Monday, June 15, 2020

අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිවැරදි මාවතකට ගන්නේ කෙසේද ?





"වඳුරාට දැලි පිහිය අහු වුනා වගේ" මේ කියමන සැවොම අසා නැතුවාට සැක නැත.පුංචි කාලයේ සිට අප මේ ආප්තෝපදේශය අසා තිබේ.මෙයින් පවසන ආකාරයට  වඳුරාට දැලි පිහිය හසු වූ විට එය භාවිතා කිරීම පිළිබඳ අවබෝධයක් නැති බැවින් ඌගේ සාමාන්‍ය චර්‍යාවන්ට එය යොදාගෙන තමාට ම හානිදායක දේ සිදුකර ගනියි.ඒ වගේම  මිනිසුන් වන අප වර්තමානයේ නව තාක්ෂණයට අයත් අන්තර්ජාලය නිවැරදිව භාවිත නොකළහොත් සිදුවන්නේ ද වදුරාට සිදු වු දේමය.

මුලින්ම අපි අන්තර්ජාලය ගැන යම් කිසි අදහසක් අපගේ ඔලුවට ගැනීම වඩා හිතකර වන්නේ එයින් අන්තර්ජාලය අප කුමටද භාවිත කරන්නේ සහ නිවැරදිව තේරුම් ගෙන අවශ්‍ය දේට පමණක් මෙය යොමු කිරීමට හැකියාව ලැබෙන නිසාය.ලෝකය පුරා පැතිරුණු ,ඕනෑම අයෙකුට පිවිසිය හැකි,එකිනෙක හා සම්බන්ධ වූ,පරිගණක ජාලයන් ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යනුවෙන් හැදින්වීමට හැකි ය.එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටොකෝලය (internet protocol-IP) භාවිතයෙන් පැකැට්ටු ලෙස සම්ප්‍රෙෂණය වේ.මෙයට කෝටි ගණනක් වූ කුඩා ගෘහාශ්‍රිත,ව්‍යාපාරික  හා රාජ්‍ය ජාලයන් ඇතුළත් වන අතර විද්‍යුත් තැපෑල,මාර්ග ගත සංවාද,ලිපිගොනු  සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදි වූ තොරතුරු හා සේවාවන් ද අයත්වේ.

මෙලෙසින් එක් වු අන්තර්ජාලය තුළින්  අලුත් දැනුමක් ලබා ගැනීමට,නොදන්නා දෙයක් පිළිබඳ කරුණු වැඩිදුර අධ්‍යයනය කිරීමට,තොරතුරු එකිනෙකා අතර හුවමාරු කරගැනීමට,අලුත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට  සහ විනෝදය,ආස්වාදය උදෙසා ද අප අන්තර්ජාලය පරිහරණය කිරීමට වර්තමානය වන විට පෙළඹී ඇත.
මීට වසර කිහිපයකට පෙර අපට දැනුම ලබා ගැනීම සඳහා තිබුණේ ඉතා සීමිත මාර්ග ප්‍රමාණයකි.අද වනවිට ඒ මාර්ග පුළුල් වී ලෝකයේ එක් තැනක ඇති දැනුම වඩාත් වේගවත්  ලෙස කෙටි කාලයක් තුළ ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත.
අප බොහෝ දුරට අන්තර්ජාලය තුළින් භාවිත කරන්නේ සමාජ ජාලකරණ වෙබ් අඩවි වේ.එනම් විශේෂයෙන් ෆේස්බුක්(facebook),යූටියුබ්(youtube),ට්විටර් (twitter),ඉන්ස්ටාග්‍රෑම් (instagram) ආදී මාධ්‍යයයන් ය.මෙම වෙබ් අඩවි වලින් පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්,තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත්,අන් අය හා සම්බන්ධ වීමටත්,තමා රුචිකරන චිත්‍රපට-වීඩි‍යෝ දර්ශන ආදිය නැරඹීමටත් හැකියාව ලබා දේ.

මෙලෙස භාවිතා කරන අන්තර්ජාලය මානසික සෞඛ්‍ය පැත්තෙන් ගතහොත් ඉතා වැදගත් දෙයක් වනුයේ පුද්ගල සබඳතා පැවැත්වීමට හැකිවීම තුළිනි.යම් පුද්ගලයෙක් තනි ව ජීවත් වනවාට වඩා සබඳතා ඇතිව ජීවත් වීම ඉතා පලදායි වේ.අන්තර්ජාලය නිසා  මිත්‍ර සම්බන්ධතා ඇති කර ගත හැකිය.විවිධ සමාජ භීතිකා,සමාජ කුසලතා අඩු වීම වැනි දුර්වලතා අන්තර්ජාලය තුළ දී මතු වන්නේ නැත.
ඒ වගේම FB, Twitter  වැනි සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අතීතය නැවත ජීවමාන කරගැනීමේ හැකියාව ද ලැබේ.වසර ගණනාවකට පෙර සිටි පාසල් මිතුරෙකු,විදේශයක පදිංචි ව සිටින නෑයෙකු,හිතවතෙකු සමග කිසිදු අපහසුතාවයකින් තොරව  අන්තර්ජාලය ඔස්සේ සබදතා අලුත් කර ගැනීමේ හැකියාව ලැබේ.
මීට අමතරව ප්‍රධාන වශයෙන් මුලින් සදහන් කළ ආකාරයට දැනුම අලුත් කර ගැනීමට ලැබේ.කටවහරට පවසන ආකාරයට අපට මරණයට පත්වන තුරු ම ඉගෙනීමේ නැවැත්මක් දැකිය නොහැකි ය.එයින් පෙනෙන්නේ ජීවත් වන තාක්  ම අපට ඉගෙනීමට බොහෝ දේ ඇති බවයි.අන්තර්ජාලය හරහා ලෝකයේ ඇති බොහෝ දැනුම් සම්භාරයක් අපට පහසුවෙන්ම ලබා ගැනීමට හැකි ය.

බොහෝ මිනිසුන් අන්තර්ජාලය  මෙවැනි ඵලදායි දෙයකට යොමු නොකර මානසික සෞඛ්‍ය පිරිහෙන ආකාරයට භාවිත කරයි.විශේෂයෙන් ළමුන්ට මෙය පරිහරණය කිරීමට  ඉඩ සැලසිය යුත්තේ මවුපියන්ගේ අධීක්ෂණය යටතේය.අන්තර්ජාලයේ ඇති දරුණු දර්ශන ,ලිංගික දර්ශන  පරිහරණය කිරීමට ඉඩ සැලසීම තුලින් ඔවුන් විවිධ මානසික බලපෑම්වලට ලක්විය හැකි.නවයොවුන් වියේ පසුවන අය නොදන්නා පුද්ගලයන් සමග අනතුරුදායක සබදතා පැවැත්වීමට අන්තර්ජාලයෙන් ඉඩ සැලසෙන බැවින් වංචනිකයන්ගේ රැවටිලිවලට හසු වීමට ඇති අවස්ථා ඉහළයි.මේ තුළින් සිදු වන්නේ අන්තර්ජාලය රකුසෙක් කර ගැනීමයි.

බොහෝ ඉගෙන ගන්නා ළමයින් ද,වැඩිහිටියන් ද,ඉහත ආකාරයට අනවශ්‍ය දේට ඇබ්බැහි වීම  තුළින් තමන්ගේ ජීවිතය අඩියෙන් අඩිය පහළට තල්ලු කර ගන්නේ තමන් විසින්ම ය.අන්තර්ජාලය තුළින් ඉගෙන ගන්නා ළමයෙක්ට තමන්ට ඉගෙනීමට ඇති විෂය කරුණු  පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමටත් තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමටත්,ඉතා හොඳ දක්ෂ ළමයෙක් වීමටත් අවකාශය උදාකරගත හැක.
ඒ වගේම දියුණුවට පත් වීමට ආසාව,කැපවීම තිබෙන පුද්ගලයෙක්ට බොහෝ අවවාද,ආදර්ශ,දියුණු වීමේ උපක්‍රම,ව්‍යාපාර ආදියට ඉවහල් වන දැනුම ආදිය ලබා ගැනීමට ඕනවටත් වඩා කරුණු කාරණා අන්තර්ජාලය තුළින් ලබා ගැනීමට පුළුවනි.

අප මෙලෙස නිවැරදි දේට පමණක් භාවිත කිරීම තුළින් වැරදි මාවතට යොමු වීම අපටම වළක්වා ගත හැකිය.එතුළින් පරිසරය විදීමට ඇති කාලය,සැබෑ ජීවිතයේදී මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට ඇති අවකාශය අපට ඉතිරි කරගත හැකි ය.අනවශ්‍ය දේ පමණක් මග හැරේ.තමන් තමන් ගැන අවබෝධයෙන් සිතා ක්‍රියා කිරීම තුළින් අන්තර්ජාලය වැනි නව තාක්ෂණය නිවැරදි ආකාරයට භාවිත කරන ආකාරය තේරුම් ගෙන තමන්ගේ දියුණුවට ඇති කාලය නිසි පරිදි භාවිතා කර ඔබව ජයග්‍රහයකයෙක්,දියුණු පුද්ගලයෙක් බවට පත් කරගත හැකි ය.
එනිසාවෙන් අවසාන වශයෙන් පවසන්නේ අන්තර්ජාලය අපගේ ජීවිතය කර නොගෙන තමන්ගේ දියුණුවට ඉවහල් වන එක් කොටසක් බවට පත් කරගන්නා ලෙසයි.එයින් අපට අන්තර්ජාලය ඵලදායී දෙයක් ලෙස  යොදා ගැනීමට අවකාශය ලැබෙනවා නොඅනුමානය.



Article Writer - Thakshila Shrimali


No comments:

Post a Comment