ලෙස සාර්ථක ක්‍රමයකි.

      දරුවන්ට වැරදි සහගත දේවල්වල අනිසි බලපෑම, එය ගැඹුරු වූ අවවාද මගින් සිතට දැනෙන්නට ලබා දුන් විට නැවත ඔවුන් වැරදි කිරීමේ ප්‍රවණතාවය අඩු වේ.දඩුවම් ලබා දෙන්නේ ඒ අනුව දරුවකු නොමඟ යන විටදීය. ඒ නිසා දරුවා නොමඟ යන විට පාසල තුළදී ගුරුවරුන් ලෙස අයහපත් චර්‍යා ඇත්නම් ඒ දරුවන්ට අවවාද ලබා දුන්නත් ඔවුන් නිවැරදි මාර්ගයේ නොයයි නම් විවිධ ධනාත්මක උපස්ථම්භන ලබා දී චර්‍යාව යහපත් කරවාලීම ද කළ හැකිය.වර්තමානයේ බොහෝ රටවල මේ ශාරීරික දඩුවම ඉවත් කර තිබේ. දරුවන්ට යහපත් ඉගෙනුම් වටපිටාවක් සකස් කර දී ඇති ෆින්ලන්තය වැනි රටවල දඩුවම යන වචනය පවා භාවිතයට නොගන්නා තරම්‍ ය. එසේම දරුවන්ට දඩුවම් ලබා දීම වෙනුවට ඔවුන්ටම සමාජයේ අත්දැකීම් තුළින් තම චර්‍යා හැඩගැස්වීමට අනුබල ලබා දීම ද එක්තාරා අයුරක සාර්ථක ක්‍රියාවලියකි. දඩුවම පාසලින් තුරන් කිරීමට  නම් ඒ වෙනුවට චර්‍යාව යහපත් ලෙස හැඩගැස්වීමට නම් උදෑසන රැස්වීම්, විශේෂන සම්මන්ත්‍රණ, දෙමාපිය රැස්වීම් ආදිය තුළින් ද දරුවන්ට තම හැසිරීම් නිවැරදි කිරීමට උපදෙස් ලබා දීම සිදු කල හැකිය.

වර්තමානයේ ඇතැමුන් තමා පරිපූර්ණ මිනිසෙක්‍ ය යන උද්දච්ච හැගීමෙන් යුත් බොහෝ දෙමාපියන් තම දරුවාට පහර දෙන්නෙ තමාගේ ම අච්චුවක් හෝ තම ෆැන්ටසියක තුළ ජීවත් වන පරිපූර්ණ මිනිසෙකු හෝ ගැහැනියක තම දරුවා තුළින් නිර්මාණය කර ගැනීමටය. ඇතැම් විට  වැඩිහිටියන්, ගුරුවරුන් පෞද්ගලික පීඩා දරුවන් පිටින් යැවීම උදෙසා දඩුවම් ලබා දීම් වලට ලක් කරති. දෙමාපියන් දරුවන්ට පහර දෙන්නේ කුඩා කාලයේදි සිය වැඩිහිටියන්ගෙන් ලැබුණු දඩුවම් වල ආභාසය නිසාවෙනි. තමා යහපත් වැඩිහිටියකු  වූයේ තම දෙමාපියන් අපිට ගැසූ නිසා ය යන්න පාරම්බාමිනි.


  දඩුවම ගැන දෙමාපියන්ගෙන් විමසූ විට ඔවුන් ඇතැම් විට පවසන්නෙ මෙවැනි අදහසකි. 'අපි අද මේ තත්වෙ ඉන්නෙ අපේ තාත්තල අපිට මතක හිටිනකල් ගැහුව නිසයි.' ආදී ලෙසිනි. වර්තමානයේ මෙවැනි ලෙස ශාරිරික දඩුවම් ලබා දුන්නොත් දරුවාට දීර්ඝ කාලීන ලෙස ගුරුවරුන් දෙමාපියන් කෙරේ වයිර බදින තත්වවලට පවා පත් විය හැකිය. දඬුවම යනු හුදෙක් තාවකාලික වූ අයහපත්  චර්‍යාව පාලනය කරන ක්‍රමවේදයකි.

දඩුවම් ලෙස,

    * දණ ගැස්සවීම

    * වේවැල් පහර දීම

    * තර්ජනය කිරීම (පංතියේ ඉන්න දුර්වලම ළමයා තමා ඔයා ආදී ලෙසින් නිග්‍රහ කිරීම)

                               ආදී දඩුවම් ලබා දුන්නද එකී දේ නිසා චර්යාව හැඩ ගස්වාගන්නා අය මෙන්ම චර්යාව තව තවත් අදුරු කරගන්නා දරුවන්ද වේ. දරුවන්ගේ සුන්දර වූ පාසල් ගමන මෙවැනි දඩුවම් නිසා අසුන්දර බවට පත කිරීම නොකිරීම පාසලේ කාර්‍යභාරය වේ.

     ඒ අනුව දඩුවම් පාසල් තුළට නොගැලපෙන ක්‍රියාවලියකි. කෙවිට භාවිතා කරන්නෙ හරකුන් දැක්වීමට මිස දරුවන් මෙල්ල කිරීමට නොවන අතර ඔබේ පංති කාමරයේ ඔබේ  දරුවා වහු පැටියෙක් නොව දරුවෙකු යැයි සිතා ක්‍රියා කල යුතු අතර වරදට ශාරීරික හා මානසික ලෙස දඩුවම් ලබානොදී චර්‍යාව යහපත් කිරීම උදෙසා වරදක් කල විට අවවාද අනුශාසනා ලබා දී වරදට හේතු පහදා දී දරුවා යහමග ගත යුතුය. ඒ අනුව දඩුවම පාසලට යෝග්‍ය නොවන ක්‍රියාවලියකි.



Article Writer :- Hashini Imalsha

Tuesday, April 27, 2021

පුරාවිද්‍යාව පිළිබඳ ව හැඳින්වීමක්

 



                  පුරාවිද්‍යාව යන වචනාර්ථයෙන්ම පැහැදිලි වන අකාරයට පුරාවිද්‍යාව යනු ඉපැරණි  යටගියාව පිළිබඳ ව අධ්‍යයනය කිරීමයි. වර්තමානයේ පුරාවිද්‍යාව සඳහා භාවිතා කරන “ARCHAEOLOGY” යන ඉංග්‍රිසි වදන නිර්මාණය වි ඇත්තේ ග්‍රීක භාෂාවෙනි.

ARCHAOIS+LOGOS = ARCHAEOLOGY

     ARCHAOIS යන්නෙන් පටන්ගැන්ම, ආරම්භය, පැරණි යන අර්ථය ලබාදෙයි. LOGOS යනු විද්‍යාව යි. ග්‍රීක භාෂාවෙන් මෙම  වචනය නිර්මාණය විමෙන් පැහැදිලි වන්නේ ග්‍රීක යුගයේදි පවා ජනතාවට පුරාවිද්‍යාව පිළිබඳ දැනුම පැවතුණු බවයි.

 

විවිධ ශබ්දකෝෂ පුරාවිද්‍යාව අර්ථ ගන්වන්නේ මෙසේ ය.

01. Oxford  උසස් පරිශිලකයන්ගේ ශබ්දකෝෂය

පොළවෙන් සොයා ගන්නා ගොඩනැගිලි අවශේෂ හා ද්‍රවයන් පරික්ෂා කරමින් යටගිය සංස්කාතිය හා ඉතිහාසයේ කාලපරිච්ජේද පිළිබඳ ව අධ්‍යනය කිරීම වේ

02. ඇමරිකානු උරුම ශබ්දකෝෂය

සුසාන, අතීත මානව ජිවනය හා සංස්තෘතිය හේතුවෙන් ශේෂගත වූ ගොඩනැගිලි මෙවලම් හා මැටිබදුන් ආදි ද්‍රව්‍යාත්මක සාධක පිළබඳ අධ්‍යනය කිරිමයි

03. මලලසේකර (සිංහල/ඉංග්‍රිසි) ශබ්දකෝෂය

භෞතික ශේෂයන් විශ්ලේෂණයෙන් හා කැනිම් වලින් මානව හා ප්‍රාග් ඉතිහාසය හැදැරිමයි

           විවිධ ප්‍රසිද්ධ පුරාවිද්‍යයන් විසින් තමන් ලැබු අත්දැකිම් හා දැනුම තුළින් පුරාවිද්‍යව පිළිබඳ විස්තර කර ඇත.



“පුරාවිද්‍යාව යනු භෞතික සාධක උපයොගි කොටගෙන මානව අතිතය පිළිබඳ කථාව ගොඩනැගිමට කරනු ලබන සංවිහිත අධ්‍යනයකි” .

-මහාචාර්ය ග්‍රෙහම් ක්ලාර්ක්-




“අතීතයේ සිදු වු සංස්කෘතිය වෙනස් වීම් හා මානව හැසිරිම ද්‍රව්‍යාත්මක අවශේෂ ඹස්සේ අධ්‍යනය කිරිම පුරාවිද්‍යාව වේ.”

-භාරතිය පුරාවිදඥ කේ.රාජන්-




“පුරාවිද්‍යාව යනු යටගිය සංස්කෘතියට අදාළ තත්වයන් පැහැදිලි කර දෙන්නා වු එම සංස්කාතින් පැවතියේ මෙලෙසය මෙබදු ස්ථානයකය එහි ස්රුපය මෙලෙසය යන්න හා එම යටගිය සංස්කෘතින් සතු වු භෞතික අවශේෂ මෙවාය යනුවෙන් විග්‍රහ කරන විෂයකි”

-ශිරාන් දැරණියගල-




“පැරණි මානව සමාජය විසින් ශේෂකර ඇති මානව කෘති මඟින් මානව සංහතියේ ප්‍රභවය හා විකාශනය සොයාබැලිම පුරාවිද්‍යාවයි”

-ස්ටුවට් පිගොට්-




“මිනිසාගේ ප්‍රාග් ඓතිහාසික යුගයේ එනම් ලේඛන කලාව ආරම්භයට පෙර යුගය පිළිබඳ තොරතුරු සපයයි”

-කැත්ලින් කෙන්යොන්-




“පුරාණ මිනිසාගේ ජිවන ගමනේ සැම අංශයක්ම තේරුම් ගත හැකිවන පරිදි ඔහුන් විසින්ම නිපදවන ලද හා පරිහරණය කරන දැනට ශේෂ වි ඇති ද්‍රව්‍ය අධ්‍යනය”

-රොබට් ජේ බ්‍රොයිඩ්වුඩ්-




“පුරාවිද්‍යාව වු කලි නවින විද්‍යාවන් අතර බඩපිස්සා ය”

-සර් විලියම් ෆ්ලින්ඩර් ප්‍රෙට්-




“පුරාවිද්‍යාව ඊටම ආවේණික වු ශික්ෂණ ක්‍රමයකි. මානවයා පිළිබඳ විධිමත් විද්‍යානුකුල අධ්‍යනය පුරාවිද්‍යාවයි”

-ඩේවිඩ් අයි ක්ලාක්-




“පුරාතනයට අයත් භෞතික සංස්කෘතිය අධ්‍යනය කිරිමයි”

-ඩෙවිඩ් බ්‍රයන්-




“පුරාවිද්‍යාත්මක කටයුතු ක්‍රීඩාවක් නොවේ. එය දුක්ෂර වුද ක්‍රියාශිලි වුද කොන්ද බිදෙන වැඩෙකි”

-ඇලෙක්ස්‍රැන්ඩර් මොන්ගෙයිඩ්-

 

           ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂය පථයන් තුළ අතීත අධ්‍යනය සිදු වුවත් ඒ සඳහා භාවිතා කරන මාධ්‍යයන් වෙනස් වේ. ඉතිහාසය ලිඛිත සාධක ඇසුරෙන් අතීතය අධ්‍යනය කරන අතර පුරාවිද්‍යාවේදි වැඩි වශයෙන් භෞතික සාධක වෙත අවධානය යොමු කරයි. පුරාවිද්‍යව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඊටම ආවේණික ක්‍රමවේදයන් භාවිතා කරයි. පුරාවිද්‍යාවේදි භාවිතා කරන භෞතික සාධක කොටස් හතරකට වර්ග කිරීමට හැකිය.

        පුරාකෘති

        ජීවකෘති

        කෘෂිකෘති

        භූකෘති

 

පුරාකෘති - පැරණි මිනිසා විසින් අතින් සැදු, වෙනස් කරන ලඳ, එකතු කරන ලඳ, පරිහරණය කරනු ලැබු දේ පුරාකෘති වේ. විශාල ස්මාරකයේ සිට කුඩා වළං කැබැල්ල දක්වා මෙයට අයත් වේ.

ජීවකෘති - මිනිස් හා සත්ව අවශේෂ මෙම වර්ගයට අයත් වේ. මිනිස් ඇටකට සත්ව ඇටකටු ආදියට මෙහිදි අවධානය යොමු කරයි.

කෘෂිකෘති - උද්භිත අවශේෂ වන ඩයටම, පරාග, ශාක පොසිල ආදිය මෙයට අයත් වේ.

භූකෘති - භූ දර්ශන , පාංශු වර්ග, පාෂාණ වර්ග ආදිය මෙම වර්ගයට අයත් වේ.

 

පුරාවිද්‍යා විෂය පථය තුළ ඊටම ආවේණික ක්‍රමවේදයන් පවති.

       දත්ත හදුනාගැනිම

       දත්ත එක්රැස් කිරිම

       දත්ත විග්‍රහ කිරිම

       දත්ත අර්ථ නිරුපණය

       දත්ත ආරක්ෂා කිරිම

        ජනතාව දැනුවත් කිරිම

 

 

*දත්ත හදුනා ගැනිම සඳහා ශවේෂණය පුරාවිද්‍යාවේදි භාවිතා කරයි. එහිදි විවිධ ශවේෂණ වර්ග භාවිතා කරයි.


  •  කේෂත්‍ර ශවේෂණ
  •  කේෂත්‍ර නොවන ශවේෂණ
  •  ගුවන් ශවේෂණ
  •  දියයට ශවේෂණ

*දත්ත විග්‍රහ කිරිම සඳහා සාපේක්ෂ නිරපෙක්ෂ කාල නිර්ණ ක්‍රම භාවිතා කරයි. එහිදි හමුවන පුරාවස්තු කාලානුරැපීව පෙළගැස්විම සිදු කරයි.

*දත්ත අර්ථ නිරුපණයේ දි එක්රැස් කරන ලද දත්ත ඇසුරෙන් අතීතය ගොඩ නැගිම සිදු කරයි.

*දත්ත ආරක්ෂා කිරිම ඉතාමත් වැදගත් වේ. එහිදි සංරක්ෂණ ක්‍රම භාවිතා කරයි. අනාගත පරපුරට පුරාවස්තු ආරක්ෂා කිරිම හා පැරණි ස්රුපයට නැවත සැකසිම මෙහිදු අපෙක්ෂා කරයි.

*පුරාවිද්‍යාවේදි සොයා ගන්නා දත්ත මහජනතාව දැනුවත් කිරිම ඉතාමත් වැදගත් වේ. ඒ සඳහා



  •  කෞතුකාගාර
  •  දේශන
  •  සඟරා
  •  පොත්පත්
  •  පුරාවිද්‍යා ඡායාරූප

                                යොදාගැනේ.

 

         පුරාවිද්‍යා විෂය තුළ මිනිසාත් ඔහු අයත් සමාජයත්, මිනිසා හා පරිසරය අතර ඇති අන්තර් සම්බන්ධය පිළිබඳවත් අධ්‍යනය කරයි. පුරාවිද්‍යාවේන් සොයාගන්නා ලද තොරතුරු මඟින් අතීතයේ සිට වර්තමානය දක්වා මානව සමාජයේ විකාශනය වටහා ගත හැකිය. එනම් අතිත සමාජයත්, අතීත සමාජය ගොඩ නැගීමත්, අතීත සමාජිය ක්‍රියාවලිය පැහැදිලි කිරිම, අතීත සංස්කෘතිය අර්ථදැක්විම මෙහිදි සිදු වේ.  අතීතය දෙස කුතුහලයෙන් බලන ජනතාව හට පුරාවිද්‍යව යනු රසවත් ප්‍රස්තුතයකි. 


 Article Writer :- එච්.ආර්.මදුවන්ත

 

 

අධ්‍යාපනය හා ඉගෙනීම



             

    අධ්‍යාපනය යනු කුමක්ද යන්න අර්ථ දැක්වීම එතරම් සුළුපටු කාර්යක් නොවේ. චින්තනයෙන් නොදියුණු ,දැනුමෙන් සන්නද්ධ නොවූ ප්‍රාථමික ගෝත්‍රීය සමාජ රාමුව තුළ  මිනිසා ජීවත්වන කල ඔහු කළ වැරදි අපමණය.ඒ සෑම වැරැද්දක්ම ඔහු  ජීවිතය පවත්වාගෙන යාම සදහා දරන ලද ප්‍රයත්නයේ එක් ප්‍රතිඵලයක් විය. එම වරද පිටුපස වූ නිරීක්ෂණය, අත්දැකීම්, පුහුණුව, විකල්ප මාර්ග මත ක්‍රියාත්මකවීම මත අවිඥානිකව ම  දැනුම ගොඩනැගීමත්, ඉගෙනීමත් සිදුවිය.ඒ අනුව අවසන දැනුම කෝෂ්ඨාගාරයක් නිර්මාණය විය. ගබඩා කිරීම,විශ්ලේෂණය ,නිරීක්ෂණය හා විකාශනය ඒ තුළ විය.

   මේ අනුව මිනිසා තමා ජීව්ත්වීමෙන් ලද අත්දැකීම් සමුදාය දැනුම යනුවෙන් ගොනුකර ගත් අතර එම දැනුම  මානව සමාජයේ යහප උදෙසා පමණක් නොව කේන්ද්‍රීය යහපත උදෙසා ද විවිධ පදනමින් උපයෝගිකර ගැනීම පරම්පරාවෙන් පරම්පාරවට දැනුම පැවරීම, උපතේ සිට මරණය තෙක් ස්වාධීන පුද්ගලයෙකු ලෙස ගොඩ නැගීම ඇතුළු සමස්ථය අධ්‍යාපනය යනුවෙන් හැදින්විය හැකිය. 


මේ අනුව යමින් අධ්‍යාපණය යන්න විවිධ දාර්ශනිකයන් හා අධ්‍යාපනඥයින්  විසින් විවිධාකාරව නිර්වචන ඉදිරිපත් කර තිබේ.

       යුගයෙන් යුගය  කලින් කල පළවී ඇති නිර්වචනයෝ කෙරෙහි අවධානය යොමු කරමින් අධ්‍යාපන යනු කුමක්ද   යන්න අර්ථ අවබෝධයට යොමුවෙමු.


අධ්‍යාපනය යනු,

  •       සාක්ෂර  ශක්‍යතාව (අක්ෂරවිත්) සමග ආධ්‍යාත්මික (ආත්මවිත්) ගුණ වගාව අධ්‍යාපනයයි .


  •       අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගුණදහමින් යුත් හදවතක් ආති පුද්ගලයෙකු තැනීමයි.

                     - කොන්පියුසියස්තුමා(Confusius, 551-479 B.C.)


  •     අධ්‍යාපනය මගින් සාවද්‍ය දේවල් ඉවත් කරලමින් සත්‍යය අනාවරණය කොට ගත යුතුය.

                                              -සොක්‍රටීස් (Socratates 469-399) 


  •     බාල කාලයේ ස්වභාවධර්මය අනුව වැඩෙන දරුවාට හොද පුරුදු හා පුහුණුවක් දීමෙන් සංවර්ධනය කිරීම අධ්‍යාපනයයි.

          

  •  අධ්‍යාපනය ඉතා උතුම් හා අලංකාර දෙයකි.( රිපබ්ලික් )


  •  අධ්‍යාපනයෙන් යහපත් පුද්ගලයන් බිහිවනවා පමණක් නොව ,ඒ අය යහපත් අන්දමට ක්‍රියා කරන්නටත් පුරුදු වෙයි.(ද ලොස්)      

                 - ප්ලේටෝ(plato, 429-384)

                     

  •  ජීවිතයේ ප්‍රීතිය හා වාසනාව සලසා දෙන පරිදි බුද්ධි වර්ධනය ඇති කිරීම හා ජීවන තත්ත්වය නගාලීම අධ්‍යාපනයයි.

                      - ප්‍රැන්සිස් බේකන්( Francis Becon. 1521-1690) 

   

  •  අධ්‍යාපනය යනු පූර්ණ මිනිසෙකු බිහි කිරීමයි.             

             - ආමෝස් කොම්නියස් (Amos Comenius,1592-1690)


  •  යුද්ධයේ දීත් ,සාමයේ දීත්, පෞද්ගලිකවත් ,පොදුවේත් සෑම කාර්යයක් ම සාධාරණ ලෙසත් උදාර ලෙසත් ඉටුකළ හැකි මනුෂ්‍යයෙකු බිහි කිරීම අධ්‍යාපනය යි.

                  - ජෝන් මිල්ටන් (john Milton.1608-1674)


  •  අධ්‍යාපය යනු බලපෑම්වලින් තොර ස්වාභාවික වර්ධනයකි.


  •  අධ්‍යාපනය ස්වාභාව ධර්මය අනුව ඇතිවන ක්‍රියා පද්ධතියකි. ළමයාගේ අධ්‍යාපනය ඔහුගේ හැකියාවන්ට ,අවශ්‍යතාවන්ට ,ලැදියාවන්ට අනුකූලව ලබා දිය යුතුය.

                           - රූසෝ(Rousseau, 1712-1778)


  •  අධ්‍යාපනය යනු ස්වභාවයෙන්ම පුද්ගලයා සතු සියලු ශක්තීන් ක්‍රමානුකූල ව සංවර්ධනය කිරීමයි.

                     - පෙස්ටලොසි(pestalozzi,1746-1827)


  •  සෑම පරම්පරාවක් විසින්ම පවත්වාගෙන යාම සදහා හෝ වැඩි දියුණු කිරීම සදහා තම බාල පරම්පාරාව වෙත හිතා මතාම සංස්කෘතිය පවරා දීම අධ්‍යාපනයයි.

                   - ජෝන් ස්ටූවට් මිල් (John Steurt Mill, 1806-1873)  


  •  අධ්‍යාපනයේ කාර්ය වන්නේ අප පූර්ණ ජීවීතයකට සූදානම කිරීමයි..

           - හර්බට් ස්පෙන්සර් (Hrrbert Spencer, 1820-1903) 



  • ළමයාට සිය වටපිටාව සහ ජිවත් වීමට උපකාරීවන අත්දැකීම ලබාදීම අධ්‍යාපනයයි.

          

  • අධ්‍යාපනය ජීවත්වීමේ ක්‍රියාවලියක් මිස අනාගත ජීවිතයට සූදානම් වීමක් නොවේ.

  • අධ්‍යාපන යනු අත්දැකීම සංවිධානය හා ප්‍රතිසංවිධානය කිරීමයි.                             

- ජෝන් ඩුවී(Johon Dewey, 1869,1948)


  • අධ්‍යාපනය යනු හුදෙක් දැනුම අත්කර ගැනීමේ ක්‍රියාවලියක් නොව  ජීවිතය සමස්තයක් කොටගෙන ඊට අදාළ සියලුදේට මුහුණ දිය හැකි සමෝධානික පුද්ගලයෙකු බිහිකිරීමයි.

                - පී.ක්‍රිෂ්ණමූර්ති.(P.Krishnamurthi,1895-1986) 


  •  අධ්‍යාපනය පුද්ගලයාගේ හිස ,අත්,පා යන අංශවල ගැබ් වූ හැකියාවන් හදුනාගෙන ඒවායේ පූර්ණ වර්ධනයක් ඇති කිරීම යි.

                - මහත්මා ගාන්ධි (Mahathma Gandhi 1895-1986)    


  • අධ්‍යාපනයේ ප්‍රමුඛ නිෂ්ඨාව වන්නේ අළුත් අළුත් දේ කළ හැකි ,නිර්මාණශීලී නවෝත්පාදක හා ගවේෂණශීලි පුද්ගලයින් බිහි කිරීමයි.

         - ජින් පියාජේ ( Jean Piagect, 1896-1980)


  • අධ්‍යාපන යනු ළමයා තුළ උසස් මානසික ලක්ෂණ පුහුණු කරවීම සදහා හිතාමතා කරන  ප්‍රයත්නයකි.

              - ආර්.එස්.පීටර්ස්( R.S.Peters)


නව නිර්වචන


  • දිවි පැවත්ම  සදහා ඉගෙනුම (Lerning to be - Edgar Faure )  යුනෙස්කෝ වාර්ථාවේ  සදහන් වන පරිදි ජීවිතයට  අදාළ ඒ සදහා එදිනෙදා භාවිතයට අවශ්‍ය දැනුම,කුසලතා ,ආකල්ප රැසකර ගැනීමේ ක්‍රියාවාලිය අධ්‍යාපනයයි.


  • In its broadest meaning education is any process by which an individual gains knowledge ,insight or develops attitudees or skills .       

          - ( Encyclopedia Amricana )



  • ලෝක අධ්‍යාපනය පිළිබද නවතම චින්තනය (Lernig :THE TREASURE WITHIN 1996 ජැක්ස් ඩොලර් ජාත්‍යන්තර කොමිසම් වාර්තාව)

       දැනුම ,ආකල්ප ,කුසලතා පුළුල් කරගනිමින් අකණ්ඩව  වෙනසවන සංකීර්ණ අන්තර් සම්බන්ධතා ඇති ලෝකයට හැඩ ගැසීමට හැකියාව ලබා ගැනීම කළ යුත්තේ කුළුණු සතරක් වටා ගොඩ නැගී ඇති ඉගෙනුම ක්‍රියාවාලි සතරක් අනුවය. එනම් ,

       01. ඉගෙනීමට ඉගෙනීම ( Leraning to know)

       02. කිරීමට ඉගෙනීම (Leraning to do )

       03. එක්ව ජීවත්වීමට ඉගෙනීම  (Leraning to  live together )

       04.දිවි පැවැත්මට ඉගෙනීම (Lerning to be)


ඉහත නිර්වචනයන්ට අමතරව අධ්‍යාපනය යන්න කුමක්ද තේරුම් ගැනීමට  ආධුනිකයන් ගත් උත්සහයන් කිහිපයක් වෙතද අවධානය යොමු කරමු.


  • අධ්‍යාපනය යනු දැනුම ,ආකල්ප,කුසලතා අතින් පුද්ගලයා ලබන ස්ථාවර වූත්,අඛන්ඩ වූත්,චර්යාමය හෙවත් හැසිරීම් රටාවේ වෙනසකි.


  • අධ්‍යාපන යනු එක් පරම්පරාවක් සතු සංස්කෘතිය තවත් පරම්පරාවකට පවරා දීමයි.

      

      දහස් ගණන් වූ මෙවැනි නිර්වච එකිනෙකට වෙනස්වීමට ඒ ඒ අධ්‍යාපනඥයින් ජීවත් වූ සමාජ පරිසරය හා අවශ්‍යතා ආදිය බල පාන්නට ඇති.එසේ නමුත් ඉහත නිර්වචන් ඔස්සේ අධ්‍යාපන පිළිබදව මතු වී පෙනෙන වැදගත් කරුණු කිහිපයකි.


       * දැනුම හා කුසලාතාවලින් සමන්විත බව.

        * යාවජීව ක්‍රියාවලියක් බව.

        * අඛණ්ඩ ක්‍රියාවලියක් බව.

       * පුද්ගලයාගේ චර්‍යාමය වෙනසක් අපේක්ෂිත බව. 

        * සමාජ දායාද පරපුරෙන් පරපුරට පවරා දෙන බව.


මේ අයුරින් උක්ත නිර්වචන අධ්‍යණය ඔස්සේ ශිෂ්‍යයාට මෙන්ම ගුරුවරයාටද අධ්‍යාපනය යන්න කුමක්ද පිළිබඳ විග්‍රහයක් ගොඩනගා ගත හැකිවේ..එතුළින් ඉගෙනුම් හා ඉගැන්වීම කාර්ය වාඩාත් ප්‍රතිඵලදායි වනු නිසැකය. 


මේ සමගම ඉගෙනීම යන්න කුමක්දැයි අවබෝධයක් ලබා ගනිමු.

        ඉගෙනීම යන්නට සරල අර්ථකතනය වන්නේ, නොදන්නා දෙයක් දැන ගැනීම යන්නයි. විවිධ ගුරුකුලයන් ,දාර්ශනිකයන් ,අධ්‍යාපනඥයින් ආදීන් මේ සදහාද විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇති අතර ඒ අතරින් වඩාත් පිළිගත් නිරවචන 2ක් පහත පරිදි වේ.


  •  "ඉගෙනීම යනු අනුභූතියේ(පුහුණුවේ) ප්‍රතිඵලයක් ලෙස ඇතිවන සාපේක්ෂ වශයෙන් නිත්‍ය වූ චර්යා වෙනස්වීමයි."        

- (Morgan)


  •  ඉගෙනීම යනු උපස්ථම්භනය කරන ලද  පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන සාපේක්ෂ වශයෙන් නිත්‍ය වූ චර්යා වෙනස්වීමේ ශක්‍යතාවයි"      
- (Geldard and Marxquis)


අමතර අදහස්             

මේ අයුරින් විවිධ නිර්වචන අධ්‍යාණය තුළින් විශය ප්‍රවේශය වඩාත් සාර්ථක වන බව නිසැකය.එසේ නමුත්, අනුන්ගේ නිර්වචන කටපාඩම් කිරීමට ශිෂ්‍යයා එකවර යොමු කරනවාට වඩා කළ යුතු දෙය වන්නේ තේමා කාරණය හැකි උපරිමයෙන් තම ශිෂ්‍යන් අතින් නිර්වචනය කිරීමයි.එලෙස නිර්වචනය හෝ අදහස් විමසන කල බොහෝ අසම්පූර්ණ සාර්ථක පිළිතුරු ලැබේ.එහෙත් ඔබ නොදන්නවා ඇත.ඔබ යම් විෂයයක් සම්බන්ධව යම් අයෙකු කරන ලද ප්‍රකාශයක් ඉදිරිපත් කලත් එවැනි ප්‍රකාශ ඉදිරිපත් කළ විද්වතුන් බිහි වූයේ ද තමා ඉදිරිපිට වූ ප්‍රශ්නයට වැරදි වැරදි කරුණු කී ශිෂ්‍යයන් ම බව. එබැවින් විද්වතුන්ගේ ප්‍රකාශ අපි ඔවුන්ගේ ගැත්තන් පරිදි ප්‍රකාශ කරනවාට වඩා එම උගතුන්ගේ දාර්ශනිකයන්ගේ මත අපගේ චින්තනයේ තබාගෙන එවැනි මත ඉදිරිපත් කළ හැකි චින්තකයන් පිරිසක් වශයෙන් බිහිවීම වඩාත් සාර්ථකයැයි සැළකිය හැක.එනම් ඔබේ අක්ෂිය  තුළින් ඔබ ලබන  අවබෝධය වඩාත් සාර්ථක වේ..


Article Writer :- පි.ඩ්බ්.මනුෂිකා දිශ්නි


Monday, April 26, 2021

අධ්‍යාපන මනෝවිද්‍යාව ( Educational Psychology )







  •  අධ්‍යාපන මනෝවිද්‍යාව හැදින්වීම.

         ව්‍යවහාරික මනෝවිද්‍යා අංශයට ගැනෙන, නිරතුරුවම ප්‍රායෝගිකව භාවිතා වන විෂය ක්ෂෙත්‍රයක් ලෙස අධ්‍යාපන මනෝවිද්‍යාව හදුනා ගත හැකිය. අධ්‍යාපනය යනු; " *කිසියම් සමාජයක් විසින් සිය නව සාමාජිකයන්ට සමාජය සමග සම්බන්ධතා පැවැත්වීමේ කාර්යය පහසු කරලනු පිණිස, ඒ සමාජය විසින් පිළිගන්නා ලද ඇගයීම්, විශ්වාස, සාරධර්ම සහ ඇතැම් සංකේතාත්මක ප්‍රකාශන සම්ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරීකම නම් වේ. "  

මිනිස් මනස ක්‍රියාත්මක වන ආකාරය හා එය හැසිරීමට බලපාන ආකාරය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම මනෝවිද්‍යාවයි. අධ්‍යාපන මනෝවිද්‍යාව අධ්‍යාපනය හා මනෝවිද්‍යාව යන ද්විත්වයෙහි එකතුවක් වන්නේ ය. මක්නිසාද ඉගෙනුම්    ක්‍රියාවලිය, පුද්ගල චර්යාව සමග සම්බන්ධ වන්නක් නිසා මනෝවිද්‍යාව ද ඒ හා බැදී පවතී. මනෝවිද්‍යාව, මනුෂ්‍ය චර්යාව එහි සංවර්ධනය හා ඉගෙනීම සමග බැදී සිටින අධ්‍යයනයකි. එසේ  වුව අධ්‍යාපන මනෝවිද්‍යාව යනු හුදෙක් මෙම අංශ දෙකෙහි සමායෝගය පමණක් ම නොවේ.1.(අතුකෝරල, දයාරෝහණ (2015),අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, පානදුර, ශික්ෂා මන්දිර ප්‍රකාශන. 48 පිටුව ) 

මෙසේ අධ්‍යාපන මනෝවිද්‍යාව යනු කුමක්ද..? යන්න යම් සරල අවබෝධයක් ලබා ගත හැකි ය. නමුත් අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධයෙන් විද්වතුන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.


" අධ්‍යාපන මනෝවිද්‍යාව යනු ඉගැන්වීම හා ඉගෙනුම් සම්බන්ධ මනෝවිද්‍යාවේ අංශයයයි. "  

- B.F. ස්කිනර් - 


" අධ්‍යාපන මනෝවිද්‍යාව යනු අධ්‍යාපනයේ විද්‍යාවයි. " 

- පීල් ( Peel) - 


" අධ්‍යාපන මනෝවිද්‍යාව උපතේ සිට මහලු විය දක්වා පුද්ගයෙකුගේ ඉගෙනීමේ අත්දැකීම් විස්තර කරයි. " 

- Row & Crow - 


" අධ්‍යාපන මනෝවිද්‍යාවේ මූලික අවධානයට යොමුවිය යුත්තේ ඉගෙනුම උපරිම කිරීම සදහා පරිසරය සැකසීමයි. " 

- බෘනර් ( Brooner ) -

     මෙසේ අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති බොහොමයක්  අර්ථනිරූපනයන් අතරින්  ඇන්ඩර්සන්  විසින් ඉදිරිපත් කරන මතය අධ්‍යාපන මනෝවිද්‍යාවේ හරය තේරුම් ගැනීමට බෙහෙවින් උපකාරී වේ..

      අධ්‍යාපන මනෝවිද්‍යාව ප්‍රධාන වශයෙන් ඉගැන්වීම් හා ඉගෙනුම් කේන්ද්‍රීය විය යුතු බව අවධාරණ කරන ඇන්ඩර්සන් (1967) අධ්‍යාපන මනෝවිද්‍යාවේ අර්ථනිරූපනය පහසු කරනු සදහා මූලික ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරයි. එනම්, 


1. ශිෂ්‍ය ඉගෙනුම උපරිම වන්නේ කවර තත්ත්වයන් යටතේද? 

2. ඉගැන්වීම් උපකරණ හා ඉගැන්වීම් ක්‍රියාවලියේ කවර නම් ලක්ෂණ ශිෂ්‍ය ඉගෙනුම පහසු කරන්නේද ? 

                 යනුවෙනි. 

මෙම ප්‍රශ්න දෙකට ලැබෙන පිළිතුරු පරාසය දෙස බලන විට අවසාන විග්‍රහයේදී අධ්‍යාපන මනෝවිද්‍යාවේ අර්ථකථනය නම් ශිෂ්‍ය ඉගෙනුම් ප්‍රගතිය බව මොනවට පැහැදිලි වේ. අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව අර්ථකථනය කරන ඇන්ඩර්සන් තව දුරටත් පවසනු ලබන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාවේ වෑයම විය යුත්තේ අධ්‍යාපන දත්ත සැපයීම, ඒ සම්බන්ධව අවශ්‍ය මූලධර්ම ගොඩනැගීම හා කණ්ඩායම් වශයෙන් ළමයින් සමග කටයුතු කිරීමේදී ඵලදායිතාව වර්ධනය පිණිස අවශ්‍ය කුසලතා ගොඩනැංවීම බවයි. එසේම අධ්‍යාපන මනෝවිද්‍යාවේ අන්තර්ගතය, ක්‍රමවේද හා විෂය ක්ෂේත්‍රයේ සීමා මායිම් තීරණය වන්නේ ශිෂ්‍ය චර්යාව හා ඉගෙනුම් ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ගේ දායකත්වය තුළිනි. මේ අනුව ඉගෙනුම් ස්වභාවය, ශිෂ්‍ය හැකියා වර්ධනය හා ශිෂ්‍යයන් විසින් අත්පත් කර ගත යුතු ඉගෙනුම් ඵල ආදිය එම අන්තර්ගතය තුළම තීරණය වනු ඇත. 2. ( අබේපාල, රෝලන්ඩ් ( 2010 ) , අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම , කොට්ටාව , සාර ප්‍රකාශන. 50 පිටුව ) 

අධ්‍යාපන මනෝවිද්‍යාවේ හරය මෙසේ පෙන්වා දිය හැකිය.

  • අධ්‍යාපන මනෝවිද්‍යාවේ අරමුණු. 

                  අධ්‍යාපන මනෝවිද්‍යාවේ අරමුණු රාශියක් පවතී. ඒ අතරින් ප්‍රධාන අරමුණු කිහිපයක් ම පවතී. ජිතේන්ද්‍ර මොහාන් ( 1996 ) දක්වන  පරිදි අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන අරමුණු මෙසේ ය. 


1.මානව චර්යාවේ මූලිකාංග පිළිබඳ නිශ්චිත දැනුම උත්පාදනය කිරීම, සංවර්ධනය කිරීම හා සම්ප්‍රජානනය කිරීම. 

2. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට අවශ්‍ය අවබෝධය හා සුවිශේෂ කුසලතා සංවර්ධනය කිරීම. 

3. ගුරුවරයාගේ වෘත්තිය ඵලදායිතාව සංවර්ධනය කිරීම.

4. සිසුන්ගේ ඉගෙන ගැනීමේ හැකියා සංවර්ධනය කිරීම. 

5. ඉගෙනීමට පවතින වාසි උපරිම කර ගැනීම හා අවාසි අවම කර ගැනීම.

6. විශේශ අවශ්‍යතා සහිත ළමයින් හදුනා ගැනීම හා ඔවුන්ට වැඩි වාසි සහගත පරිදි කළමනාකරණය.

7. යහපත් සමාජවාතාවරණයක් සහ නීරෝගී මානසික  සෞඛ්‍ය පිහිටුවා ගැනීම.

8. වඩා හොදින් සන්නිවේදනයටත්, තක්සේරුවටත් උචිත නවීන මෙවලම් හා ක්‍රම ශිල්ප භාවිතය. 

9. ශිෂ්‍ය නිර්මාණ ශක්තිය පංති කාමරයේ අන්තර් ක්‍රියාකාරීත්වය නවීකරණය මගින් වැඩි දියුණු කිරීම.

10. දැනුම, අත්දැකීම් ඔස්සේ ප්‍රජානන ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ගවේෂණය කිරීම.

 ( අබේපාල, රෝලන්ඩ්, (2010), අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම, කොට්ටාව, සාර ප්‍රකාශන. 50, 52 පිටු. ) 

මෙසේ අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන අරමුණු හදුනා ගැනීම තුළින් අධ්‍යාපන මනෝවිද්‍යාවේ දිශානතීය කෙබදුද යන්න පූර්ව අවබෝධයක් ලබා ගත හැක.

  • අධ්‍යාපන මනෝවිද්‍යාවේ අන්තර්ගතය. 

             ජිතේන්ද්‍ර මොහාන් විසින් බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා සංගමය, අධ්‍යාපන විද්‍යාපීඨ හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ගුරුවරුන් සදහා සකස් කරන ලද අධ්‍යාපන මනෝවිද්‍යාවේ අන්තර්ගතය මෙසේ උපුටා දක්වා ඇත.


1. ඉගෙනුම් ක්‍රියාවලියේ මූලිකාංග. 

2. ඉගෙනුම හා ධාරණය කෙරේ බලපාන සාධක. 

3. පාසල් වල ඉගෙනුම් ගැටලු. 

4. සංවර්ධන මනෝවිද්‍යාව.

5. සංවර්ධනයට බලපාන සාධක. 

6. අධ්‍යාපනික මිනුම්.

7. මනෝවිද්‍යාව හා ගුරුවරුන්ගේ කාර්යභාරය.

8. අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රවණතා.


             අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන කාර්ය දෙකක් පන්ජාබ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය *එන්. එන්. පැන්ගෝත්රා විසින් පෙන්වා දෙයි. ඒවා නම්, 

1. ඉගැන්වීම සැලසුම් කිරීමේදී අධ්‍යාපන මනෝවිද්‍යාත්මක දැනුම භාවිතා කළහැකි ක්‍රම ශිල්ප කවරේදැයි පැහැදිලි කර තේරුම් ගෙන ඒ අනුව පූර්ව සූදානම. 

2. එසේ සකස් කර ගත් සැලැස්ම ඉගැන්වීමේදී අන්තර්ගතය ඉදිරිපත් කිරීමෙහිලා කුමන මාර්ග භාවිතා කළ හැකිදැයි සලකා බැලීම. 

     යනාදිය වේ. මෙහිදී සැළසුම්කරනය හා ඉගැන්වීම යන සංසිද්ධි ද්වය සාර්ථක ලෙස ඉෂ්ට කර ගැනීමට නම්; ඉගෙනුම් ඵල , කිසියම් ප්‍රවේශ චර්‍යාවකින් ඉගෙනුම් ක්‍රියාවලිය ආරම්භ කිරීම, අපේක්ෂිත නිපුණතා පෝෂණය කිරීම , ඉගෙනුම් ඵල ඇගයීම / ප්‍රතිපෝෂනය යන ප්‍රධාන කාරණා ඉටුවිය යුතු බවද 1976 ග්ලේසර් නම් ව්ද්වතා විසින් පෙන්වා දී තිබේ.


  • අධ්‍යාපන මනෝවිද්‍යාවේ කාර්යභාරය හා ගුරුවරයා.

         අධ්‍යාපන මනෝවිද්‍යාව මනෝවිද්‍යාවේ ප්‍රායෝගික හෙවත් ව්‍යවහාරික අංශයක් වශයෙන් හදුන්වා දිය හැකි ය. පාසල් සංවිධානය තුළ සිසුන්ගේ හැසිරීම් විෂයෙහි සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරිම අධ්‍යාපන මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත්‍රය වේ . ළමයින් පිළිබඳව පංති කාමරයේදී කටයුතු කරන අවස්ථාවේදී ගුරුවරයා විසින් අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනුම භාවිතා කිරීම කළ යුතුම අත්‍යාවශ්‍යය කාරණයකි. ළමයින්ගේ බුදිධිමය , භාවමය හා සාමාජීය වර්ධනයේ ස්වභාවය කෙබඳු ආකාරයේද ?  *  ළමයින්ගේ මූලික අවශ්‍යතා මොනවද ? *ළමයින්ගේ හැසිරීම් විෂයෙහි බලපාන සාධක මොනවද ? යන කරුණු කාරණා පිළිබඳව ගුරුවරයට මනා දැනුමක් තිබීම හා එකී කාරණාවන් පිළිබඳව ස්වයං අවබෝධයක් තිබීම වැදගත් වන්නේය. 

           මනෝවිද්‍යාත්මක සංකල්ප හා ක්‍රම යොදා ගනිමින් , ඉගෙනීම සහ ඉගැන්වීම් පිළිබඳව ගැටලු විමසා බැලීම අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන අරමුණ වේ. සාමාන්‍ය මනෝවිද්‍යාව අධ්‍යාපන හා සම්බන්ධ ගැටලු නිරාකරණයට යොදා ගැනීමක් ලෙස ද එය බොහෝ දුරට හැදින්විය හැක. එම නිසා අධ්‍යාපන මනෝවිද්‍යාවේ ප්‍රධාන තේමාව ඉගෙනීම බවද , ප්‍රධාන අරමුණ කාර්යක්ෂම ඉගෙනුමකට  අවශ්‍ය  නිවරදි තත්ත්ව ගොඩනගා ගැනීමේ ක්‍රම සෙවීම බවද උක්ත කරුණු තුලින් මනාව අවබෝධ කර ගත හැක. ළමයින්ගේ බුදිධිමය , චිත්තවේගී වැනි මනෝමය සාධක උදෙසා අධ්‍යාපන මනෝවිද්‍යාවේ විෂය පථයෙන් වැඩි ප්‍රතිශතයක් යෙදෙන බව හදුනා ගත හැකිය. ඒ සමාජ සංවර්ධනය ගැන වඩා හොද අවබෝධයක් ලබා ගැනීම උදෙසා ය. අද වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ගුරුවරයට පංති කාමරය තුළ දී අධ්‍යාපන මනෝවිද්‍යාව නොසලකා හැරිය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව හදුනා ගත හැකිය. එම නිසාවෙන් යමෙක් සාර්ථක ගුරුවරයෙකු වීමට නම් හෙතෙම අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙකු බවට පත් විය යුතු බව මෙමගින් මනාව අවබෝධ වේ. අධ්‍යාපන මනෝවිද්‍යාව හා සම්බන්ධ ඉතා වැදගත් කරුණු 3 ක් ඇත. එනම්, 


1.ඉගෙනීම ලබන්නා.

2.ඉගෙනුම් ක්‍රියාවලිය.

3.ඉගෙනුම් අවස්ථා. 

               යනාදියයි. ඉගෙනුම ලබන්නා හෙවත් ළමයින් කෙරෙහි පළමුව ගුරුවරයාගේ අවධානය යොමු විය යුතුය. මෙහිදී එසේ අවධානය යොමු කරනවාත් අතරම , ඉගෙනුම ලබන්නා හා ඉගෙනුම ලබන අවස්ථා අතර ද මනා සම්බන්ධතාවයක් පැවතීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතු කරුණකි. එසේ ගුරුවරයට ඉගෙනුම් ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය මනෝවිද්‍යාවෙන් මනාව ලබා ගත හැකිය. විශේෂයෙන්ම ඉගෙනුම් අවස්ථා පිළිබඳව ගුරුවරයාගේ සැලකිල්ලට භාජනය විය යුතු ය. ඉගෙනුම් අවස්ථා ලෙස, 

* පාසල් පංති කාමරය 

* පරිසරය 

* පාඩම් අරමුණු 

* දෙමාපිය අපේක්ෂා. 

                         ආදිය දැක්විය හැකිය. ගුරුවරයට මෙකී ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යාපන මනෝවිද්‍යාව මගින් මනා අවබෝධයක් ලබා ගත හැකිය. අනෙකුත් මනෝවිද්‍යා ක්ෂේත්‍ර වලින් ලද දැනුම හා එම ක්ෂේත්‍ර වල පර්‍යේක්ෂණ මූලධර්ම ද භාවිතා කරමින් අධ්‍යාපන මනෝවිද්‍යාවඥයන් විසින් නව දැනුම නිපදවීම සිදු කරති. එසේම අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් සාමාන්‍ය මනෝවිද්‍යාත්මක ක්‍රම ශිල්ප භාවිතා කරන අතර නව දැනුම නිපදවීම ද සිදු කරති. නව ක්‍රම ශිල්ප ගොඩනැන්වීමෙහි නිරත වෙති. විවිධ ක්ෂේත්‍රයන්හි ඉගෙනුම සිදුවන ආකාරය පිළිබඳව ද අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් විසින් පර්‍යේක්ෂණ පවත්වනු ලබයි. එකී ක්ෂේත්‍ර නම්, 


* ළදරු පාසල් වල.

*ප්‍රාථමික හා ද්විතීයික පාසල් වල.

* විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන වල. 

* හමුදා හා කර්මාන්ත ක්ෂේත්‍රයෙහි.  

                                                      යනාදියයි. 

           අධ්‍යාපන මනෝවිද්‍යාව පර්යේෂණාගාරවලට පමණක් සීමාවූවක් නොවේ. අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රය මිනිසුන් ඉගෙන ගන්නා කවර ස්ථානයක හෝ සිදුවන ක්‍රියාවන් සමග සම්බන්ධ වන ආකාරය හදුනා ගත හැක. මිනිසුන් ඉගෙන ගන්නේ කෙසේද ? , කෙසේ ඉගැන්විය යුතුද.. ? යන දෙයංශයේ ම අධ්‍යාපන මනෝවිද්‍යාවේදි කටයුතු කළ යුතුය. මෙහිදී විශේෂයෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාව ගුරුවරුන් හට කිසිසේත්ම බැහැර කළ නොහැකි ය. ඊට හේතු කාරණා වනුයේ; අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනුම ගුරු කාර්‍යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සිදු කරන නිසාවෙනි. සැබවින්ම දක්ෂ ගුරුවරයෙකු වීම සදහා කෙනෙකු සාර්ථක මනෝවිද්‍යාඥයෙකු විය යුතුම බව ප්‍රක්තයක්ෂ කරුණකි.


  • අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් ගුරුවරයට ඇති ප්‍රයෝජන.

     ගුරුවරයාට විවිධ අවස්ථාවන්හිදී විවිධ අන්දමට අධ්‍යාපන මනෝවිද්‍යාව ප්‍රයෝජනවත් වේ. එසේ ප්‍රයෝජනවත් වන අවස්ථා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමූ. 


* ඇගයීම් කාර්යය සාර්ථකව කිරීම සදහා.

* කළමනාකරණ කාර්යය සාර්ථක කරගැනීම සදහා. 

* විනය පවත්වා ගැනීම සදහා. 

* ගුරුවරයට අන්තර් පුද්ගල සබදතා සාර්ථකව පවත්වාගෙන යාම සදහා.

* ළමයාගේ ස්වභාවය අවබෝධ කර ගැනීමට.

* ළමයා ඉගෙන ගන්නා ආකාරය තේරුම් ගැනීම සදහා.

* ළමයා හැදී වැඩෙන ආකාරය තේරුම් ගැනීම සදහා.

* අවශ්‍ය ළමයින් සදහා උපදේශනය හා මාර්ගෝපදේශනයට..

* ළමයින්ගේ නිපුණතා ඇගයීම් කාර්‍යය සදහා.

* තමන් පිළිබඳව ස්වයං අවබෝධයක් ලබා ගැනීම සදහා.

* පාසල් ප්‍රජාව සමග සාර්ථකව සබදතා පැවැත්වීමට.

* ළමයා ඉගෙනුම සදහා පෙළඹවීමට.

* ළමා රුචිකම්, අභියෝග්‍යතා හදුනා ගෙන සංවර්ධනය කිරීම උදෙසා.

* විශේශ අවශ්‍යතා සහිත ළමයින් හදුනා ගැනීම සදහා 

* ඉගැන්වීම් න්‍යායයන් හා උපක්‍රම දැන ගැනීමට.

* ඉගෙනුම් අවස්ථා , මානසික හා චිත්තවේගීක පරිසරය තේරුම් ගැනීම සදහා 

* කාලසටහන් සැකසීමේ මූලධර්ම සදහා 

* යම් යම් විශයන් ඉගැන්විය යුතු වෙලාවන් තීරණය කිරීම සදහා 

* එක් එක් ළමා කණ්ඩායම් වලට කථා කිරීමට ඉගැන්වීම , අවබෝධය ලබා ගැනීම සදහා 

* එක් එක් ළමා කණ්ඩායම් වලට උචිත විෂය සමගාමී කටයුතු හදුනා ගැනීම උදෙසා 

* පාසලේ / පංතියේ සමාජ ව්‍යුහය තේරුම් ගැනීමට 

* දෙමාපිය සබදතා පැවැත්වීමට 

* සමාජ නායකත්ව පෞරුෂයක් පවත්වාගෙන යාමට 

* විෂයමාලා සැකසීම උදෙසා 

* පෙළපොත් ලිවීම / සංස්කරණය / මුද්‍රණය සදහා 

* ළමා සංවර්ධනයට අදාළව කටයුතු කිරීම සදහා 

  

අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් ගුරුවරයට ඇති ප්‍රයෝජන පිළිබඳව මනා අවබෝධයක් සහ එහි හරය තේරුම් ගැනීම උදෙසා එකී ප්‍රයෝජන කිහිපයක් පිළිබඳව කරුණු වශයෙන් විස්තර සහිතව අවධානය යොමු කරමු. 


* ශිෂ්‍යයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම සදහා.

   ශිෂ්‍යයා සෑම අවස්ථාවකදීම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී වැදගත්කම සාධකය වේ. මෙහිදී ජාති , කුල,  ආගම්, වර්ණ භේදයකින් තොරව සෑම ශිෂ්‍යයෙකු ම සුවිශේෂී කොට සැලකීම වැදගත් වේ. 

 සම වයස් හෝ එකම ශේණියේ සිටින ළමයින් අතර ඇති, බැලූ බැල්මට පෙනෙන, පොදු සමාන හා යටින් දිවෙන අනන්‍ය වූ , අසමාන වූ චර්යා ලක්ෂණ හා ගති ලක්ෂණ වේ. මේ පොදු බව මෙන්ම විශේශ බවද  නිවරදිව හදුනා ගැන්මට සෑම ගුරුවරයෙකුටම හැකි විය යුතු ය. *

-( අතුකෝරාල , දයාරෝහණ , (2015) , අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා , 51 පිටුව ) 


     සමාන වයසක ළමයින් ගත කරන විට ඒ ඒ ළමයින් පොදු වර්ධන මට්ටමක ගත කරන විට කායික , බුදිධිමය, සමාජමය, සදාචාරමය වශයෙන් වෙන වෙනම වුවද ළමයින්ගේ වෙනස් කම් කිසියම් ප්‍රමාණයකට වෙනස් බව දැකිය හැක. එකී වෙනස් කම් අංග ලක්ෂණ වෙනත් බාහිර බලපෑම් සමග, බාහිර සමාජය සමග සම්බන්ධ වී සමස්ත වශයෙන්, පොදු වශයෙන් ළමයින්ගේ චර්යාවාවෙහි පවතින අනන්‍යසම වූ ලක්ෂණ මතුවන ආකාරය දැක ගැනීමට , හදුනාගැනීමට මෙකී සංසිද්ධීන් මනාව තේරුම් ගැනීමට ගුරුවරයා හට අධ්‍යාපන මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව හා සමාජ මනෝවිද්‍යාව යන ක්ෂේත්‍ර යන්හී මනා වැටහීමක් , අවබෝධයක් තිබිය යුතුය. එසේ හදුනාගෙන ඉගැන්වීම් ක්‍රියාවලිය පොදු රටාවකට සැළසුම් කළ ද , එම පොදු බවත් සමග ඒ ඒ ළමයාට විශේෂිත වූ ඉගැන්වීම් ක්‍රමයක් සැළසුම් කිරීම ගුරුවරයා විසින් අනිවාර්යයෙන් ම සිදු කළ යුතු අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත් වේ.   එසේ චින්තනයක් ගුරුවරයාගේ මනසෙහි ඇති වීමට නම් අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව දැනීමක් පැවතීම අත්‍යවශ්‍ය වේ. ගුරුවරයා විසින් ශිෂ්‍යා කේන්ද්‍ර කර ගෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු වේ. ඒ ඒ ශිෂ්‍යා දන්නා දෙයින් නොදන්නා කරුණු මොනවද යන්න වෙන් කරගෙන ගුරුවරයා විසින් ඒ ඔස්සේ , සරල බවෙන් සංකීර්ණ බවටත් , සංයුක්ත සංකල්ප මගින් වියුක්ත සංකල්ප වලටත් යමින් මනා ඉගැන්වීම් ක්‍රමයක් ගොඩ නැංවිය යුතු වේ. මේ සදහා ගුරුවරයා විසින්;

* කෝල්බර්ග් ඉදිරිපත් කළ සදාචාර සංවර්ධන රටා.. 

* ෆ්‍රොයිඩ් සහ එරික්සන් ඉදිරිපත් කළ පෞරුෂ සංවර්ධන න්‍යායයන් පිළිබඳවත් 

* පියාජේ ඉදිරිපත් කළ බුද්ධි සංවර්ධන න්‍යායයන් පිළිබඳවත් 

මනාව දැනගෙන, ඒ පිළිබඳව අවබෝධයක් ලබා සිටින අයෙකු විය යුතු වේ. 

       තමා උගන්වන ශිෂ්‍යයන් දැනට සිටින සංවර්ධන අවධිය කුමක්ද ? යන්නත්, ශිෂ්‍යයන් විසින් පසු කළ සංවර්ධන අවධියත් , ශිෂ්‍යයන් පා තැබීමට නියමිත සංවර්ධන අවධිය කුමක්ද ? යනාදිය පිළිබඳව ගුරුවරයා දැන සිටීම වැදගත් වේ. එසේ නොදැන කරනු ලබන ඉගැන්වීම් කාර්යය තුළ දුබලතා හදුනා ගත  නොහැකි ය. එය ළමයා විෂයෙහි ගත් විට එමගින් ළමයාට සිදු වනුයේ පුලුල් වූ අසාධාරණයකී. 

   ළමයාට සාධාරණයක් ඉටු වීම උදෙසාත් , ගුරුවරයාගේ ඉගැන්වීම් කාර්යය මනා ලෙස අර්ථ සම්පන්න බවට පත් වීමටත් , ගුරුවරයට ශිෂ්‍යයා පිළිබඳව උක්ත කාරණා සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම උදෙසාත් , ගුරුවරයා අධ්‍යාපන මනෝවිද්‍යාව උගත් අයෙකු විය යුතු වේ.  ගුරුවරයා අධ්‍යාපන මනෝවිද්‍යාව උගත් පමණින් එකී සාපල්‍යතා ලගා කර ගත නොහැක. සැබවින්ම ගුරුවරයා ඊට අනුව කටයුතු කරන අයෙකු වීම ද මෙහිදී ඉතාමත් අත්‍යවශ්‍ය දෙයකි. 


* තමන් පිළිබඳ ස්වයං අවබෝධයක් ලබා ගැනීම සදහා.

     ගුරු ශිෂ්‍ය ක්‍රියකාරකම් වල දී ගුරුවරයට වැදගත් තැනක් හිමි වේ. අධ්‍යාපනයෙන් , වයසින් හා පෙනුමෙන් වැඩිහිටි ගුරුවරයා සෑම කල්හිම සිසුන්ගේ අවධානයට යොමු වේ. ගුරුවරයා හැසිරෙන ආකාරය , කතා කරන ආකාරය හා සම්බන්ධතා පවත්වන ආකාරය යන සියල්ල ශිෂ්‍යයන් විසින් අනුකරණය කරනු ලබයි. ගුරුවරයා සියල්ල දත්, නිවරදි දේ කරන, ආදර්ශයට ගත යුතු හොදම ආකෘතිය ය යන අදහස ප්‍රාථමික වසර වලදී ළමයි දරති. මේ නිසා ගුරුවරයා සෑම කල්හිම තමා හදුනා ගෙන අපේක්ෂිත මට්ටමට හැසිරීමට උනන්දු විය යුතු වේ. මේ කාර්යයේදී මනෝවිද්‍යාත්මක දැනුම ගුරුවරයට තම පෞරුෂය සමබරව තබා ගැනීමේ කාර්යය පහසු කරයි.

- ( අතුකෝරාල, දයාරෝහණ, (2015) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, 50 පිටුව ) 


    මෙහිදී ගුරුවරයා සමාජ සම්බන්ධතා රටා පිළිබඳව, තමාගේ චිත්තවේග ආකූලතා මොනවද යන්න පිළිබඳව , මනෝවිද්‍යත්මක මූලධර්ම භාවිතයෙන් එහි න්‍යායයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගෙන තමාගෙ පෞරුෂය පිළිබඳව වැටහීමක් ලබා ගත යුතුය. ඒ අනුව එකී පදනම මත ගුරුවරයට තම වෘත්තිය තුළ; ගුරු පෞරුෂය මනාව හැඩ ගස්වා ගත හැක. ගුරුවරයා ද මේ මහා සමාජයේ වැදගත් තැනක් උසුලන ගෞරවනීය සමාජ සාමාජිකයෙකු වේ.   සමාජයේ සිටින සෑම සමාජ සාමාජිකයෙකුට ම මෙන්ම, වෘත්තිකයෙකුට, නායකයෙකු ට මෙන්ම ගුරුවරයට ද විවිධ ගැටලු, ප්‍රශ්න මතු විය හැක. එකී අවස්ථාවන් වලදී අන් සෑම අයෙකු මෙන්ම ගුරුවරයා ද ඉච්ඡාභංගත්වයට හෙවත් බලාපොරොත්තු බිදුනු තත්වයට පත් විය හැක. යම් කිසි අවස්ථවකදී... එවැනි තත්වයකදී ඉගැන්වීම් කාර්යය සිදු කරන අවස්ථාවන් වලදී එය ශිෂ්‍යයා විෂයෙහි ද අයහපත් ආකාරයේ බලපෑම් එල්ල විය හැක. එය ගුරුවරයාගේ පෞරුෂයට ප්‍රහාරයක් එල්ල කරා වැනි ය. නමුත් ගුරුවරයා මනෝවිද්‍යාව උගත්, අධ්‍යාපන මනෝවිද්‍යාව ජීවිතයට සම්බන්ධ කර ගත් අයෙකු ව්න්නේ නම්, ගුරුවරයට පංති කාමරයේ දීත්, පාසලේදීත්, සමාජයේදීත්, ආදර්ශමත් අයෙකු ලෙස, මනා පෞරුෂයකින් කටයුතු කළ හැකිය.


 * අවශ්‍ය ළමයින් සදහා උපදේශන හා මාර්ගෝපදේශ කාර්යයන් සදහා.

     වර්තමානයේ ගුරු භූමිකාව හුදෙක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සීමා නොවේ. මනෝචිකිත්සකයෙකු, ආගමික පූජකයෙකු , මාර්ගෝපදේශකයකු , නීතිය ආරක්ෂා කරන්නෙකු , යුක්තිය පසිදලන්නෙකු ආදී ලෙස විවිධ භූමිකා රගපෑමට වර්තමාන ගුරුවරයට සිදු වී ඇත. සංකීර්ණ වූ , නාගරීකරණය වූ ,  කාර්මීකරණය වූ , බිදුනු පවුල් හා අපරාධයන් ගෙන් අඩු නොවූ , කෘතීම වූ , අසංවර වූ , සමාජ සාරධර්ම බිද හෙලන්නා වූ , නිල් චිත්‍රපටි , රූපවාහිනී ආදී සන්නිවේදන මාධ්‍ය මගින් විපරිත කරන ලද ශිෂ්‍යයන් සෑම පංති කාමරයක දී ම මුණ ගැසේ. මොවුන් සමාජයේ වරද නිසා එහි ගොදුරු බවට පත් වූ අසරණයන් ය. සදාචාර පරිහානියේ , චිත්තවේග පරිහානියේ විවිධ මට්ටම් වල මොවුන් සිටිය හැකි ය. 

( අතුකෝරාල, දයාරෝහණ, ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා  ගුරුවරයා., 53 පිටුව )

  

          ඉගෙනුම් සමාජයෙන් කොන් කිරීම, මානසික වශයෙන් අසහනයට පත් කිරීම වැනි දේවල් වලට වඩා මෙකී ශිෂ්‍යයන් ට ආදරය , උණුසුම , සුරක්ෂිතතාව , මග පෙන්වීම හා කාරුණිකවත්වය අවශ්‍යව ඇත. මේ සියල්ල එකී ශිෂ්‍යයන් නිවසේ දෙමාපියන් , සමාජයෙන් සේම පාසලේ දී ගුරුවරුන්ගෙන් නියත වශයෙන්ම බලාපොරොත්තු වේ. එම නිසාවෙන් ගුරුවරයා ඉගෙනුම් කාර්යයට අමතරව එකී භූමිකාව ද නිසි පරිදි ඉටු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි. නමුත් ගුරුවරයට එකී උපදේශන හා මගපෙන්වීමේ කාර්යය ඉටු කළ හැකි වන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව , ළමා මනෝවිද්‍යාව පිළිබඳ ඉගෙන ගෙන සිටිය හොත් පමණී. මෙහිදී ගුරුවරයා විසින් ඒ ඒ අදාල ශිෂ්‍යයන්ගේ බුද්ධි වර්ධන මට්ටම , පෞරුෂ වර්ධන ස්වරූපය , රුචි අරුචිකම් හා ආකල්ප යන සියල්ල මැන බැලීම සිදු කළ යුතු වේ. ඒ සදහා ගුරුවරයා විසින් ගුරුවරයාගේ වෘත්තියේ ම කොටසක් ලෙස එකී කාර්යයන් ඉටු කිරීම සදහා විවිධ පර්‍යේක්ෂණ  සකස් කිරීම , මෙහෙයවීම , ප්‍රථිඵල අර්ථකථනය කර නැවත ඒ සදහා විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම.. යනාදී නිසි විවිධ පිළියම් යෙදීම හා ක්‍රියාවට නැන්වීම සිදු කළ යුතු වේ. සම වයස් කණ්ඩායම් සමග කටයුතු කරන්නේ කෙසේද ? , හොද මිතුරන්.. ආශයට නුසුදුසු පිරිස හදුනා ගන්නේ කෙසේද ? , භාහිර සමාජයේ බලපෑම් හදුනාගෙන ඉගෙනුම් කටයුතු නිසියාකාරව කරගෙන යන්නේ කෙසේද ? , සමාජ සබදතා පවත්වන්නේ කෙසේද ? , සදාචාරාත්මක හැසිරීමක්  ඇති කර ගන්නේ කෙසේද ? ..... යනාදිය පිළිබඳව ශිෂ්‍යයාට මගපෙන්වීමට ගුරුවරයා විසින් සමත් විය යුතු වේ. නමුත් අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව නොදැන ගුරුවරයට මෙකී එකදු කාර්යයක් හෝ සාර්ථකව ඉටු කළ නොහැකි වනු ඇත.


* ගුරුවරයාට විනය පවත්වා ගැනීම සදහා. 

               සමාජයේ සෑම සාමජිකයෙකුගේ ම දුප්පත් , පොහොසත් , උස් , පහත් , ජාති , කුල , ආගම් භේදයකින් තොරව දරුවන් පාසලේ සිටින නිසාවෙන් පාසල යනු  අවට සමාජයේ ම ප්‍රතිබිම්බයක් වශයෙන් හැදින්විය හැක. එම නිසා පාසලේදී , පංති කාමරයේ දී සමාජයේ දැකිය හැකි සෑම විනය ගැටලුවක් ම පාහේ දැක ගත හැක. බලාපොරොත්තු විය හැක. මෙහිදී එකී තත්ත්වයන් තුළදී ගුරුවරයාගෙන් බලාපොරොත්තු වනුයේ අදාල විනය ගැටලුව කුමක්ද ? යන්න හදුනාගෙන , ගැටලුවේ ස්වරූපය හා ශිෂ්‍යයන් ගේ මානසික තත්ත්වය වටහාගෙන , නිවරදිව ගැටලු විශ්ලේෂණය කර සාර්ථකව පිළියම් යෙදීම වේ. දඩුවම් දීම අවශ්‍ය ද ? , අවශ්‍ය නම් ඒ කවර අන්දමට ද ? කවර ආකාරයෙන් කෙසේ කළ යුතු ද ? , ඒ ඒ වයස් වල දරුවන් දඩුවම් , නීති රීති පිළිබඳව දරන ආකල්ප හා ඔවුන් දක්වන ප්‍රතිචාර වෙනස් වේ. පියාජේ , කෝල්බර්ග් , නෝර්මන් , ජේ. බුල්. පෙක් හා හැවි(ග්)හර්ස්ට් ආදීන් මේ පිළිබඳ ව විවිධ මත පල කර ඇත. මෙම මත පිළිබඳ ව වැටහීම ඇති කල්හි විනය පාලකයෙකු ලෙස ගුරුවරයට සාර්ථකව කටයුතු කළ හැකි ය. 

( අතුකෝරාල, දයාරෝහණ, ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා., 54 පිටුව ) 


          අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව නොදන්නා , අවබෝධයක් නොමැති ගුරුවරයා ශිෂ්‍යයා විසින් සිදු කරන සෑම වරදකට ම , ශිෂ්‍යයන්ගේ වෙනස් වූ සෑම හැසිරීමකට ම ඒ ඒ අවස්ථාවන් වලදී හිතුන හිතුන පරිදි දඩුවම් ලබා දීම සිදු කළ ද , ශිෂ්‍ය මට්ටම් හා ශිෂ්‍යයින්ගේ චින්තන වර්ධනය ගැන මනා අවබෝධයක් ඇති ගුරුවරයා දඩුවම් ලබා දීම අර්ථවත්ව , සංගතිකව , ස්ථිරව සිදු කරමින් ශිෂ්‍යයා යහපත් මාර්ගයෙහි යෙදවීම සිදු කරනු ලබයි. නමුත් ගුරුවරයට එසේ එය නිවරදි ආකාරයට විනයකින් යුතුව කටයුතු කළ හැකි වන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධයෙන් නිසි දැනුමක් පවතින්නේ නම් පමණි.


* ඇගයීම් කාර්යය සාර්ථකව කිරීම සදහා. 

         ඉගැන්වීම , ඉගෙනීම , ඇගයීම යන කාර්යයන් තුන එකිනෙකට සම්බන්ධව එක් ව යන ක්‍රියකාරකම් තුනකි. මෙහිදී එකී සම්බන්ධතාවය නම් ඉගැන්වීම සාර්ථකව ඉටු කළ හැකි වීද..? යන්නත්, ඉගෙනීම සාර්ථකව සිදු වූයේ ද යන්න පිළිබඳව මැන බැලීම සදහා ඇගයීම් ක්‍රියාදාමය සාර්ථකව සිදු කිරීමයි. 

      අධ්‍යාපන මනෝවිද්‍යාවේදී බුද්ධි පර්‍යේක්ෂණ සැකසීම හා ඇගයීමට ලක් කිරීම , රචනාමය , බහුවරණ ප්‍රශ්න පත්‍ර සැකසීම , වාචික හා ලිඛ්ත ප්‍රශ්න සැකසීම පිළිබඳවත් , පවත්වනු ලබන විභාග වලින් ගන්නා ලකුණු අර්ථකථනය කරනුයේ කෙසේද යන්න පිළිබඳවත් අවබෝධයක් ලබා දේ. එම වැටහීම නොදත් ගුරුවරයට තමා කරන කාර්යය පිළිබඳව නිවරදි වැටහීමක් නොමැත. මේ නිසා ඉගැන්වීම හා සමානවම වටිනාකමක් ඇති ඇගයීම් කාර්යය සාර්ථකව මෙහෙයවා ලීමට අධ්‍යාපන මනෝවිද්‍යාව හා මිනුම් ක්‍රම ඉගෙන ගෙන තිබීම වැදගත් වේ.


* ගුරුවරයාට අන්තර් පුද්ගල සබදතා සාර්ථකව පවත්වාගෙන යාම සදහා.

           ගුරු - ශිෂ්‍ය , ගුරු - ගුරු , ගුරු - විදුහල්පති , ගුරු - පරිපාලන හා ගුරු -  දෙගුරු යනාදී විවිධ වූ මට්ටම් යටතේ විවිධ වූ සමාජ සබදතා සාර්ථකව පවත්වා ගැනීමට තම වෘත්තීමය කටයුතු වලදී ගුරුවරයට සිදු වේ. යම් යම් අවස්ථාවන් වලදී මනෝවිද්‍යාව ගැන නොදන්නා ඇතැම් දෙමාපියන් , විවිධ නිළධාරීන්ගෙන් විවිධ බලපෑම් එල්ල විය හැක. නිදසුන් වශයෙන් දැක්වුව හොත්; ශිෂ්‍යයාගේ පවතින ප්‍රථිඵල ඉහල නංවා පෙන්වා දෙන ලෙස.. විවිධ නිර්දේශ පත්‍ර නිකුත් කර දෙන ලෙස.. ආදී වශයෙනි. සැබවින්ම මෙහිදී එකී බලපෑම් මත සිට ගුරුවරයා කටයුතු කළ හොත් ශිෂ්‍යයාට මානසික මෙන්ම කායික අතින් ද සිදු වන්නේ මහත් වූ අසාධාරණයකී. යම් හෙයකින් එසේ සිදු වුව හොත් ගුරුවරයාගේ පෞරුෂයට මෙන්ම පාසලට ද එයින් අපකීර්තියක් , හානියක් සිදු විය හැකි ය. වර්තමානයේ ද පාසල් පද්ධතීන් තුළ සංවර්ධන සමිති , ගුරු දෙගුරු රැස්වීම් , පෞද්ගලිව ගුරුවරයා මුණ ගැසී.... යනාදී වශයෙන් විවිධ අවස්ථාවන් වල ගුරුවරයට විවිධ පාර්ශවයනගෙන් පැමිණෙන බල කිරීම් දැක ගත හැක. මෙහිදී මෙවැනි තත්ත්වයන් වලදී ගුරුවරයට එවැනි උපදෙස් ලැබුණ ද.., ශිෂ්‍යයන් ට හිරිහැරයක් නොවන අන්දමට කටයුතු කිරීමට අධ්‍යාපන මනෝවිද්‍යාව උගත් ගුරුවරයට හැකි වේ . ගුරුවරයා ප්‍රජාව සමග එක්ව කටයුතු කරන , පාසලත් , ප්‍රජාවත් යා කරන පුරුකක් විය යුතු වේ.  එහිදී ළමයින් හදාවඩා ගැන්ම පිළිබඳව දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව දෙමාපියන් සමග සාකච්චා කළ යුතු වේ. මනෝවිද්‍යාව උගත් එය භාවිතා කරන ගුරුවරයට මෙහිදී කළ හැකි කාර්යභාරය ඉමහත් ය. 

( අතුකෝරාල, දයාරෝහණ,( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා., 55 පිටුව )



* කළමනාකරණ කාර්යය සාර්ථක කර ගැනීම සදහා.

         අතීතයේ පැවති අධ්‍යාපන ක්‍රියාවලියට වඩා වර්තමානයේ තාක්ෂණයේ දියුණුව , අධ්‍යාපන රටා වල සිදු වී තිබෙන වෙනස්කම් ආදිය නිසාවෙන් වේගවත් අධ්‍යාපනයක් දැකගත හැක. වර්තමානයේ පාසල් පද්ධතිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය දෙස අවධානය යොමු කිරීමේ දී සීමිත කාලයක් තුළ දී , සීමිත සම්පත් උපයෝගී කර ගෙන උපරිම ප්‍රථිඵල ලබා ගන්නටත් , පෙන්වීමටත් බල කරන අධ්‍යාපන විශේෂඥයන් මෙන්ම විවිධ නිළධාරීන්ගේ බලපෑම් පවතින නිසාවෙන් ගුරුවරයා මතම විශාල කාර්යභාරයක් , වගකීමක් ඉටු කිරීමට භාර ව ඇත. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ ළමයාට වේ. ශිෂ්‍යයා කේන්ද්‍ර කොට ගෙන , ශිෂ්‍යයාගේ අභිවෘද්ධිය උදෙසා අධ්‍යාපන ක්‍රියාවලියේ දී සියල්ල සැලසුම් කිරීම සිදු කළ යුතු ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් එකී කළමනාකරුවන් විසින් ඉදිරිපත් කරන සෑම අදහසක් ම , මූලධර්මයක් ම අධ්‍යාපන මනෝවිද්‍යාව හා මනෝවිද්‍යාව සමග කිසිදු අදාල තාවයක් නොදක්වන අවස්ථා දැක ගත හැක. එවැනි අවස්ථාවන් වලදී ගුරුවරයා හට තමාගේ පාසලට, පංති කාමරයට, ශිෂ්‍යයන්ට ගැලපෙන ආකාරයට , උචිත පරිදි ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වා ගෙන යාමටත් , සාර්ථක කළමණාකරනයක් එතුළ පවත්වාගෙන යාමටත් , සමත් වීමට හැකි වන්නේ.. අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව  අවබෝධයක් හා එතුලින් උකහා ගත් දැනුම මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා ශිෂ්‍යයා පිළිබඳව මනා දැක්මක් පවතින්නේ නම් පමණි.


 * ගුරුවරයාට විෂය කරුණු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හා ඉගැන්වීම් ක්‍රම සැලසුම් කිරීම සදහා. 

          ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රධානම , වැදගත්ම , ප්‍රමුඛතම සාධකය වන්නේ විශය කරුණු වේ. ගුරු ශිෂ්‍ය  හමුවකදී විෂය කරුණු සම්ප්‍රේෂණය කිරීමක් සිදු වේ. මේ නිසා ඒ ඒ ශිෂ්‍යයාට දරාගත හැකි , තේරුම් ගත හැකි , අවබෝධ කර ගත හැකි විෂය කරුණු කවරේදැයි තෝරා බේරා ගැන්මට ගුරුවරයට අධ්‍යාපන මනෝවිද්‍යාව උපකාරී වේ. තෝරා ගන්නා විශය කරුණු දරුවන්ගේ බුද්ධි සංවර්ධන අවධියට ගැලපෙන පරිදි සරල කර, අවශ්‍ය නිදර්ශන ඉදිරිපත් කරමින් , සිත්ගන්නා සුළු අන්දමින් , අවශ්‍ය ශව්‍ය දෘෂය ආධාරක ද උපයෝගී කරගෙන , උචිත පරිදි ඉදිරිපත් කිරීමට අධ්‍යාපන මනෝවිද්‍යා දැනීම බෙහෙවින් *උපකාරී වේ. 

( අතුකෝරාල, දයාරෝහණ , ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා., 52 පිටුව )


         මෙහිදී දරුවන්ට විෂය කරුණු ඉදිරිපත් කිරීමේ දී ගුරුවරයා විසින් ශිෂ්‍යයන්ට කරුණු මනාව නිරවුල්ව ග්‍රහණය කර ගත හැකි ආකාරයත් , ශිෂ්‍යයින්ට කරුණු ග්‍රහණය කර ගත හැකි පහසු ශිල්පීය ක්‍රම භාවිතා කරමින් විෂය කරුණු ඉදිරිපත් කිරීමටත්... ගුරුවරයට මග පෙන්වනුයේ අධ්‍යාපන මනෝවිද්‍යාව මගිනි. ඒ ඒ අවස්ථාවට උගන්වන පාඩමට , පංති කාමරයට , ශිෂ්‍යයින්ගේ මානසික මට්ටමට ගැළපෙන ආකාරයට ගුරුවරයා විසින් ඉගැන්වීම් ක්‍රම සැළසුම් කළ යුතු වේ. මෙහිදී කවර අවස්ථවකදී දේශන කළ යුතු ද? , කුමන අවස්ථාවක සාකච්චා කිරීම.. , ගැටලු විසදීම , පියවර මගින් නිර්මාණාත්මක ක්‍රමයකට පාඩම ඉදිරිපත් කිරීම , ගවේශන , පැවරුම් , ව්‍යාපෘති , නිබන්ධන ක්‍රම භාවිතා කිරීම යනාදිය තීරණය කිරීමට හා ක්‍රියාත්මක කිරීම උදෙසා ගුරුවරයට මහත් ඉඩකඩක්.. රුකුලක්.. සපයනු ලබන්නේ.. අධ්‍යාපන මනෝවිද්‍යාව මගිනි. මක්නිසාද අධ්‍යාපන මනෝවිද්‍යාව ගුරුවරයා හට * පැව්ලොව් , තෝන්ඩයික් , ස්කිනර්.. ආදී මනෝවිද්‍යාඥයින් ඉදිරිපත් කළ ඉගෙනුම් න්‍යායයන් ද , සංකල්ප සාධනය හා ප්‍රතිපත්තිය පිළිබඳව පියාජේ , විගොට්ස්කි , හා බෘනර්.. ඉදිරිපත් කළ න්‍යායයන් ද.., එබින්හවුස් , බාර්ට්ලේ ආදීන් කළ පර්‍යේක්ෂණ වල ප්‍රථිඵල හා එඩ්ගාර් ඩේල් ඉදිරිපත් කළ අත්දැකීම් කේතුව පිළිබඳව වැටහීමක්* 

( අතුකෝරාල, දයාරෝහණ , (2015) , අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා ) 53 පිටුව ) 


ලබා ගත හැකි වන නිසාවෙනි. ගුරුවරයට තම වෘත්තිය වඩාත් සාර්ථක කර ගැනීම සදහා මෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාව තුළින් ඉගැන්වීමේ කලාව උපයෝගී කරගෙන මෙසේ ඉගැන්වීම් ක්‍රම හා විෂය කරුණු පිළිබඳව ද මනා අවබෝධයක් ලබා ගත හැකි වේ.

        මෙසේ අධ්‍යාපන මනෝවිද්‍යාවේන් ගුරුවරයට ඇති ප්‍රයෝජන සංක්ෂිප්තව පෙන්වා දිය හැක.


ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ගේ අනාගතය දකිනුයේ ගුරුවරයා විසිනි. ඇතැම් විට ඔහු සිය මුළු ජීවිතයම කැප කරනුයේ ශිෂ්‍යයා වෙනුවෙනි. දරුවන්ගේ අභිවෘද්ධිය දැක ගුරුවරුන් සෑම මොහොතක ම සතුටු වේ. ඔවුන්ට ඒ වෙනුවෙන් දරුවන්ගෙන් පෙර හෝ පසු අපේක්ෂාවන් නොමැත. මෙවන් උදාර චේතනාවන් පෙරදැරි කරගෙන දැයට දායාද කරන දරුවන් අනාගතය වෙනුවෙන් බොහෝ දේ කරති. ඔවුහු සමාජයේ ඉතා ඉහළ නිලතල වලට පත් වෙති.  එවන් අභීත දරු පරපුරක් නිර්මාණය කළ ගුරු මව්වරු.. පියවරු.. අතීතයේ දී ද..., වර්තමානයේ දී ද..., මෙන්ම අනාගතයේ දී ද...  සුවහසක් වූ ජාතියේ මල් කැකුළු පුබුදුවා ලන්නට පාසල වෙත පිය නගනුයේ මහත් වූ සෙනෙහසකිනී.

           නමුත් වර්තමාන අද්‍යතන සමාජය තුළ ගුරුවරයාගේ විනය පිරිහුනු අවස්ථා ද අපට අසන්නට, දකින්නට ලැබේ. එනම් සිසු දරු දැරියෝ අපයෝජනයට ලක් කිරීම , තුවාල සිදුවන ආකාරයේ දැඩි පහර දීම් , බැන තර්ජනය කිරීම , නොසලකා හැරීම... වැනි අකටයුතුකම් ඒ අතර වේ. විශේෂයෙන්ම පාසල් වෙලාවෙන් පසුව පැවැත්වෙන උපකාරක පංති සදහා සහභාගි නොවන සිසුන් වෙත බලපෑම් කිරීම ද ප්‍රබලව සිදු වන්නකි. මෙවන් සිදුවීම් හේතුවෙන් වර්තමානය තුළ ගුරුවරයා කෙරෙහි පවතින විශ්වාස බොහෝ දුරට බිද වැටී ඇත. ගුරු ගෞරවය ද පරිහානියට පත් වෙමින් පවතී.  එකී කාරණාවන්ට හේතුව වනුයේ ඇතැම් ගුරුවරුන් අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම වේ.  

               ගුරුවරයා නිසා ශිෂ්‍යයා ද, ශිෂ්‍යයා නිසා ගුරුවරයා ද බබළයි යන්න සැබෑවකි. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පැවතිය යුතු සම්බන්ධතාවය පිය පුත්‍ර සම්බන්ධතාවක් විය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. " සැබෑ ගුරුවරයා යනු ප්‍රඥාව සහ හදවතේ එකතුවකි. ", "ගුරුවරුන් යනු ළමයෙකුගේ දෙවෙනි දෙමාපියන් ය. "  යනු අප සමාජයේ සංකල්ප ගත වූ තවත් එක්  ප්‍රසිද්ධ වූ අදහසකී. 

                 උක්ත කරුණු යම් පදනමක සිට සලකා බලන කල්හී සෑම ගුරුවරයකු ම අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙකු විය යුතු වේ. ඒ සදහා ලියවී ඇති පොත් පත් කියවා එම පර්‍යේක්ෂණ ප්‍රථිඵල, අධ්‍යාපන න්‍යායයන් , තේරුම් ගෙන ඒවා ප්‍රායෝගිකව තම පංති කාමරයේ හා පාසලේ භාවිතා කළ විට අඩු වෙහෙසකින්... වැඩි ප්‍රථිඵල ලබා ගත හැකි වනු ඇත. ගුරුවරයට තම වෘත්තීය ජීවිතය තෘප්තිමත්ව ගෙන යා හැකි වනු ඇත. අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගෙනගෙන , පුහුණු කළ නිරීක්ෂණ සෑම දිනකම නව දැනීමක්.. නව අත්දැකීමක් ලැබෙනු ඇත. ගුරුවරයා නිතරම වැඩ කරනුයේ , වැඩෙන ජීවියෙකු සමග ය. ඔහුගේ බාහිරව දැකිය හැකි ශාරීරික වර්ධනය මෙන් ම හෝ ඊටත් වඩා ශීඝ්‍රයෙන් , බුදිධිමය සමාජය , සදාචාරමය හා චිත්තවේගීක වර්ධනය සිදුවන බව ගුරුවරයා තේරුම් ගත යුතු වේ. එම වර්ධනයන් සිදුවන ආකාරය විනිවිද දැකිය හැකි මනසක් හා මසැසක් ගුරුවරයට තිබිය යුතු වේ. ( අතුකෝරාල, දයාරෝහණ, ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා., 56 පිටුව ) 


        සැබවින්ම අධ්‍යාපන මනෝවිද්‍යාව මගින් ගුරුවරයා හට සිය වෘත්තීය සාර්ථකත්වය ලබා ගැනීමටත් , තමාටත් , සමාජයටත් සේවයක් වීමටත් , ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයේදී ශිෂ්‍යයන් සමග උචිත පරිදි කටයුතු කිරීමටත් මනාව මග පෙන්වනු ලබයි. ඒ බව වඩාත් තීව්‍ර ව පැහැදිලි වන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් ගුරුවරයට ලැබෙන ප්‍රයෝජන සලකා බැලීමේදී වේ. ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සිදුවන සෑම අවස්ථාවක ම අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධ  වේ. මේ නිසා ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ සෑම අයෙකු ම අධ්‍යාපන මනෝවිද්‍යාව න්‍යායාත්මකව උගත යුතුවා පමණක් නොව සෑම අවස්ථාවක දී ම ප්‍රායෝගිකව භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.


References 

  • අතුකෝරාල, දයාරෝහණ , ( 2015 ) අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, ශික්ෂා මන්දිර ප්‍රකාශන, පානදුර.

  • අතුකෝරාල, දයාරෝහණ, ( 2014 ) , අධ්‍යාපන මනෝවිද්‍යාව හා අධ්‍යාපන ව්‍යවහාර පිළිබඳ රචනා, ශික්ෂා මන්දිර ප්‍රකාශන, පානදුර.

  • අබේපාල, රෝලන්ඩ්, ( 2010 ) , අධ්‍යාපනයේ මනෝවිද්‍යත්මක පදනම, සාර ප්‍රකාශන, කොට්ටාව.

  • ඒකනායක, උපාලි, ( 2018 ), මනෝවිද්‍යාත්මක අධ්‍යාපනික දාර්ශනික ගුරු උපදේශනය, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.

  • බාලසූරිය, ඒ.එස්, ( 2011 ), ආධ්‍යාත්මික සංවර්ධන මනෝවිද්‍යාව, සාර ප්‍රකාශන, කොට්ටාව.




Article Writer :- Thushani Nilushika