Thursday, August 13, 2020

ස්වාභාව ධර්මයේ විශ්මිත ආලෝකය - අවුරෝරා



අවුරෝරා,උතුරු එළි,දකුණු එළි යන නම්වලින් හදුන්වන මෙම ස්වාභාවික සංසිද්ධිය අතිශයින් මනස්කාන්ත දර්ශනයකි.

මොනවාද මේ අවුරෝරා කියන්නේ ? මේවා ඇතිවෙන්නේ කොහොමද ?

අවුරෝරා කියන්නේ පෘථිවියේ උතුරු හා දකුණු ධ්‍රැවයන්ගේ ඇතිවන නිල්,රතු,කොළ,දම් වැනි පැහැයන්ගෙන් අහසේ ගමන් කරනවා වැනි ආකාරයෙන් පෙනෙන ඉතාමත් අලංකාර ආලෝක කදම්භයන් විශේෂයක්.නමුත් මේවා දැකගැනීමට නම් පෘථිවියේ උතුරු ධ්‍රැවාසන්න රටකට ගමන් කළ යුතුයි.දක්ෂිණ ද්‍රැවයේ මිනිස් වාසයක් නොමැති නිසා දකුණු ධ්‍රැවයේ ඇතිවන අවුරෝරා සාමාන්‍ය ජනයාට දැකගැනීමේ හැකියාවක් නෑ.

අවුරෝරා ඇතිවීමට හේතුව වන්නේ  සූර්යයාගෙන් නිකුත් වන ආරෝපිත අංශුයි.මේවා සූර්යය සුළං/සූර්යය ගිනිදැල් ලෙස හදුන්වනවා.


සූර්ය සුළං/සූර්ය ගිනිදැල්


සූර්යයා නිතර ම සූර්යය සුළං පිටකරමින් සිටිනවා,සූර්යය සුළඟ යනු සාමාන්‍ය සුළඟක් වැනි සුළඟක්නම් නොවේ,එය ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,ඇල්ෆා වැනි අංශූන්ගෙන් යුක්ත වේ.එමෙන් ම සූර්යය සුළං සෞරග්‍රහ මණ්ඩලයේ සියළුම ග්‍රහලෝකයන් දක්වා ඉතා වේගයෙන් ගමන් කරනවා.

ඇතැම් විටක ඉතා ප්‍රචන්ඩ ආකාරයෙන් පෘථිවිය දෙසට එල්ල වන සූර්යය සුළං නිසා පෘථිවිය තුළ රේඩියෝ තරංග සම්ප්‍රේශණය මඟින් සිදු කරනු ලබන පණිවිඩ හුවමාරු කිරීම්වලට පවා බාධා එල්ල කරනවා.

පෘථිවියේ උතුරු හා දකුණු ධ්‍රැවවල පවත්නා චුම්භක ක්ෂේත්‍රයන් මඟින් මෙම සූර්යය සුළං වැඩි කොටසක් පෘථිවි වායුගෝලයට ඇතුළුවෙන්නට නොදී තල්ලු කර හරිනවා.

නමුත් ඉතා සුළු සූර්යය සුළං ප්‍රමාණයක් පෘථිවි වායුගෝලයට ඇතුල් වෙනවා.ඒ ඇතුල් වෙන සූර්යය සුළං  උතුරු,දකුණු චුම්භක ධ්‍රැව දෙසට ඇදී ඒමේ ප්‍රතිඵලයක් ලෙසයි අවුරෝරා ඇතිවන්නේ.


සූර්‍යය සුළංවල ඇති ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,ඇල්ෆා අංශූන් වායුගෝලයේ ඇති ඔක්සිජන් හා නයිට්‍රජන් වැනි වායූන් සමඟ ගැටීම නිසා ඇතිවන ප්‍රතික්‍රියාවේ අතුරුඵලයක් වශයෙන් ප්‍රෝටෝන ලෙස එනම් ආලෝකය ලෙස පිටවීමයි අවුරෝරා ලෙස දක්නට ලැබෙන්නේ.

එසේ ම සූර්‍යය සුළං ගැටෙන වායු වර්ගය අනුවත් අවුරෝරාවල වර්ණය වෙනස් වෙනවා,වායුගෝලයේ ඇති ඔක්සිජන් සමඟ ගැටුණු විට ළා කොළ-කහ වැනි පැහැයන්ගෙනුත්, ඕසෝන් හා ගැටුණු විට රතු පැහැයට ආසන්න පැහැයන්ගෙනුත්,නයිට්‍රජන් අණු හා ගැටුණු විට දම්-නිල් මිශ්‍ර පැහැයෙනුත් දක්නට ලැබෙනවා.


Article Writer - G Mangala thero

මේ ගැන තවදුරටත් පැහැදිලිව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

 

Saturday, August 8, 2020

කළු කුහර ගැන දැනගනිමු...






කළු කුහර එහෙමත් නැතිනම් Black Hole කියන්නේ මෑත ඉතිහාසයේ අභ්‍යාවකාශ විද්‍යාව තුළ බොහෝ සෙයින් කතාබහට ලක්වෙන මාතෘකාවක්.ඇත්තටම මොකක්ද මේ කළු කුහරයක් කියන්නේ ?
සරලවම කීවොත් කළු කුහරයක් කියන්නේ මේ විශ්වය තුළ පවතින කිසිම පදාර්ථයකටවත් අවම තරමින් දැනට විශ්වයේ පවතින වේගවත්ම දේ වෙච්ච ආලෝකයටවත් මිදී යාමට නොහැකි අධි ගුරුත්වාකර්ශනයක් සහිත විශ්වය තුළ පවතින ස්කන්ධය වැඩිම වස්තූන්වලට.

කළු කුහර වර්ග දෙකක් තියෙන බව මෙ වෙද්දි හොයාගෙන තියෙනවා.


1.Stellar mass black holes (තාරකා ප්‍රමාණයේ කළු කුහර)

අපේ සූර්යයාට වඩා කීප ගුණයකින් වැඩි තරුවලින්( බොහෝවිට සූර්යයාට වඩා 10 ගුණයක පමණ ස්කන්ධයකින් වැඩි) තමයි තාරකා ප්‍රමාණයේ කළු කුහරයක් බිහි වෙන්නේ.මේ කළු කුහරයක් බිහිවීමට මුලින් තාරකාවක් ලෙස අවුරුදු මිලියන හෝ බිලියන ගණනක් ගත කරනවා.තරුවක් කියන්නේ හයිඩ්‍රිජන් පරමාණු මුල් කරගෙන නිර්මාණය වෙච්ච ග්‍රහ වස්තුවක්.තරුවක් ශක්තිය නිපදවන්නේ මේ හයිඩ්‍රිජන් පරමාණු න්‍යශ්ටික වියලන (nuclear fussion) ක්‍රියාවලිය මඟින් හීලියම් බවට පරිවර්ථනය කිරීමෙන්.මේ අවස්ථාවේදී ඇතිවන විකිරණ බලය තාරකාවේ ගුරුත්ව බලයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා, මෙහෙම ක්‍රියා කරන හින්දා තරුවේ හරය  (core) එක හා පිටත කොටස හා ස්ථායීව පවතිනවා.


මේ විදිහට කාලයක් ගතවෙද්දි තාරකාවේ core එකේ පවතින අධික පීඩනය සහ තාපය නිසා යඩක වැනි බර මූලද්‍රව්‍යයයන් නිපදවෙනවා.මේ විදිහට හයිඩ්‍රිජන් පරමාණු ක්ෂය වෙමින් බර ලෝහ නිපදවීම නිසා තාරකාව මගින් නිපදවන විකිරණ ශක්තිය ටිකෙන් ටික අඩුවෙන්ට පටන් ගන්නවා, අවසානයට තාරකාවේ ගුරුත්වය සහ විකිරණ මඟින් ඇති කරන පීඩනය සමපාත නොවී අස්ථායී භාවයට පත්වීම හින්දා එකවිටම තාරකාවේ පිටත පිහිටි ස්ථරයන් තාරකාව තුළට කඩාවැටෙනවා.මෙහෙම කඩාවැටුණාම විශාල ශක්තියක් හා මූලද්‍රව්‍යයන් විශ්වයට නිදහස් කරමින් සුපර්නෝවා පිපිරීමක් ඇතිවෙනවා.සුපර්නෝවා පිපිරීම අවසානයේ තාරකාවේ මධ්‍යයේ පිහිටි core එක නියුට්‍රෝන තරුවක් හෝ ප්‍රමාණවත් තරම් ස්කන්ධයක් ඇතිනම් කළු කුහරයක් බවට පත් වෙනවා.
මෙම කළු කුහරය බිහිවීමට මුල් වූ තාරකාව කිලෝමීටර මිලියන හෝ බිලියන ගණනක විශ්කම්භයක් සහිත වූවත් කළු කුහරයක් බවට පත්වුණාට පස්සේ ස්කන්ධය හැකිලීම නිසා ඉතා කුඩා තත්වයකට පත්වෙන්ට පුළුවන්.උදාහරණෙකට අපේ පෘථිවිය කළු කුහරයක් වීමටනම් එහි සම්පූර්ණ ස්කන්ධය අපි පාවිච්චි කරන කාසියක් තරම් කුඩා වෙන ගාණටම හැකිළෙන්ට ඕනෑ.






2.Super massive black holes (සුපිරි දැවැන්ත කළු කුහර)


මෙම කළු කුහර බොහෝ විට දක්නට ලැබෙන්නේ මන්දාකිණියක(Galaxy) මධ්‍යයේ වන අතර අපගේ සෞරග්‍රහ මණ්ඩලය අයිති වෙන ක්ෂීර පථ මන්දාකිණිය(Milky Way Galaxy) මධ්‍යයේ පිහිටලා තියෙන කළු කුහරය හදුන්වන්නේ Sagittarius A කියලා.අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටලා තියෙන්නේ ඒ කළු කුහරයේ ඉදලා ආලෝක වර්ෂ(ආලෝකය වර්ෂයක් තුළ ගමන් කරන දුර=296000x60x60x24x365) 26000ක් විතර දුරින්.
මේ කළු කුහරයේ ප්‍රමාණය අපේ සූර්‍යයාගේ ස්කන්ධය වගේ ස්කන්ධ මිලියන 4ක්(සූර්‍ය ස්කන්ධ මිලියන 4ක්) විතර වෙනවා.
ඒත් මීටත් වඩා විශාල සුපිරි දැවැන්ත කළු කුහර මේ විශ්වයේ තියෙනවා.මෑතකදී ඡායාරූප ගත කළ M87 කියන කළු කුහරය අපේ සූර්යයාගේ ස්කන්ධය වගේ ස්කන්ධ බිලියන 6.5ක් විතර වෙනවා.
නමුත් තාරකා ප්‍රමාණයේ කළු කුහර හැදෙන හැටි ගැන විද්‍යාඥයන්ට පැහැදිලි කරන්ට පුළුවන් වුණත් මේ අති විශාල කළු කුහර හැදෙන හැටි ගැනනම් තාම පිළිගත් මතවාදයක් නෑ.
මතවාද කිහිපයක් මේ වෙද්දි ඉදිරිපත් වෙලා තිබුණත් ඒවාත් විවාදාපන්නයි.

1.කුඩා කළු කුහර බොහෝ ප්‍රමාණයක් එකතු වී දැවැන්ත කළු කුහරයක් නිර්මාණය වීම.
2.විශාල ප්‍රමාණයේ වායු වලාවක් ගුරුත්වාකර්ශණය නිසා සංකෝචනය වීමෙන්.
3.අඳුරු පදාර්ථ මගින් ඇති වූ තාරකා(dark stars) එකට එකතු වී නිර්මාණය වීම.(අඳුරු තාරකා යනු තවමත් සොයාගෙන නොමැති උපකල්පනයකට සීමා වූවක් පමණි.)
4.කුඩාවට බිහි වූ කළු කුහරයක් අවට ඇති වායු වලා,තාරකා,ආකාශ වස්තු ගිල දමා විශාල වීම.

මේවාගෙන් පළවෙනි කරුණ සිදුවෙන්ට තියෙන ඉඩකඩ බොහොම අඩුයි.මොකද විශ්වය බිහිවෙලාත් දැනට අවුරුදු බිලියන 13.5ක් විතර තමයි වෙන්නේ.ඒ හින්දා කළු කුහර බිහි වෙලා පසුව තවත් කළු කුහර සමඟ එක් වීමට එම කාලය මදි කියලායි උපකල්පනය කරලා තියෙන්නේ.


* කළු කුහර නිරීක්ෂණය කිරීම.



කළු කුහර වෙනත් ආකාශ වස්තූන් වගේ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නෑ, මොකද කළු කුහර කියන්නේ ආලෝකය පවා ඇද ගන්නා අධි ගුරුත්වාකර්ශණයකින් යුක්ත අභ්‍යාවකාශ වස්තුවක් නිසා එයින් ආලෝකයක් පිට කරන්නේ නෑ.එහි වටා තියෙන Accretion Disk එක මගින් දෘෂ්‍ය ආලෝකය නිකුත් කළත් එය නිරීක්ෂණයට අභ්‍යාවකාශයේ තිබෙන දූවිලි අංශු වැනි දේවල්වලින් බාධා එල්ල වෙනවා.ඒ නිසා කළු කුහර නිරීක්ෂණය සඳහා විද්‍යාඥයන් යොදාගන්නේ රේඩියෝ දුරේක්ෂ (Radio Telescope) කියන දුරේක්ෂ වර්ගය.

රේඩියෝ දුරේක්ෂ




මේ රේඩියෝ දුරේක්ෂවලින් සාමාන්‍ය දුරේක්ෂවලින් වගේ දෘශ්‍ය ආලෝකය හරහා කරන නිරීක්ෂණය කිරීම් නෙවෙයි සිදු කරන්නේ.මේ කළු කුහරවල ප්‍රධාන වශයෙන් Singularity,Event Horizon,Innermost Stable Orbit,Accretion Disk කියලා කොටස් තුනක් තියෙනවා.මෙයින් singularity කියන කොටස තමා අධි ඝනත්වයකින් යුතු කළු කුහරයට අයත් වෙන්නේ.Event horizon එහෙමත් නැතිනම් සිදුවීම් ක්ෂිතිජය කියන කොටස කළු කුහරයේ අධික ගුරුත්වාකර්ෂණය බල පවත්වන කොටස,මේ කොටසෙන් ඇතුළට ගමන් කරන කිසිම දෙයකට නැවත ගැලවී යාමේ හැකියාවක් නෑ.ඒ වගේම යම්කිසි ස්කන්ධයක් තියෙන වස්තුවකට කළු කුහරයක් වටා කක්ෂගතවීමට හැකි අවසාන සීමාව තමා Innermost Stable Orbit කියන්නේ.මෙ දක්වා ඕනෑ ම ස්කන්ධයක් සහිත වස්තුවකට කළු කුහරය තුළට ඇදී නොයා කක්ෂගත වීමේ හැකියාව තියෙනවා.  ඊ‍ළඟට තියෙන Accretion Disk එක කියන්නේ කළු කුහරය වටා එහි ගුරුත්වාකර්ශනය නිසා අධික වේගයෙන් ගමන් කරන දූවිලි හා වායු වලාවක්.


මේ විදිහට ගමන් කරන දූවිලි වළාව වේගයෙන් ගමන් කරන හින්දා මෙයින් රේඩියෝ තරංග(Radio Waves),X-කිරණ(X-Rays),ආලෝකය පිටවෙනවා.නමුත් එයින් නිකුත් වෙන ආලෝකයට විශ්වයේ තියෙන වායු වළා,දූවිළි අංශු වගේ දේවල්වලින් බාධා ඇතිවෙන්ට පුළුවන්.ඒ නිසා ඒ ක්‍රමය එතරම් සාර්ථක නැති හින්දා තමයි ඉහතින් පෙන්නලා තියෙන රේඩියෝ තරංග මේ කළු කුහර නිරීක්ෂ‍ණය කිරීමට යොදාගත්තේ.
මේ රේඩියෝ දුරේක්ෂවල තියෙන්නේ විශාල පැරාබොලික් තැටියක්(parabolic dish) එකක්.මේකට ග්‍රහණය කරගන්න රේඩියෝ තරංග දත්ත  සුපිරි පරිගණක භාවිතා කරලා විශ්ලේශණය කරලා තමයි පියවි ඇසට පෙනෙන ඡායාරූපයක් බවට කළු කුහරයේ ඡායාරූපය පත් කරේ, ඒ වගේ ම ලෝකයේ ස්ථාන කීපයක තිබුණ රේඩියෝ දුරේක්ෂ 8ක් සම්බන්ධ කරලා නිර්මාණය කරගත්ත Virtual Telescope එකක් මගින් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ.මේ විදිහට සකස් කරගත්ත Virtual Radio Telescope එක Event Horizon Telescope(EHT) නමින් හඳුන්වනවා.

event horizon telescope එක නිර්මාණය කිරීම සඳහා යොදාගත් Radio telescopeවල පිහිටීම


මේ විදිහට ඡායාරූප ගත කළේ මුලින් සඳහන් කළ අපිට ආලෝක වර්ෂ මිලියන 53ක් දුරින් පිහිටලා තියෙන M87 කියන super massive වර්ගයේ කළු කුහරය.


EMH මඟින් ලබාගත් M87 කළු කුහරයේ ඡායාරූපය


* කළු කුහරයක අවසානය
විශ්වයේ තියෙන අනෙක් හැම දේකටම වගේම කළු කුහරයටත් අවසානයක් තියෙනවා.නමුත් කළු කුහරයක අවසානය සිදු වෙන්ට ගතවන කාළයනම් ගණන් කළ නොහැකි තරම් කාලයක්,සමහරවිට ඒ අවුරුදු ට්‍රිලියන ට්‍රිලියන ගණනක් වෙන්නට පුළුවන්.විශ්වය තුළ සෑම තැනකම ඇතිවන Virtual Particles තමා කළු කුහරයක ආයුෂ නිමා වීමට හේතු වෙන්නේ.මේ Virtual Particleවල එකක් ධන (+) ස්කන්ධයකිනුත් අනික සෘණ (-) ස්කන්ධයකිනුත් යුක්ත වෙනවා.මේ වගේ Virtual particle කළු කුහරයක Event Horizon එක ආසන්නයේ නිර්මාණය වුණොත් සමහරවිට එහි ධන ස්කන්ධයට කළු කුහරයේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී යාමටත් සෘණ ස්කන්ධයක් සහිත Virtual particle කළු කුහරය තුළට ඇදී යාමටත් පවතින හැකියාව වැඩියි.මේ ආකාරයට කළු කුහරය තුළට ඇදී යන සෘණ ස්කන්ධයක් සහිත Virtual Particles නිසා කළු කුහරයේ ස්කන්ධය ටිකෙන් ටික අඩුවෙන්නට පටන් ගන්නවා.ඒ වගේ ම කළු කුහරයේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී යන ධන Virtual Particle විකිරණ ලෙස පිට වෙනවා.ඒවා හදුන්වන්නේ Hawking Radiation(මෙය සොයාගන්නා ලද්දේ Stephen Hawking නම් විද්‍යාඥයා විසිනි.) නමින්.මේ විදිහට කළු කුහරයක ස්කන්ධය අඩුවෙන්ට අඩුවෙන්ට මේ ක්‍රියාවලිය වේගවත් වෙනවා.මෙහෙම ස්කන්ධය අඩුවේගෙන ගිහින් අවසානයේ දී අධික පිපුරුමක් ඇතිවෙලා කළු කුහරයේ සියළු ශක්තිය විශ්වයට මුදා හැරීමෙන් කළු කුහරයේ අවසානය සිදු වෙනවා.


(සියළු ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Article Writer - G Mangala Thero


Friday, June 26, 2020

මොනවාද මේ Gravitational Waves ?



Gravitational Waves එහෙමත් නැතිනම් ගුරුත්ව තරංග කියන්නේ මෑතක් වෙනකන් ම සංකල්පයක් විදිහට විද්‍යාව තුළ පිළිගත්ත දෙයක්,
නමුත් පළවෙනි වතාවට 2015 සැප්තැම්බර් 14 වෙනිදා මේ ගැන පර්යේශණ කරපු විද්‍යාඥයන්ට මේ ගුරුත්ව තරංගයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබුණා.

ගුරුත්වාකර්ශනය ගැන අයිසැක් නිව්ටන් කියපු දේ නෙවෙයි ඇල්බට් අයින්ස්ටයින් කීවේ.
අයිසෙක් නිව්ටන්ගේ නියමයට අනුව නිවුටන්  කිව්වේ ගුරුත්ව බලය ඇතිවෙන්නේ වස්තුන් දෙකක් අතර ස්කන්ධයේ ගුණිතයෙන් හා ඒවායේ ස්කන්ධ  කේන්ද්‍ර අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම වන  ලෙසට කියලා.

නමුත් ඇල්බට් අයින්ස්ටයින් ගුරුත්වාකර්ශනය කියලා අර්ථ දැක්වූවේ යම්කිසි පදාර්ථයක් නිසා කාල අවකාශය තුළ ඇතිවන වක්‍රතාවය නිසා ඊට වඩා ස්කන්ධයෙන් අඩු වස්තූන් වැඩි ස්කන්ධයකින් යුක්ත වස්තුව දෙසට ඇදී ඒමක් ලෙසට.
පහත තියෙන ග්‍රැෆික් නිර්මාණයෙන් පෙන්වලා තියෙන්නේ සූර්යයා නිසා කාල අවකාශය තුළ ඇතිවන වක්‍රතාවය නිසා පෘථිවිය සූර්යයා වටා කක්ශගත වී ඇති ආකාරය,
මෙහි දැලක් ආකාරයට සංකේතාත්මක ව දක්වලා තියෙන්නේ කාල අවකාශය.




ඉතින් මේක බැලුවාම කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙන්ට පුලුවන් කාල අවකාශයේ වක්‍රතාවය නිසා පෘථිවිය කක්ශගත වෙලා නොතිබී, සූර්යයා දෙසට ඇදිලා ගිහින් සූර්යයාගේ ගැටෙන්නේ නැතිවෙන්ට හේතුව මොකක්ද කියලා.
ඒකට හේතුව තමා පෘථිවියට මේ කාල අවකාශය කියන දෙයින් කිසිම බලපෑම් කළ හැකි තරමේ ඝර්ෂණයක් ඇති නොවීම.පහත ඡායාරූපයේ තියෙන විදිහට අපි කිසියම් ඇදෙන සුළු රෙද්දක් වැනි දෙයක් හොදින් ඇදලා අල්ලාගෙන ඒක මැදට යම් කිසි බර දෙයක් දැම්මොත් එතන වක්‍ර වෙන ආකාරය බලාගන්න පුලුවන්, ඊලඟට ඊට වඩා බරින් අඩු දෙයක්(අධික ඝර්ෂණයක් ඇති නොවීම සදහා බොහෝ විට ගෝලාකාර දෙයක්) ඒ දෙසට විසි කළොත් එය කිහිප විටක් කැරකී ගොස් අවසානයට විශාල වස්තුව හා ගැටීමක් සිදු වෙනවා.(පහත ඡායාරූපය බලන්න) 



එසේ වීමට හේතුව එයට යොදාගත් ඇදෙන සුළු දෙයින් ඇති කරන ඝර්ෂණය.
නමුත් කාල අවකාශය මඟින් එසේ ඝර්ෂණයක් ඇති නොකරන නිසා සූර්යයා වටා ග්‍රහලෝක,ග්‍රාහක කොටස් හා ග්‍රහලෝක වටා උප ග්‍රහයින් එක දිගටම කක්ෂගත වෙලා පවතිනවා.
ඉතින් මේ විදිහට තියෙන මේ ගුරුත්ව තරංග මෑතක් වෙනකම් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ලැබුණේ නෑ.
මුලින් කීවා වගේ පළමු වරට ගුරුත්ව තරංගයක් නිරීක්ෂ‍ණය කළේ 2015 සැප්තැම්බර් 14 වෙනිදා, ඒ වගේ ම මේ ගුරුත්ව තරංග කියන ඒවා විශ්වයේ ඈත කෙලවරකිනුයි ඇවිත් තියෙන්නේ, ඉතින් ඒවා පෘථිවියට ළඟා වෙද්දි බොහොම දුර්වල මට්ටමක, තව විදිහකට කීවොත් සාමාන්‍යයෙන් තරංග නිරීක්ෂණය කිරීමට යොදාගන්නා උපකරණවලින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නෑ.
2015 දී නිරීක්ෂණය කරපු ගුරුත්ව තරංගය ඇතිවීමට හේතුව වෙලා තිබුණේ මීට වසර බිලියන 1.3කට කලින් විශ්වයේ ඈත කෙලවරක තිබුණු කළු කුහර දෙකක්(කළු කුහර ගැන මෙතනින් කියවන්න) එකට ගැටීම නිසායි. ඒ ඇතිවෙච්ච තරංග පෘථිවිය පසුකළේ 2015 සැප්තැම්බර් 14 වෙනිදායි.
පහත රූපයේ දැක්වෙන්නේ කළු කුහර දෙක ගැටීමට යන අවස්ථාවේ දී කාල අවකාශය තුළ ගුරුත්ව තරංග හටගන්නා ආකාරයයි.


කළු කුහර දෙකක් ගැටීමට පෙර කක්ශගත ව පවතින අවස්ථාවේ දී ගුරුත්ව තරංග හටගන්නා ආකාරය


ගුරුත්ව තරංග ඇතිවීමට හේතුවන අවස්ථා 3ක් නාසා ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙනවා.

1. සුපර්නෝවා තාරකා පිපිරීමක ප්‍රතිඵලයක් වශයෙන්
2.විශාල තරු දෙකක් එකිනෙකා වටා කක්ෂගත වන විට
3.කළු කුහර දෙකක් එකිනෙක වටා කක්ෂගත වී ඒකාබද්ධ වන විට


ගුරුත්ව තරංග නිරීක්ෂණය කරන්නේ කොහොමද ?

කලිනුත් කීවා වගේ මේ ගුරුත්ව තරංග කියන දේවල් සාමාන්‍ය උපකරණවලින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නෑ, ඒ නිසාම විද්‍යාඥයන් මේකට වෙන ම උපකරණයක් නිපදවූවා.ඒ සඳහාම නිර්මාණය කරපු උපකරණය තමා  LIGO (Laser Interferometer Gravitational-Wave Observatory) කියන්නේ.
ගුරුත්ව තරංගයක් කාල අවකාශය හරහා ගමන් කරද්දි කාල අවකාශය හැකිලීමකට ලක් වෙනවා.
මේ උපකරණය මඟින් කරන්නේ ඒ කාල අවකාශයේ ඇතිවන සුළු හැකිළීම් නිරීක්ෂ‍ණය කරන එක.
මේ උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ L අකුරේ හඩේට විහිදුණු එක් පාදයක් කිලෝමීටර් 4ක් පමණ දිග vaccume tube දෙකක් ඔස්සේ ඒ tube දෙකේ එක් පැත්තක සිට අනිත් පැත්ත දක්වා ලේසර් කිරණ එල්ල කිරීම මඟින් අනිත් කෙළවරේ සවිකරලා තියෙන දර්පනවල එම ලේසර් කිරණ වැදිලා නැවත පැමිණීමට ගතවන කාලය නිරීක්ෂණය කිරීමට detector දෙකක් සවිකරලා තියෙනවා,කිසිදු ගුරුත්ව තරංගයක් ගමන් නොකරන අවස්ථාවේ දී මේ ලේසර් කිරණ දර්පනය දක්වාත්, දර්පණයේ සිට ඩිටෙක්ටර් එක දක්වාත් ගමන් කිරීමට ගතවන කාලය සමානයි.යම් විටෙක ඒ කාලයන් අසමාන වුණොත් ඒ අවස්ථාවේ දී විද්‍යාඥයන්ට නිගමනයකට පැමිණීමට පුළුවන් ඒ අවස්ථාවේ දී ගුරුත්ව තරංගයක් මේ හරහා ගමන් කරලා තියෙනවා කියලා.
ඇමරිකාව තුළ මේවා දෙකක් ඉදිකරලා තියෙනවා. 
එකක් Livingston, Louisianaවල වනාන්තරයක් මැදත් - අනික Hanford, Washingtonවල කාන්තාරයක් මැදත් පිහිටා තියෙනවා.

ගුරුත්ව තරංග අනාවරකයන්ගේ ක්‍රියාකාරීත්වය

ගුරුත්ව තරංග අනාවරකයන් දෙකෙහි පිහිටීම


මේ විදිහට නිර්මාණය කරලා තියෙන මේ උපකරණ දෙකට මුලින් ම ගුරුත්ව තරංගයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණේ මුලින් සදහන් කරා වගේ 2015 සැප්තැම්බර් 14 වෙනිදා.මේ විදිහට ගුරුත්ව තරංග පදාර්ථයක් හරහා ගමන් කරද්දි එම පදාර්ථයන් හැකිලී දිග හැරීමකට ලක් වෙනවා.ඒ කියන්නේ එම තරංග පෘථිවිය හරහා ගමන් කරන අවස්ථාවේ දී පෘථිවිය, පෘථිවියේ සිටින ජීවීන්ගේ දේහ පවා හැකිලී දිග හැරීමකට ලක් වුණා,
නමුත් මුලින් සදහන් කළා වගේ ඒක පියවි ඇසින්වත්-සාමාන්‍ය  මිනුම් උපකරණවලින්වත් නිරීක්ෂණය කළ නොහැකි තරමේ ඉතා සියුම් වෙනස්වීමක්.
එම තරංග පෘථිවිය හා සූර්යයා අතර ඇතිකරපු වෙනස්කමත් පරමාණුවක විශ්කම්භයටත් වඩා අඩුයි,පෘථිවිය හා සූර්යයා අතර දුර 149,600,000 KM(කිලෝමීටර් දාහතරකෝටි අනූහය ලක්ෂයක්) විතර වෙනවා,කාබන් පරමාණුවක විශ්කම්භය වෙන්නේ මීටරයෙන් බිලියන දහයෙන් පංගුවක් වගේ ප්‍රමාණයක්.
ඒ විදිහට බලද්දි ඒ වෙනස්කම ගණන් නොගත හැකි තරමේ වෙනසක්.නමුත් ලෝකයේ තියෙන නිවැරදි ම අඩිකෝදුව වෙච්ච LIGO උපකරණයන්ට මේ වෙනස වුණත් මැනගැනීමේ හැකියාව තියෙනවා.ඒ නිසා 2015 දී මෙම උපකරණ හරහා ගමන් කළ ගුරුත්ව තරංගයන් ග්‍රහණය කරගැනීමට හැකිවුණේ.
මින් පසුවත් මෙම උපකරණවලට ගුරුත්ව තරංගයන් කිහිපයක් ම ග්‍රහණය කරගැනීමේ හැකියාව ලැබුණු බව සඳහන් වෙනවා.ඒ සියල්ල ligo ව්‍යාපෘතියට අදාල වෙබ් අඩවියේ දක්වා තියෙනවා.ඒ ගැන වැඩි විස්තර අවශ්‍යයනම්  මෙතැනින් >>> GW detections (Click here) ගිහින් කියවීමේ හැකියාව තියෙනවා.


Article Writer - G Mangala thero


Wednesday, June 24, 2020

පැරදුනත් වීර්යයෙන් දියුණුව කරා යමු





"භය වෙන්න එපා.සෑම පැරදුමකින්ම ඔබ පාඩමක් ඉගෙන ගනීවි.මම විභාගය තෙවරක්ම ලිවූ නමුත් ඒ තෙවරම අසාර්ථක විය.එපමණක් ද නොව දස වතාවක් හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට ගියද ඒ දස වතාවම මා ප්‍රතික්ශේප විය." 

මේ ලෙස පවසන්නේ අන් කිසිවෙක් නොව අලිබබා සමූහයේ නිර්මාතෘවරයා වන ජැක් මා විසිනි.ඔහු වර්තමානය වන විට ධනපතියන්ගේ ප්‍රමුඛ පෙළ හොබවන පුද්ගලයෙක් වී අවසානය.ඔහුගේ ජීවිත කතාව ගත් විට මේ සමාගම ආරම්භ කිරීම ගැන අදහස සමාජ ගත කල විට ඔහුට සියලුමදෙනා පවසා ඇත්තේ මෙසේය. 

"ඔබ මොනවද ඉන්ටර්නෙට් ගැන දන්නේ ? ඔබ පරිගනකය කියන්නේ මොකක්ද කියලවත් දන්නවද ?"

ආදී ලෙසිනි.එලෙස බොහෝ දෙනාගේ ඍණාත්මක අදහස් සහ ඔහුගේ සියලු පරාජයන් අත් වැලක් කරගනිමින් ඔහු අද මේ තත්ත්වයට පැමිණ ඇති අයුරු විශ්මයජනකය.මේ සංවිධානය ආරම්භ කිරීමේදී ඔහු මූල්‍ය ආයතනයවලින් ණය ලබාගැනීමට ගියද ඒවායින් ද ප්‍රතික්ශේප විය.අවසානයේදී ආයෝජකයන් 18 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඔහු තම සංකල්පය වූ අලිබබා ව්‍යාපාරය සුලුවෙන් ආරම්භ කර වර්තමානයේ බිලියනපතියෙක් බවට පත් වී හමාරය.ඔහු හාවඩ් සරසවියට යෑමට උත්සාහ දැරූ විට  ඉන් ප්‍රතික්ශේප වුව ද ඔහු බිලියනපතියෙක් වූ පසුව ඔහුට එකී හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාදියක් පවා පිරිනමන ලදී.එය ඔහු පවසන්නේද හාස්‍යය ජනිත කරවමිනි.ඔහු පවසන ලෙස දියුනු වීම එක දවසින් කල නොහැකිය.ඊට කලක් ගත වෙන අතර එයට වීර්යය මෙන්ම විශ්වාසය තිබිය යුතුය.නිදසුනක් ගතහොත් රැකියාවක් කිරීමට අත් පොත් තබන විට මහා පරිමාණ රැකියාවක් තෝරා ගන්නවට වඩා සුලු රැකියාවකට යාම තුලින් ශිල්පීය  නුවණ බොහෝ ලෙස ආයතන ප්‍රධානියා ලබාදෙනු ඇත.එයින් ද ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබෙනු නොඅනුමානය.යමෙකු පරාජයන් නිසා මුලු ජීවිත කාලයම පසු තැවීමෙන් ගත කරනවනම් ඔහුට හෝ ඇයට කිසි දිනෙක දියුණුවක් ලද නොහැකිය .

එසේම KFC නම සදහන් කල පමණින් ඔබ ඒ ජාලය ගැන නොදන්නවා විය නොහැකිය.colonel sanders විසින් මේ ආයතනය ආරම්භ කිරීමට පළමුව ඔහු තම කෑම වට්ටෝරු රැගෙන අවන්හල් 1000කට පමණ ගිය ද ඒ සියල්ලන්ගෙන් ම ප්‍රතික්ශේප විය.නමුත් ඔහු ඒ පරාජයන් රුකුලක් කර ගනිමින් වර්තමානය වන විට ඔහුගේ ආයතන පද්ධතිය පුළුල් ලෙස දියුණු කර ව්‍යාප්ත කර ඇත.ඔහු පරාජය හමුවේ ඒ ගැනම සිතා පසුතැවිලි වී සිටියානම් ඔහුට මේ තත්ත්වයට කිසි දිනෙක පත් විය නොහැකිය.බලන්න මදක් ලොව ධනපතියන්ගේ ජීවිත කතා...
පසක් වේවි ඔබට ඒ සියලුම දෙනාට අදුරු අතීත උරුම බව.මේ ජීවිතයේදී සුන්දර මාවත් දිගේ සුන්දර පාරාදීසයන්ට යාමට සිතනවාට වඩා දුශ්කර මාවත් දිගේ සුන්දර පාරාදීසයන්ට යෑම ඉතා වටිනේය.එය ස්ථීර දියුණුවට ඇති සුදුසු ම මාර්ගය වේ.ශිෂ්‍යත්වය අසමත් වූවෝ අන් විභාග සමත් වන අතර ශිෂ්‍යත්වය සමත් වූවෝ අන් විභාග අසමත් වන අයුරු අත්දකින්නට ලැබී ඇත.මේ සියලු සංසිද්ධිවලට අපගේ සිත මූලික වේ.තමන්ගේ ගමන යන්නේ අන් අයගේ බලපෑමට නම් එයින් සාර්ථකකත්වයක් අත් කරගැනීම දුෂ්කර වේ.තමාගේ දියුණුව සලසා ගැනීමට තමා ම වගබලා ගත යුතුය . විශ්වවිද්‍යාලය ට ගිය පමනින් බුද්ධිමතුන් වී අනාගතය දියුනු කර ගැනීම එකවර කල නොහැකිය.සරසවි වරම් අහිමි වූ බොහෝ දෙනා ලෝකය වෙනස් කර ඇත.ඒ නිසා පරාජයන්ගෙන් සෑම විටම  පාඩමක් ඉගෙනගන්න ට උත්සාහ දැරිය යුතුය.හැකි සෑම විටම අන්‍යයන්ට ද උදව් උපකාර කල යුතු අතර තම දියුණු මෙන්ම අන්‍යයන්ගේ දියුණුව දෙස ද සතුටු සිතින් සොම්නස් වීමටද හැකි විය යුතුය .

බුදුරජාණන්වහන්සේ ද වදාලා ඇත්තේද වීර්යය ඇත්නම් කල නොහැක්කක් නැත යනුවෙනි.තම අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමට වීර්යය,විශ්වාසය සහ කැපවීම අනිවාර්යයෙන් තිබිය යුතුය. ධම්ම පදයේ ගාථාවක මෙසේ ඇත.

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්මජීවිනෝ
අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති

 උත්සාහවත්,සිහිනුවණ ඇති,පිරිසිදු ක්‍රියා ඇති,විමසාබලා කටයුතු කරන හික්මීමකින් යුතු ධාර්මිකව වෙසෙන පමානොවන අයගේ යසස වර්ධනය වේ යැයි  දක්වා ඇත.

එසේම, බුදුරජාණන්වහන්සේ ත්‍රිවිධ වීර්‍යෙන් ගැන වදාළ සේක.එනම්,

•ආරම්භක ධාතු 
•නික්ඛම ධාතු 
•පරක්කම ධාතු 
                              ලෙසිනි.

ඔබ තමන්ගේම කියලා ව්‍යාපාරයක්  ආරම්භ කිරීමට යනවානම් ඒ  ගැන යම් කිසි ආරම්භක සිතුවිල්ලක් පහල  වන අතර අධ්‍යාපනය ලබන කෙනෙක් නම් යම් කිසි විභාගයට මුහුණ දීමට සැරසෙනවානම් එය ජය ගැනීමට ඊට සුදුසු වැඩ පිලිවෙලක් අදාල අය ගේ සිත තුල ජනිත වේ.එකී මුල්ම සිතිවිල්ල හෙවත් වීර්‍යෙ ආරම්භක ධාතු ලෙස හැදින්වේ.
එලෙස පටන් ගනු ලැබූ සිතිවිල්ල නැතහොත් ඒ කාර්යය ඉදිරියට අතරමග නොනවත්වා නිසි ලෙස ඉදිරියට කරගෙන යෑමට ඇති කර ගන්න වීර්යය නික්ඛම ධාතු ලෙසින්ද හැදින්වේ .
එලෙසම තමන් වෙත පැමිණෙන සියලු කරදර බාධක මැඩ පවත්වා ගෙන අභිමතාර්ථ ඉටු කර ගැනීමට ඉදිරියට යෑම පරක්කම ධාතු ලෙස හැදින්වේ .

ඒ අනුව දියුණුව කරා යන ගමනේදී වීර්යය හා විශ්වාසය තිබිය යුතුම ගුණාංග වේ.
දියුණුව කරා යන ගමනේදී තමන් තමාවම විශ්වාස කල යුතු අතර අවට සිටින අය විවිධත්වයෙන් යුක්ත නිසා ඔව්න්ගේ අදහස් උදහස් ක්‍රියාත්මක කිරීමේදී තම බුද්ධිය මෙහෙයවා ක්‍රියා කල යුතුය.හැකි සෑම විටම ස්වෝත්සාහයෙන් නැගිටීමට හුරු විය යුතුය.ඔබ යනු ඔබ සමීපව ඇසුරු කරන අයගේ අදහස් හා ක්‍රියාකලාපවල  සංයෝජනයක් බවට ද පත්විය හැකි ය.ඒ නිසා තමාගේ අභිමතාර්ථ ඉටු කරීමේදී ඇසුරු කරන පුද්ගලයන් ගැනද සැලකිලිමත් විය යුතුය .

එසේම තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය නිපදවීමේදී 1014 වතාවක් අසාර්ථක වූ බැවින් සියල්ලෝම පවසා සිටියේ එය නිශ්ඵල උත්සාහයක් ලෙසිනි.නමුත් ඔහු උත්සාහය අත් නොහල අතර අවසානයේ විදුලි බල්බය සොයා ගන්නා ලදී.ඒ අනුව සෑම පරාජය වීමක් තුලම ඇත්තේ හරවත් වූ පාඩමකි.ඒ බව අවබෝධ කරගනිමින්  තමන්ගේ ඉලක්කය ගැන දැඩි විශ්වාසය කින් දියුනුව කරා යා යුතුය. 
දියුණු වීමට ජයග්‍රහණය ට ඇති හොදම මූලික සංකල්පය වන්නේ ප්‍රතික්ශේප වීම, පරාජය වීම නොවේද ? එහිදී සිතට නැගෙන සිතිවිලි නිසා ප්‍රබල අරමුණක් ඇති කර ගත්තොත් දියුණුව කරා යන ගමනේදී කිසිවෙකුට ඒ පුද්ගලයා නැවැත්වීමට නොහැකි ය.
යමෙක් ප්‍රතික්ශේප වීම් පරාජය වීම් වලට මුහුණ දී නැත්නම් සත්‍ය ලෙසම ඔහු වාසනාවන්තයෙකි.අපගේ ජීවන ගමනේ පරාජයන් හමුවේ ඇතැමුන් සතුටු වෙති.පරාජය වුණා කියා තමන්ට අපහාස කල ඒ පුද්ගලයන් ට දිය හැකි හොදම  පිලිතුර වන්නේ   තමන්ගේම  වීර්යයෙන් තම  දියුණුව කරා ගොස් ස්ථාවරත්වයට පත්වීම වේ.
පරාජයන් හිතට නොගෙන ජයග්‍රහණයන්ගෙන් උදම් නොවී  මැදි සිතින් සිටීම වඩාත් යහපත් වේ.මදක් සිතන්න.යමකින් පරාජය වූ විට ඒ ගැනම සිතමින් සිටියොත් කිසිදින දියුනුව අසලටවත්‍ යා ගත නොහැකිය.එසේම යමෙක් ජයග්‍රහණයේදී නැත්නම් දියුනුවේදී මාන්නයෙන් යුත් අදහස් වලින් සිටියොත්  ඒ දියුනුව නැවත අසාර්ථකත්වයකට පෙරලෙනු ඇත.නිදසුනක් ලෙස යම් පුද්ගලයෙක් ව්‍යාපාරයක් ආරම්භ කර මුල් මාස 6 තුල තමා ව්‍යාපාරය ට ආයෝජනය කල මුදලින් හරි අඩක් උපයා ගත් නිසා ඊට අධික සොම්නසින් ඒ ගැනම සිතා ඉදිරිය ගැන කිසිදු තීරණය ක් නොගෙන සිටියොත් වන්නේ ලැබූ මුදලද පසුව අහිමිව ගොස් ලද සුලු දියුණුව ද පිරිහීමට ලක්වීමයි.

එබැවින් පරාජයන් වලට හිත කඩාවැටීමට ඉඩ නොදී විශ්වාසය තුලින් ඇති කරගන්නා වීර්යයෙන් තමාගේ දියුණුව ඇතිකර ගත යුතුවේ.


Article Writer - Hashini Imalsha

Saturday, June 20, 2020

ජීවිතය යන මහා බර - කෙලෙසද සැහැල්ලු කර ගන්නේ



"බිදුණු කලට අමතක කළ නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කෙලෙසක සුරකිම් ද ආදරෙන්."

මෙම සුමිහිරි ගීතය ඇසෙන විට ඔබට හැගෙන්නේ කුමක්ද? එක්වරම බිදෙන වීදුරු වගේ ද්‍රව්‍යයන් පිළිබඳ සිතට හැගෙන්නේ ද? නැත්නම් මෙහි පවසා ඇති ගැඹුරු අර්ථය වටහා ගැනීමට හැකියාව ලැබේ ද? ප්‍රියානන්ද විජේසුන්දර මහතා ලියන ලද පුන්සිරි සොයිසා නම් ගායකයා විසින් ගායනා කරනු ලබන මෙම ගීතය ඉතා අපුර්ව වූ ගැඹුරු අර්ථයක් මිනිසාට වටහා දීමට උත්සාහයක යෙදී ඇති බව තේරුම් යාමට වැඩි වෙලාවක් ගත වන්නේ නැත.

කුමක්ද මේ ගීතයෙන්  වටහා දීමට ගන්නා උත්සාහය ? මෙහි දක්වා ඇති ගැඹුරු දහම අප බුද්ධියෙන් විමසා බැලිය යුතු ය.බුදු දහමට අනුව වාග් සුචරිතය,කාය සුචරිතය පිළිබඳ උගන්වනු ලබයි.ජීවිතයේ තිබෙන අනිත්‍ය,දුක්ඛ බව වගේම වෙනස් වන බව,බිදෙන සුළු බව  අපට තේරුම් යාමට මෙම ගීතය රචනා කර ඇති බව අර්ථය නිවැරදිව තේරුම් ගැනීමෙන් වටහා ගැනීමට හැකියි.ඉහත දැක්වූ අනිත්‍ය යනාදී කරුණු මොහොතින් මොහොත දකිමින් ඒ අනුව ක්‍රියා කරනවා නම් දුක වේදනා සහ සුඛ වේදනා අපට ඇති නොවේ.ගීතයේ සදහන් කරන ආකාරයට අපගේ මේ ජීවිතය බිඳෙන බඳුන් ලෙස සිතා ක්‍රියා කිරීමට අපට නොහැකි මන්ද?

ජීවිතයක් අවසන් වී තිබෙද්දී එය අපගේ සිතින් අමතක නොකර දුකෙහිම ගැලී සිටියහොත් ඒ වෙනසට අනුව හැඩ නොගැසුණහොත් කවදා හෝ විදීමට,විනාශ වීමට තිබෙන මෙම ජීවිතය අප කෙලෙස ගත කළ යුතුදැයි කියා අප තේරුම් ගෙන අවබෝධ කර ගත යුතුය.
ජීවිතය අපට කොයි මොහොතේ,කොයි දිනයක,කුමන අවස්ථාවක අත්හැර යෑමට සිදු වේ දැයි අපට කිව නොහැකි ය.මෙය විනාශ වීමට වයස් භේදයක් නැත.මහලු වියට ගොස් මරණයට පත් වේ යැයි අපට නිශ්චිතව කිව නොහැක.වර්තමානයේ බොහෝ තරුණ පිරිස්,ළමා වියේ පසුවන අය අකාලයේ මරණයට පත් වේ.ඒ නිසා අපට තේරුම් ගැනීමට ඇති එකම සත්‍යය නම් අපගේ ජීවිතය කුමන හෝ වෙලාවක අත්හැර  යෑමට තරම් අප හිත ශක්තිමත් කරගෙන සිටිය යුතු බව යි.
අප උපන්දා සිට ගෙවන ජීවිතයට අනන්‍යතාවයක් ගොඩනඟාගෙන ඒ ඔස්සේ ජීවිතය ජීවත් කරයි.ඒ වගේම අප විසින් තෝරාගත්  ජීවිතයන්,අපගේ සමීපතමයන්  කරගෙන ඒ අයට ආදරය කිරීමට පෙළඹේ.ඒවා නිසාම අපි හිංසා පීඩනයට ලක් වේ.ශෝක වෙයි. එතන අපට ඇති වන්නේ දුක් වේදනාව පමණි.ඒ වගේම කීර්තියට,ප්‍රශංසාවට ලක් වීම තුළින් අප සතුටු වෙයි.මෙය සුඛ  වේදනාව ලෙස හඳුන්වනු ලබයි.

මෙසේ ඇතිවන  සුඛ හා දුක්ඛ වේදනාවන් තුළින් අපගේ මානසික ස්වභාවය ද තීරණය කරයි.එනම් අප එකිනෙකාට ලබා ඇති අප්‍රමාණ අගයන් අනුවයි.අප සිතන දෙය ඔවුන් තුළින් අපට නොළැබුනහොත් අපගේ සිතෙහි ක්‍රෝධය,ඊර්ෂ්‍යාව ආදී   දුර්ගුණයන් වැඩීමක් සිදු වේ.
අප එසේ නම් කළ යුත්තේ අන් අයගේ ජීවිත වලට අගයන් නොදී සිටීමද ? නැත.අප තේරුම් ගත යුත්තේ ඉහත ගීතේ සදහන් ආකාරයට ජීවිතය කොයි මොහොතේ,කොයි ආකාරයට වෙනස් වුවත් අප එම වෙනස තේරුම් ගෙන ආදරය කළ යුත්තේ ජීවිතය යනු  බිඳෙන,නැතිවන දෙයක් යැයි දැනගෙන ය.අප අපගේ ජීවිත වලට වගේම අපගේ නොවන ජීවිත වලටත් මෙලෙස ආදරය,කරුණාව  දැක්විය යුතුය.බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රකට දහම් කරුණක් නම් 'සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා' යනුවෙනි.එනම් 'සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!' යනුවෙනි.
මෙහිදි බුද්ධියෙන් සෑම දෙයම තේරුම් ගැනීම තුළින් ලෝභ,ද්වේශ,මෝහ යනාදියයෙන් බොහෝ දුරට දුරු වූ මෛත්‍රී සම්පන්න සමාජයක් අපට බිහිවෙයි.එලෙස බිහිවන සමාජය අපගේ ජීවිත වලට කොයිම මොහොතක්වත් බරක් වන්නේ නැත.නිවන පවා ළගා කර ගැනීමට හැකි වන්නේ මෙවන් ජීවිත වලටයි.

ඔබ සිතන්න අප කන්දක් තරණය කිරීමේදී පුළුවන් තරම් බර ගෙන යාම අඩු කරයි.කුමක්ද යත් බර අඩු කරන තරමට අපට කන්දට නැගීම පහසු වනවා මෙන්ම සිතනවාටත් වඩා ඉක්මනින් අපගේ ඉලක්කය ජයග්‍රහණය කර ගැනීමට ද, එමගින් හැකියාව ලැබේ.ජීවිතයද එසේ ය.ජීවිතය ඉදිරියට ගෙනයාමට නම් ඉහත කී දුර්ගුණයන් හිතින් අයින් කර ගැනීම තුළින් විමුක්තියට ඉක්මනින් නිදහසේ ළගා වීමට හැකියාව ලැබෙයි.
අප කුඩා කාලයේ සිට විශාල මානසික පීඩනයකින්  ජීවිතය ගෙනයාමට උත්සාහ කරයි.මෙය අපගේ ජීවිත බරට බොහෝ ලෙස බලපායි.අපගේ සිත තුළ වෛරක්කාරයෙක් , තරහා කාරයෙක් සිටී නම් ඒවා ජීවිතය තිබෙන තුරාවට ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීම අපේ ජීවිතය අපිම විනාශ කර ගැනීමක් වැනිය.
ඒ වගේම තමා මිතුරන් වැඩි වීම නිසාද අපගේ  ජීවිතයට බරක් ඇතිවෙන බව ධර්මයට අනුව පවසයි.එනම් සතුරන් කෙරෙහි තරහව ඇති වනවා මෙන්ම මිතුරුකම ඇලීම නිසා හිතේ ලෝභය ද ඇති වේ.පවු කරන පුද්ගලයා වගේම පින් කරන පුද්ගලයා ද  සිතේ බරක් උසුලාගෙන ජීවත් වෙයි.එනම් පින් කරන පුද්ගලයා තමන් බරක් උසුලාගෙන සිටින බව ඔහු/ඇයවත් නොදන්නා බවයි සදහන් කරන්නේ.සුත්ත නිපාතයේ සුද්ධට්ඨක සූත්‍රයේ සඳහන් පරිදි "පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො"  සංකල්පයට අනුව පිනෙහි හා පවෙහි නොඇලුනු,නොගැටුණු සිත් ඇති ව නිදහස්ව කළ යුතු දෙය කරමින් සිටීම ජීවත් වීම බව පෙන්වා දෙනු ලබයි.මෙයින් පින් නොකළ යුතුයැයි නොකියවෙන අතර, පිනෙහි ඇලීමෙන් වැළකී කටයුතු කිරීමට අනුබල දෙයි.
මෙලෙස බරක් නැති ජීවිතය පිළිබඳ අපට තේරුම් ගැනීමට හැකි වන්නේ 'දැන් මම ලෑස්තියි මැරෙන්න කියා' කලබල නොවී එම සත්‍යය තේරුම් ගැනීමට හැකි පුද්ගලයෙකුට පමණයි.මරණයට අපට ලෑස්ති වී සිටීමට නොහැකියි.එයද බරකි.අපගේ සිතට අනුව රෑට නින්දට යන විට කොයි දවසක හෝ නින්ද ගියාම නැගිට්ටේ නැතුවාට කමක් නෑ  කියා නිදාගැනීමට අප අපගේ ජීවිතය සැහැල්ලු කරගෙන නම් එතනයි අප හරියාකාරව ජීවිත බර  ඉවත් කරගෙන සිටින්නේ.
මේ ආකාරයට ඉහත සත්‍යය තේරුම් ගෙන ඒ ඔස්සේ ජීවිතය බරින් තොරව ඉදිරියට ගෙන යාමට හැකි නම් ජීවිතය නිදහස්,සැපවත් වී ඇති බව අපට තේරුම් යයි.
ධර්මයට අනුව අප හැම වෙලාවෙම  ක්‍රියා කරමු.එවිට ජීවිතය පහසුවෙන් ඉලක්ක කරා ළගා කර ගැනීමට හැකියාව ලැබෙනවා සත්‍යයයි.

Article Writer - Thakshila Srimali

Monday, June 15, 2020

අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිවැරදි මාවතකට ගන්නේ කෙසේද ?





"වඳුරාට දැලි පිහිය අහු වුනා වගේ" මේ කියමන සැවොම අසා නැතුවාට සැක නැත.පුංචි කාලයේ සිට අප මේ ආප්තෝපදේශය අසා තිබේ.මෙයින් පවසන ආකාරයට  වඳුරාට දැලි පිහිය හසු වූ විට එය භාවිතා කිරීම පිළිබඳ අවබෝධයක් නැති බැවින් ඌගේ සාමාන්‍ය චර්‍යාවන්ට එය යොදාගෙන තමාට ම හානිදායක දේ සිදුකර ගනියි.ඒ වගේම  මිනිසුන් වන අප වර්තමානයේ නව තාක්ෂණයට අයත් අන්තර්ජාලය නිවැරදිව භාවිත නොකළහොත් සිදුවන්නේ ද වදුරාට සිදු වු දේමය.

මුලින්ම අපි අන්තර්ජාලය ගැන යම් කිසි අදහසක් අපගේ ඔලුවට ගැනීම වඩා හිතකර වන්නේ එයින් අන්තර්ජාලය අප කුමටද භාවිත කරන්නේ සහ නිවැරදිව තේරුම් ගෙන අවශ්‍ය දේට පමණක් මෙය යොමු කිරීමට හැකියාව ලැබෙන නිසාය.ලෝකය පුරා පැතිරුණු ,ඕනෑම අයෙකුට පිවිසිය හැකි,එකිනෙක හා සම්බන්ධ වූ,පරිගණක ජාලයන් ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යනුවෙන් හැදින්වීමට හැකි ය.එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටොකෝලය (internet protocol-IP) භාවිතයෙන් පැකැට්ටු ලෙස සම්ප්‍රෙෂණය වේ.මෙයට කෝටි ගණනක් වූ කුඩා ගෘහාශ්‍රිත,ව්‍යාපාරික  හා රාජ්‍ය ජාලයන් ඇතුළත් වන අතර විද්‍යුත් තැපෑල,මාර්ග ගත සංවාද,ලිපිගොනු  සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදි වූ තොරතුරු හා සේවාවන් ද අයත්වේ.

මෙලෙසින් එක් වු අන්තර්ජාලය තුළින්  අලුත් දැනුමක් ලබා ගැනීමට,නොදන්නා දෙයක් පිළිබඳ කරුණු වැඩිදුර අධ්‍යයනය කිරීමට,තොරතුරු එකිනෙකා අතර හුවමාරු කරගැනීමට,අලුත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට  සහ විනෝදය,ආස්වාදය උදෙසා ද අප අන්තර්ජාලය පරිහරණය කිරීමට වර්තමානය වන විට පෙළඹී ඇත.
මීට වසර කිහිපයකට පෙර අපට දැනුම ලබා ගැනීම සඳහා තිබුණේ ඉතා සීමිත මාර්ග ප්‍රමාණයකි.අද වනවිට ඒ මාර්ග පුළුල් වී ලෝකයේ එක් තැනක ඇති දැනුම වඩාත් වේගවත්  ලෙස කෙටි කාලයක් තුළ ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත.
අප බොහෝ දුරට අන්තර්ජාලය තුළින් භාවිත කරන්නේ සමාජ ජාලකරණ වෙබ් අඩවි වේ.එනම් විශේෂයෙන් ෆේස්බුක්(facebook),යූටියුබ්(youtube),ට්විටර් (twitter),ඉන්ස්ටාග්‍රෑම් (instagram) ආදී මාධ්‍යයයන් ය.මෙම වෙබ් අඩවි වලින් පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්,තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත්,අන් අය හා සම්බන්ධ වීමටත්,තමා රුචිකරන චිත්‍රපට-වීඩි‍යෝ දර්ශන ආදිය නැරඹීමටත් හැකියාව ලබා දේ.

මෙලෙස භාවිතා කරන අන්තර්ජාලය මානසික සෞඛ්‍ය පැත්තෙන් ගතහොත් ඉතා වැදගත් දෙයක් වනුයේ පුද්ගල සබඳතා පැවැත්වීමට හැකිවීම තුළිනි.යම් පුද්ගලයෙක් තනි ව ජීවත් වනවාට වඩා සබඳතා ඇතිව ජීවත් වීම ඉතා පලදායි වේ.අන්තර්ජාලය නිසා  මිත්‍ර සම්බන්ධතා ඇති කර ගත හැකිය.විවිධ සමාජ භීතිකා,සමාජ කුසලතා අඩු වීම වැනි දුර්වලතා අන්තර්ජාලය තුළ දී මතු වන්නේ නැත.
ඒ වගේම FB, Twitter  වැනි සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අතීතය නැවත ජීවමාන කරගැනීමේ හැකියාව ද ලැබේ.වසර ගණනාවකට පෙර සිටි පාසල් මිතුරෙකු,විදේශයක පදිංචි ව සිටින නෑයෙකු,හිතවතෙකු සමග කිසිදු අපහසුතාවයකින් තොරව  අන්තර්ජාලය ඔස්සේ සබදතා අලුත් කර ගැනීමේ හැකියාව ලැබේ.
මීට අමතරව ප්‍රධාන වශයෙන් මුලින් සදහන් කළ ආකාරයට දැනුම අලුත් කර ගැනීමට ලැබේ.කටවහරට පවසන ආකාරයට අපට මරණයට පත්වන තුරු ම ඉගෙනීමේ නැවැත්මක් දැකිය නොහැකි ය.එයින් පෙනෙන්නේ ජීවත් වන තාක්  ම අපට ඉගෙනීමට බොහෝ දේ ඇති බවයි.අන්තර්ජාලය හරහා ලෝකයේ ඇති බොහෝ දැනුම් සම්භාරයක් අපට පහසුවෙන්ම ලබා ගැනීමට හැකි ය.

බොහෝ මිනිසුන් අන්තර්ජාලය  මෙවැනි ඵලදායි දෙයකට යොමු නොකර මානසික සෞඛ්‍ය පිරිහෙන ආකාරයට භාවිත කරයි.විශේෂයෙන් ළමුන්ට මෙය පරිහරණය කිරීමට  ඉඩ සැලසිය යුත්තේ මවුපියන්ගේ අධීක්ෂණය යටතේය.අන්තර්ජාලයේ ඇති දරුණු දර්ශන ,ලිංගික දර්ශන  පරිහරණය කිරීමට ඉඩ සැලසීම තුලින් ඔවුන් විවිධ මානසික බලපෑම්වලට ලක්විය හැකි.නවයොවුන් වියේ පසුවන අය නොදන්නා පුද්ගලයන් සමග අනතුරුදායක සබදතා පැවැත්වීමට අන්තර්ජාලයෙන් ඉඩ සැලසෙන බැවින් වංචනිකයන්ගේ රැවටිලිවලට හසු වීමට ඇති අවස්ථා ඉහළයි.මේ තුළින් සිදු වන්නේ අන්තර්ජාලය රකුසෙක් කර ගැනීමයි.

බොහෝ ඉගෙන ගන්නා ළමයින් ද,වැඩිහිටියන් ද,ඉහත ආකාරයට අනවශ්‍ය දේට ඇබ්බැහි වීම  තුළින් තමන්ගේ ජීවිතය අඩියෙන් අඩිය පහළට තල්ලු කර ගන්නේ තමන් විසින්ම ය.අන්තර්ජාලය තුළින් ඉගෙන ගන්නා ළමයෙක්ට තමන්ට ඉගෙනීමට ඇති විෂය කරුණු  පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමටත් තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමටත්,ඉතා හොඳ දක්ෂ ළමයෙක් වීමටත් අවකාශය උදාකරගත හැක.
ඒ වගේම දියුණුවට පත් වීමට ආසාව,කැපවීම තිබෙන පුද්ගලයෙක්ට බොහෝ අවවාද,ආදර්ශ,දියුණු වීමේ උපක්‍රම,ව්‍යාපාර ආදියට ඉවහල් වන දැනුම ආදිය ලබා ගැනීමට ඕනවටත් වඩා කරුණු කාරණා අන්තර්ජාලය තුළින් ලබා ගැනීමට පුළුවනි.

අප මෙලෙස නිවැරදි දේට පමණක් භාවිත කිරීම තුළින් වැරදි මාවතට යොමු වීම අපටම වළක්වා ගත හැකිය.එතුළින් පරිසරය විදීමට ඇති කාලය,සැබෑ ජීවිතයේදී මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට ඇති අවකාශය අපට ඉතිරි කරගත හැකි ය.අනවශ්‍ය දේ පමණක් මග හැරේ.තමන් තමන් ගැන අවබෝධයෙන් සිතා ක්‍රියා කිරීම තුළින් අන්තර්ජාලය වැනි නව තාක්ෂණය නිවැරදි ආකාරයට භාවිත කරන ආකාරය තේරුම් ගෙන තමන්ගේ දියුණුවට ඇති කාලය නිසි පරිදි භාවිතා කර ඔබව ජයග්‍රහයකයෙක්,දියුණු පුද්ගලයෙක් බවට පත් කරගත හැකි ය.
එනිසාවෙන් අවසාන වශයෙන් පවසන්නේ අන්තර්ජාලය අපගේ ජීවිතය කර නොගෙන තමන්ගේ දියුණුවට ඉවහල් වන එක් කොටසක් බවට පත් කරගන්නා ලෙසයි.එයින් අපට අන්තර්ජාලය ඵලදායී දෙයක් ලෙස  යොදා ගැනීමට අවකාශය ලැබෙනවා නොඅනුමානය.



Article Writer - Thakshila Shrimali


Sunday, June 14, 2020

පාඩම් කලාට මතක නැද්ද ?




ඔබ‍ට මතකද අද උදේට කෑවේ මොනවද කියල ? එතකොට ඊයේ සහ පෙරේදා  උදේ මොන මොනවද කෑවේ ?????? සමහරුන්ට මොනවද කෑවේ කියල අමතක  ඇතිමුත් සමහරුන්ට මතක ඇතැයි සිතමි. 

මෙලෙස මතකය රදා නොසිටීම සැලකිය යුතු ප්‍රශ්නයකි.මතකය ගැන විමසීමේදී මොළය ගැන කිව යුතුය. 

මොළය ගැන සරල හැදින්වීමක්‌ මෙසේය. මතකය හා බද්ධව ඇති සිරුරේ වැදගත් ඉන්ද්‍රියකි මොළය. 1 1/2kg පමණ බරකින් යුතු මෙහි ස්නායු බිලියන 75-100ත් අතර ආසන්න ප්‍රමාණයක් ඇත. එසේම මේදය 60% ලෙස අධිකවම ඇත්තේ මෙහිය. මොලයේ ආරක්ෂාවට,

• වරාශිකාව 
•ජලාකාර පටලය 
•වීනාoශුකාව 

              ලෙස ස්ථර තුනක් ඇත.එසේම මොළය මගින් සෑම ක්‍රියාවක්ම පාලනය ද  කරයි. 


බුද්ධ දේශනා වල කරුණු සලකා බැලීමේදී මතකය  දුර්වල වීමට හේතු බුදුරජාණන් වහන්සේ වක්‍රාකාරව වදාරා ඇති සේක. ඔබ‍ අසා ඇති, 

          °ආශාව
          °තරහව 
          °අලස බව සහ නිදිමත
          °සැකය
          °විසිරෙන බව 

ආදිය කරුණු අමතක වීම යන සාධකය හා සබැදූ විට මෙසේ විග්‍රහ කල හැක.
පිරිසිදු වතුර වීදුරුවක් ගෙන එයට තීන්ත බිදුවක් දැමූ ක්ෂණයෙන් අපිරිසිදු වේ. ඒ අනුව දරුවෙක් පාඩම් පොත ගෙන කොතරම් නිරවුල් හා අධිෂ්ඨානී මනසින් ගිය ද ඔහුගේ හෝ ඇයගේ අතෙහි පොතට අමතරව  ජංගම දුරකථනය ඇත්නම් එකී කරන කාර්ය නිෂ්ඵල වේ.එවිට සිත නිසැකවම යොමු වන්නේ පොතට නොව දුරකථනයේ විවිධ විශේෂාංග හා සමාජ මාධ්‍ය ජාලා වැනි මාධ්‍යයන් තුළට වේ. මේ ආශාව නිසා පාඩම් මග හැරේ. 

දෙවනුව දරුවකු පාඩම් කරන විට ඒ මොහොතේ යම් කරුණක්‌ නිසා දැඩි ද්වේශයෙන් පසු වනවානම් ඒ සිතිවිලි නිසා ද පාඩම් මතක නොසිටී. 

තෙවනි කරුණ ගත් විට පාඩම් කිරීමට සූදානම්  වන දරුවා පොත අතට ගත් විගස ම නිදිමත පැමිනීම සිදු වුනොත් ඒ අලස කම නිසාද පාඩම් මතක නොසිටී. බුදුරදුන් අoගුත්තර නිකායේ සප්තක නිපාතයේ පචලායන සූත්‍රයහි අලස බව නැති කිරීමට සප්ත කරුණු වදාරා ඇත. 

එසේම ඉගෙනගන්නා කරුණු ගැන සැකය උපදී නම් එහිදී ද මතකය කෙරේ බලපෑම් ඇති කරයි.

අවසන් ලෙස බලන කල පාඩම් කරන විට සිත එක අරමුණක තබා ගත නොහැකිව විසිරී පවතී නම් එවිට ද පාඩම් කරුණු මතක නොසිටින්න හේතු වේ. "දූරංගමං ඒක චරo" ආදී ගාථා වලින් පේන්නේද මේ මේ සිතේ විසිරෙන බවයි.විෂය කරුණු  ඇහුම්කන් දී  ධාරණය කර ප්‍රශ්නය නඟමින් ලේඛනයේ යෙදීම නිසා පාඩම් මතක සිටීමට සිදු  වේ. 

ඉහත කරුණු මෙන්ම විද්‍යානුකූලව ගත් විට අමතක වීමට තවත් කරුණු බලපෑම් කරයි. මතකයේ ප්‍රධාන අංගය මොළය වේ. යමෙක් අධික ලෙස දුම් පානයට ඇබ්බැහි වූවේ නම් මොළේ ස්නායු දුර්වල වී මතකය හීන වී යයි. ප්‍රමාණවත් නින්දක් නොමැති වීම නිසා සිතිවිලි වල උත්තේජනය අවම වන අතර උදෑසන ආහාර වේල අතපසු කිරීම නිසා සහ සීනි අධිකව පාරිභෝජනය නිසා ද මොලයේ ස්නායු දුර්වල වී මතක ශක්තිය හීන කරයි. එසේම ඔබ‍ දන්නවද? මොළයට ඔක්සිජන් අවශ්‍ය බව.පරිසර දුෂණය නිසා අධික ලෙස කාබන්ඩයොක්‌සයිඩ් වායුව පිට වීම නිසා ඒවා අවශෝෂණය වීම නිසා ද මොළයේ ස්නායු ක්‍රියාකාරිත්වය අඩපන වේ. 

විෂය කරුණු ආදිය මතක තබා ගැනීමට නම් එකී අධ්‍යාපන කරුණුවලට ආශාව තිබිය යුතු අතර සෑම විටම 'මට පුළුවන්' යන සුභවාදී සිතුවිලි වලින් යුතු විය යුතුයි.පාඩම් කරන විට ශබ්ද නගා කියවීම මෙන්ම තමා ඉගෙනගත් කරුණු සම වයස් යාලුවන්ට හෝ අසල්වාසී දරුවන් ට නැත්නම් චිත්තරූප මවා හෝ  විෂය කරුණු ආවර්ජනය කිරීම නිසා ද මතකය වර්ධනය කිරීම කල හැක.එක දිගට මනස වෙහෙසීම නිසා කරුණු බහුතරයක් ධාරණය කර ගැනීමට යාමෙන් ද කරුණු අල්පයක් පමණක් මතක හිටිම නිසා එවිට සුළු  විවේකයක් ගැනීම යහපත් වේ. පාඩම් කරන විට පැණි රස ආහාර ගැනීමද අලස බව දුරලා පාඩම් මතක තබා ගැනීමට හේතු වේ. 

බොහෝ දරුවන් කෘතීම ආහාර ගැනීමට හුරු වී ඇත.එය මොළය ට පමණක් නොව මුළු සිරුරටම අහිතකර වේ. මොලයේ මේදය අධිකව ඇති නිසා ඒ  ඔමේගා - 3 සංඝඨක අඩංගු ආහාර මෙන්ම ලුණුවිල ආහාරයට ගැනීම නිසා එහි ඇති ලවණ සංඝඨක නිසා මානසික ආතතිය පාලනය කරයි.එසේම ෆෝලික්‌ හා බී විටමින් ඇති ආහාර ගැනීම නිසා මානසික අවපීඩනය මඟ හරවා ගත හැකි ය.ධාන්‍ය වර්ග ද ඉතා ගුණදායක වේ. එසේම ජලය පානය ද ඉතා වැදගත් වේ.මේ පෝෂ්‍ය කොටස් ගැනීම නිසා යම්තාක්  දුර‍ට හෝ මොළය වර්ධනයට අවශ්‍ය පදාර්ථ ලැබේ. 

ඒ අනුව පාඩම් කරන දරුවෙක් නම් තම කායික මානසික නිරෝගීතාවය පිළිබඳ ව වඩා සැලකිලිමත් විය යුතුය.


Article writer - Hashini Imalsha

Monday, June 8, 2020

උතුම් ගුණයකි දෙමව්පියන්ට සැලකීම



මේ ලිපිය කියවන ඔබ මදකට නතර වී සිතා බලන්න ඔබ නිසි ලෙස දෙමාපියන්ට සලකනවද?  නැද්ද ? 
නැතිනම් දෙමව්පියන්   ට සලකා ගත නොහැකිව ඔබ  පසු තැවෙනවද? 
තමන්ගේ අසරණතා නිසා වැඩිහිටියන්ට සලකාගැනීමට නොහැකි ව පශ්චාත්තාපයට පත් වූ පිරිසක් ද වේ.නමුත් අද සමාජය තුළ පවතින ඛේදජනක තත්වය වී ඇත්තේ කොතරම් ධනය, බලය තිබුනද ඇතැමුන් තම මහලු දෙමව්පියෝ නිවසින් බැහැර නිරාහාරව කුටි වල රඳවා තැබීම, මහ මග දමා යාම සහ අනාථ නිවාස වල දැමීම ආදිය ඔබටත් මටත් ඇස ගැටෙන සංසිද්ධි වේ.

මේවාට වගකිව යුත්තන් කවරහුද?  
ලංකාව තුළ මහලු ප්‍රජාවගෙන් බොහෝ කොටසක් තම සැදැ සමය අනාථ නිවාස වල සිර වී සිටිති. වැඩිහිටි නිවාස ලංකාවට අවශ්‍ය ද ? යන්න තීරණය ඔබ සතුය. තම යුතුකම් වගකීම් නිසි ලෙස අවබෝධයෙන් කිරීම තුළින් මෙවැනි තත්ව දුරු කරගත හැකිය. 

කියෙව්වොත් පසක් වේවි උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගේ 'අම්මා' කෘතිය. එහි කථකයාද  සමාජ ස්ථාවරත්වයට පත් වූවද ඔහුට ද දෙමව්පියන් මිය යන තුරු ම  නිසි ලෙස උපස්ථාන කිරීමට නොහැකිව පසු තැවෙන්න සිදු විය. එසේම ජයතිලක කම්මැල්වීර මහතා රචිත 'තාත්තාගේ මළගම' කෘතිය ගත් විටද ඉහත කරුණම පසක්‌ වේ. පිටිසර ප්‍රාදේශයක ඉපිද තම පියා ඇතුළු පිරිස හැර කොළඹ රැකියාවට එන කථකයාට  නැවත පියා අවසාන වතවට දකින්නට ලැබෙන්නේ පුත්තලමේ කුඩා පැල් කොටයක සව් කඩදාසි මලින් සැරසුණු මල්වඩමක් ළග ලාබ මිනී පෙට්ටියක බහාලූ මෘතදේහයක් ලෙසිනි. 

ඉතින් දෙමව්පියන් ජීවිත් වී ඇති විට තමාට ඔවුන්ට උපස්ථාන කිරීමට අවශ්‍ය පහසුකම් තිබියදීත් එසේ නොකිරීම පහත් ක්‍රියාවකි. දසමස් කුස දරා අනෙක විධ දෝමනස්සයන් විඳ දරුවන් පෝෂණය කර සිප්කිරි පොවා උස් මහත් කල පසු දරුවන් දෙමව්පියෝ අමතක කර දමන තත්වයට පත් වී ඇත. ධනය කෙතරම් තිබුණ ද අසරණ දෙමව්පියන්ට කළගුණ සලකන්නේ නැත්නම් මිනිස් දම් සිතේ නැත්නම් ඒ දරුවන්ගෙන් ඇති ඵලය කිම ?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර රැසකම දෙමව්පියන්ට සැළකීමේ ආනිසංස ද නොසලකා හැරීමහි ප්‍රතිඵල ද වදාරා ඇත.ඒ අනුව පරාභව සූත්‍රයේ දී මෙසේ වදාළ සේක ! 

"යෝ මාතරං  පිතරං වා - ජිණ්‌ණකං ගතයොබ්‌බනං,
පහු සන්‌තො න භරති - තං පරාභවතො මුඛං"
-ඛුද්දක නිකාය,සුත්ත නිපාතය,උරග වග්ගය,පරාභව සූත්‍රය

(යමෙක් ධනයෙන් ආඪ්‍ය වුවද මහලු මව පියා පෝෂණය නොකිරීම පිරිහීමට කරුණක්‌ වේ. )

මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන බ්‍රහ්ම ගුණ කදම්භ මව්පියන්ට ඇති අතර බුදුරදුන් සිගලෝවාද සූත්‍රය තුළින් ද දෙමව්පියන්ට ඉටු කල යුතු යුතුකම් වගකීම් දක්වා ඇත.ඇතැම් අයට තමන්ගේ පෞද්ගලික අසරණ භාවයන් මත දෙමව්පියන්ට සලකා ගැනීමට නොහැකි වී ඇත.නමුත් ඔවුනට ජීවත් ව සිටින කාලය තුළ තම දෙමව්පියන්ගේ සිත් සතුටින් තැබීම උදෙසාත් මියගිය පසු මොනයම් හෝ ක්‍රමයකින් පිං පෙත් අනුමෝදන් කිරීම සිදු කල හැකිය.එයද ඔවුන් උදෙසා කරන යුතුකමකි.

බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ යථාර්ථවාදී දර්ශනය පවත්නා ලක්දිව තුළට බටහිර සමාජ සංස්කෘතීන්ගෙන් එන සියළුම දේ තෝරා බේරීමක් නොමැතිව වැලදගැනීම නිසා සමාජයේ මිනිසුන්ගෙන් උතුම් මිනිස්දම් ක්‍රමයෙන් ක්‌ෂය වී යමින් පැවතීමක් දිගින් දිගටම දක්නට ලැබේ.එසේ ම ඔබ සිතනවා ඇති  කන්න බොන්න අදින්න පළදින්න ඉන්න තැනක් ලබා දුන් පමණින් දෙමව්පියන්ගේ සිතේ සැනසුම ඇති වේ කියා, එහෙත් එය මුසාවකි.ඔවුනට කොතරම් මෙකී දේ ලබා දුන්නත් දරුමුණුබුරු සෙනෙහස ආදී මානසික සහනයට අවශ්‍ය කරුණු නැත්නම් ඔවුන් මානසික මෙන්ම කායිකව ද දුර්වල මට්ටමට පත් වේ. 

දෙමව්පියෝ මහලු වන විට ඔවුන්ගේ මානසික තත්ව වෙනස් වේ.එකී අනිත්‍යතාවය සියළුම දෙනාට පොදු වේ. එනිසා ඉවසීමෙන් මහලු වූ විට දෙමව්පියන් කරන කියන දේවල් ගැන සානුකම්පාව බලා ක්‍රියා කල යුතු වේ. 

අවසන් ලෙස කීමට ඇත්තේ  කිසිමදිනෙක දෙමව්පියන්ව තනි නොකරන්න... සෙනෙහස ලබා දෙන්න... යුතුකම් වගකීම් ඉටු කරන්න... යනුවෙනි. 



Article Writer - Hashini Imalsha

කළණ මිතුරු ඇසුර






එක්තරා හවසක ගැහැණු ළමයෙක් තමන්ගේ හොඳම මිතුරියට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.ඒ තමන්ගේ පෙම්වතා තමාට දවස් කිහිපයක සිට දුරකථන  ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් වත් ලබා නොදුන් නිසාය.ඇය තම මිතුරියට කතා කොට පැවසුවේ තමාගේ පෙම්වතා දවස් කිහිපයක් කතා නොකළ බවත්, ඔහුට යම්කිසි කරදරයක් සිදුවීද යන්න බියක් තිබෙන බවයි.කිසිම දිනෙක මෙලෙස කතා නොකළ නොසිටි බව කී ඇය තම මිතුරියට කියා සිටියේ ඔහුට ඇමතුමක් ලබා ගන්නා ලෙසයි.තම මිතුරිය පාසල් යන කාලයේ සිට තමන්ව දන්නා නිසා තම පෙම්වතා ද  ඇයගේ මිතුරෙක් නිසා ඔහු ඇයට කතා කරයි කියා  සිතුවාය.

මිතුරිය ඇය වෙනුවෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.ඔහු ඇයට පැවසුවේ තමා ඇයව අත්හැර දමු බවයි.මිතුරියට එය සිතා ගත නොහැකි විය.කුමක් නිසා ද යත් දන්නා කාලයක සිට ඔහුගේ සහ ඇයගේ ආදරය රණ්ඩු සරුවල් ,තරහ මරහ මැද අවුරුදු 5 ක් පමණ තිබු නිසා ය.ඇය තම මිතුරියට මෙය s.m.s  පණිවිඩයකින් පවසා සිටියේ ඔහු ගත් කුමන තීරණයක් වුවත් ඔයා අපේක්ෂාවෙන් පිළිගන්නවාද? යන්න පිළිබඳවයි.

ඇය හඩා සිටියේ තමන්ට ඔහු නොමැතිව ජීවත් විය නොහැකි බවත් , යළිත් එය සත්‍යයක් දැයි කියා ඔහුගෙන් අසා සිටින්නට කියා ය.ඔහුගේ අවසාන තීරණය එය විය.ඔහුට වෙන කෙනෙක් සිටින බවත්,තමා ඇයව අත්හැර දැමු බවත් කියා සිටින්නැයි අවසාන වතාවට ඇයට කියන්නැයි ඔහු කීවේය.

මිතුරිය  බොහෝ ඉවසීමෙන් තමාගේ මිතුරියට මෙය පවසා සිටියේ ඇය ඊළගට කුමන තීරණයක් ගනීදැයි  සිතා ගත නොහැකි නිසාවෙනි.එනම් තම මිතුරිය ඔහුට කෙතරම් ආදරය කරනවා ද කියා ඇය දැනන් සිටියා.
ඇය හුගක් හැඩුවාය.එක්වරම දිගු සුසුමක් හෙළා 'මම තීරණයක් ගත්තා' ඇය කීවාය.තමාගේ අම්මා, තාත්තා, සහෝදරයන් අමතක කොට  මරණය තෝරා ගත්තාය.

කරන්න යන මෝඩකම ගැන ඇයට අමතක වුණි.නමුත් ඇයගේ මිතුරිය ඇය අමතක නොකළාය.ළග නොමැති වුනත් ඇය සැනසීමට බොහෝ උත්සාහ කළාය.දුරකථනයෙන් ඇයගේ  සිත සැනසීමට , ඉදිරි ජීවිතය ගෙවන ආකාරය පිළිබඳ නිදි වරා ඇය සමග කතා කළාය.

ඔහුට තමන් ගැන ආදරයක් නොමැති නිසා ඇයව දමා ගියත්, තමන්ට ඇත්තටම ආදරය කරන අම්මා, තාත්තා, සහෝදරයන් සිටිද්දී තමන් ගැන කිසි ලෙසකින්වත්  නොසිතූ පුද්ගලයෙක් වෙනුවෙන් මැරෙන්න යන්නෙ කුමක් නිසාද කියා ඇසුවාය.

බොහෝ වෙලාවට මෙවැනි විටික තමාගේ ආදරය බිදී ගිය දුක පමණයි හිතට දැනෙන්නේ.තමන්ට ආදරය කරන, තමන් වෙනුවෙන් ජීවිත් වන අම්මා තාත්තා සිතට නැගෙන්නේ නැත.

නමුත් ඇය සෑමදේම  තම මිතුරියට කියා දුන්නේ තමන්ගේ මව ලෙසිනි.ජීවිතයේ තිබෙන වටිනාකම ඇයට තේරුම් කර දුන්නාය.හැගීම්වලට වඩා මෙවැනි අවස්ථාවල බුද්ධියෙන් තීරණ ගත යුතු බව තම මිතුරියට කියා දුන්නාය.
එතුළින් මිතුරිය ළග සිට  ඇය බේරා ගත්තාය.


මෙයින් තේරුම් ගත හැක්කේ හොදම මිතුරන්  අපව තනි නොකරන බවයි.අත්හැර නොයන බවයි.සැපේදි නැතත් දුකේදී ඔවුන් අප සමඟ සිටියි.බුදුරජාණන් වහන්සේ ද බුදු දහමට අනුව දේශනා කළේ කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමටයි.ඔවුන් අපව කුමන ප්‍රශ්න ආවත් තනි නොකරයි.

මිත්‍රයන් අතර ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කරන මිතුරන් ද සිටී.නමුත් කළණ මිතුරා ඔවුන්ගෙන් වෙන්ව හදුනාගත  හැකිය.එනම් බුදු දහමේ දක්වන ආකාරයට" තුට්ඨි සුඛායා  ඉතරීතරෙන" දුක සැප දෙකෙහිම තමා සමගම සිටින්නා කල්‍යාණ මිත්‍රයා' යනුවෙනි.


පියෝච ගරු භාවනීයෝ
චත්තාච වචනක්කමෝ
ගම්භීරංච කතං කත්වා
නෝවට්ඨානේ නියෝජයේ 

යමෙක් තමාගේ ශීල සම්පත්තියෙන් ඇසුරු කරන්නට ප්‍රිය වෙයිද , පාෂාණච්ජත්‍රයක් මෙන් වෙයිද ගුණ වශයෙන් සම්භාවනා කළයුතු  වෙයිද, ඇසුරු කරන්නන්ට යහපත පිළිබඳ අවවාද කරයිද , චතුරාර්ය සත්‍යය ආදි ධර්ම කරුණු  පහදා දෙයිද  ඇසුරු කරන්න සුදුසු ස්ථානයෙහිම තබති ද , එබදු ගුණැති පුද්ගලයා කළණ මිතුරෙකි.
මෙලෙස බුදු දහමේ දැක්වූ කළණ මිතුරෙක් තමාගේ ජීවිතයට සිටී නම් තමන් වැරදි පාරේ යෑම අඩු වේ.

ඉහත දැක්වූ කථාවෙදි ඇයගේ මිතුරිය ඇය ගත් මෝඩ තීරණය හමුවේ ඇයට සත්‍යය තේරුම් කර , තමාගේ ජීවිතය හැරයන පුද්ගලයෙක් වෙනුවෙන් විනාශ නොකර තමන් වෙනුවෙන් ජීවත් වන පුද්ගලයන් උදෙසා  ජීවත් විය යුතු ආකාරය ඇයට අවබෝධ  කර දුන්නාය.
. කවුරු හැරගියත් මව, පියා, සහෝදරයන් හා හොද මිතුරන් තමන්ව කිසිදා අත් නොහරින බව අප තේරුම් ගෙන තමන් වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය නැවතුනු තැනින් ඉදිරියට ගෙන යා යුතුය.


අවසාන වශයෙන් අප ප්‍රාර්ථනා කළ යුත්තේ
අප කළ පිනෙන්- දුදනන් හමු නොවී
සසර වසන තුරු- සුදනන් හමු වේවා 
යන්නයි.


Article Writer - Thakshila Shrimali

Tuesday, June 2, 2020

ජීවිතය මේ මොහොතයි







බොහෝ දෙනෙක් ජීවිත කාලය තුළ කරන්නේ අතීතය තුළ සිදු වූ කනගාටුදායක සිදුවීම් ගැන, ඒ වගේම කරන්නට බැරිවුණු කටයුතු  පසු තැවෙමින්, අතීතයේ සිදුවූ හොද සිද්ධි ගැන නැවත නැවත සිහි කර සතුටු වෙමින්, අනාගතයේත් තමන්ට සතුටු විය හැකි යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කිරීම.
අතීතයට ඇලෙමින්,අනාගතය කෙරෙහි බලාපොරොත්තු තියා ගනිමින් ඒ බලාපොරොත්තු එසේ ම ඉටුවිය යුතුයි කියලා කල්පනා කරමින් ජීවත් වීම තුළ අහිමි ව යන්නේ තමන්ගේ වර්තමාන ජීවිතය.

ඕනෑම මනුෂ්‍යයෙක් තමන්ගේ ජීවිත කාලයේ දී සොයන්නේ සතුට,සැපය.නමුත් බොහෝ දෙනෙක්ට ජීවිත කාලය තුළ තමා සොයන සතුට,සැපය ලැබෙන්නේ අල්ප වශයෙන්.
ඒකට හේතුව ඔවුන් හොයන සතුට තියෙන්නේ ඒ ඒ අයගේ හිත්වල තියෙන බලාපොරොත්තු මත වීම.

බලාපොරොත්තුවක අවසානය දෙයාකාරයි.එක්කෝ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා,එහෙම නැතිනම් ඉෂ්ට නොවෙනවා.මිනිසා ඇතුළු සියළු සත්වයන් මේ අනුව යම් බලාපොරොත්තුවක් ඉෂ්ට වූ විට ඒ ගැන සතුටු වීමටත්,ඉෂ්ට නොවූ විට ඒ ගැන දුක් වීමටත් වශයෙන් ජීවිතය දෙකට බෙදාගෙන ජීවත් වෙනවා.
එම නිසාම ඒ ජීවිතය තුළ මාරුවෙන් මාරුවට සැපය වගේ ම දුකත් විඳීමට සිදු වෙනවා.


"සුඛස්සානත්තරං දුක්ඛං - දුක්ඛස්සානන්තරං සුඛං
චක්‍රවත් පරිවර්ථන්තේ - දුක්ඛානි ච සුඛානි ච"
(සැපයට පසුව දුකත් , දුකට පසුව සැපයත් පැමිණෙමින් සැප දුක චක්‍රයක් මෙන් පෙරළෙයි.)

කියලා සංස්කෘත සාහිත්‍යයේ දැක්වෙන්නේත් මේ ආකාරයට මාරුවෙන් මාරුවට විදීමට වෙන සැපය හා දුක කියන කරුණු දෙක චක්‍රයක් වගේ පෙරළෙමින් ජීවිත කාලය තුළ ක්‍රියාත්මක වෙන බවයි.

සැප විඳිද්දි සතුටු වෙනවා වගේම බලාපොරොත්තු ඉටු නොවීම නිසා අසතුටට පත් වෙනවා.
මිනිසෙකුට මේ සියල්ලම සිදුවෙන්නේ අතීතය මතකයන්ට හා අනාගත බලාපොරොත්තුවලට තදින් බැඳිලා ඉන්න නිසා.අනාගතය ගැන සැකයෙන් ඉදීමේ යථාර්ථය ගැන දැක්වෙන එක සෙන් කතාවක මෙහෙම තියෙනවා.

-හෙට දවස-

ජපන් යුද සෙබළෙකු තම සතුරු හමුදා කණ්ඩායම අතට හසුවී සිරගත විය. එදින රාත්‍රියේ ඔහුට නින්ද කර එළැඹීම ඉතා අපහසු කටයුත්තක් විය. පසු දින කෙරෙන ප්‍රශ්න කිරීම්, එයින් නොනැවතී කෙරෙන තර්ජන, පහරදීම් ආදිය ගැන සිතද්දී ඔහුගේ සිත සැලෙන්නට පටන්ගත්තේ ය. 
එක්වරම ඔහුට සෙන් භික්ෂුවකගේ වදන් කිහිපයක් සිහිවූයේ අහම්බෙන් මෙනි.
"හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..."
එයින්ම සෙබළා සුවයෙන් නිදාගත්තේය.



මේ කතාවෙනුත් අනාගතය ගැන සිත සිතා සිටීමෙන් මේ මොහොතත් තමාට අහිමි වෙන ආකාරය මනාව පැහැදිලි කරනවා.ඊළඟට තමාට යම් අයහපත් දෙයක් සිදුවුණත් ඒ දේ නවතාලිය නොහැකි නම් අවම තරමින් ඒ අවසාන මොහොත පවා සිතේ කම්පා නොවී සිටීමට පුරුදු වීම බුදු දහමේ ඇති ථේරවාද-මහායාන ප්‍රභේදයන්ගේ භේදයකින් තොර ව අගය කරනු ලබනවා.

"අතීතං නානුසෝචන්ති – නප්පජප්පන්ති’ නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති – තේන වණ්ණෝ පසීදති."

"අනාගතප්පජප්පාය – අතීතස්සානුසෝචනා
ඒතේන බාලා සුස්සන්ති – නළෝව හරිතෝ ලුතෝති"



(අතීතයේ වූ දේවල් පිළිබඳව කල්පනා කරමින් ශෝක නොකරත්. නොලත් දෙය පිළිබඳ ද ප්‍රාර්ථනා නොකරත්. වර්තමානයේ පවත්නා දෙයින් යැපෙත්. එයින් ශරීර වර්ණය ප්‍රසන්න වේ. නොලත් දේ පිළිබඳව ප්‍රාර්ථනා කරන්නා වූ, අතීතයේ වූ දෑ පිළිබඳව ශෝක කරන්නා වූ අනුවණයෝ කපා දමා රත් වූ පාෂාණයක් මත දමන ලද හරිතවන් බට දණ්ඩක් මැලවී යනුයේ යම් සේ ද එසේ මැලවී යත්.)

-සංයුක්ත නිකාය, දේවතා සංයුක්තය, අරඤ්ඤ සූත්‍රය

ඉහත උදාහරණ තුළින් ද පෙන්නුම් කරනු ලබන්නේ බුදු දහම තුළ නිවන කරා යාමට අනුගමනය කළයුතු සතර සතිපට්ඨානයෙහි ඇති වැදගත්කමයි.
බොහෝ දෙනෙක් අනිත්‍යය වූ ලෝකය තුළ විවිධ විචිත්‍ර අරමුණු හා ඇලෙන්නේත්,කටුක අරමුණු හා ගැටෙන්නේත් ඒවා පිළිබඳව සිහියෙන් මෙනෙහි නොකිරීම නිසා ය.
ඒවායෙහි යථා ස්වාභාවය නොදැකීම නිසාය.
එම නිසා ප්‍රිය අරමුණුවල ඇලෙමින්, ඒවා නැවත නැවත ප්‍රාර්ථනා කරමින් අනාගතයෙහි ද ඒවා ලබා ගැනීමට උත්සහ කරයි.

භද්දේකරත්ත නම් සුවසේ රාත්‍රිය ගෙවීමට මාතෘකා කරගත් සුත්‍රයෙහි ද දක්වා ඇත්තේ ඉහතින් දැක් වූ සෙන් කතාවට සමාන ම කරුණකි.


"අතීතං නාන්වාගමෙය්‍ය, නප්පටිකංඛේ අනාගතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං"

"පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං, තත්ථ තත්ථ විපස්සති
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ‍්‍රෑහයේ"

"අජ්ජේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුවේ
නහි නෝ සංගරං තේන, මහාසේනේන මච්චුනා"


(අතීතය ලූහු නො බඳින්නේ ය.අනාගතය නොපතන්නේ ය.යමක් අතීත ද එය ප‍්‍රහීණ ය, අනාගතය තව ම පැමිණ නැත.

යම් අයෙක් ප්‍රත්‍යුත්පන්න වූ ධර්මය ඒ ඒ තැන විදර්ශනා වශයෙන් දකී ද, පැරදවිය නොහැකි, සෙලවිය නොහැකි වූ ඒ විදර්ශනාව නුවණැති පුද්ගලයා වඩන්නේ ය.

අද අද ම කෙලෙස් තවන වීරිය කළ යුතු ය. මරණය හෙට දැ යි කවරෙක් නම් දනී ද ? මහා සේනා ඇති මරු සමග ගිවිසුමක් නම් නැත්තේ ය.)
-මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසකය,විභංග වග්ගය,භද්දේකරත්ත සූත්‍රය


මේ ආකාරයට බලන විට බුද්ධ දේශනාව පදනම් වන්නේ ම සිහිය පිහිටවීම, වර්ථමානය තුළ සිහියෙන් සිටීම යන කරුණ මත ය,
එහෙත් මේ කරුණු සැලකීමේ දී යම් අයෙකුට එසේනම් බුදු දහමට අනුව අනාගතය සැලසුම් කිරීම නොකළ යුතු ද යන්න ගැන ගැටළුවක් ඇති වේ.
බුදු දහමට අනුව අනාගතය සැලසුම් කිරීමේ කිසි ම ගැටළුවක් නොවේ, බුදුරජාණන් වහන්සේ පවා ශාසනයේ අනාගතය ගැන සිතා විවිධ ආකාරයේ ක්‍රියාමාර්ගයන් ගත් සේක.විනය නීති පැනවීම,බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු නායකත්වය සම්බන්ධව උන්වහන්සේ ජීවමාන සමයේ දී ම සැලසුම් සකස් කර ඒවා ගැන තම අනුගාමිකයන් හා ශ්‍රාවකයන් දැනුවත් කළ සේක.ඒ අනුව බලන විට බුදුරජාණන් වහන්සේ පවා අනාගතය සැලසුම් කර ඇත.

ගැටළුව ඇත්තේ අනාගතය සැලසුම් කිරීම තුළ නොව ඒ සැලසුම් කරන ලද අනාගතය ඒ අයුරින් ම ඉටුවිය යුතු යැයි එයට බැඳිම් හදා ගැනීමයි.
එසේ බැඳීමක් ඇති කර නොගෙන, ඒ අයුරින් ම ඉටුවිය යුතුයැයි නොසිතා අනාගතය සැලසුම් කිරීමේ කිසිදු ගැටළුවක් නැත. එම සැලසුම් ඉටු වීම හෝ නොවීම යන දෙක ම සිදුවිය හැකි බව අවබෝධ කරගෙන එම සැලසුම් කළ යුතු ය.

මේ අනුව සලකා බලන විට බුදු දහම සෑමවිට ම අන්තගාමී නොවී ඕනෑම දෙයක අන්ත දෙක ම දැක එම අන්ත දෙක කෙරෙහි නොඇලී,නොගැටී සිට ජීවිතය සැහැල්ලුවෙන්-සතුටින් ජීවිතය ගෙවීමට ඇති ඉගැන්වීමකි.සතර සතිපට්ඨානය මූල් කරගත් විදර්ශනා මාර්ගය උගන්වන එය විටෙක දර්ශනයකි,ජීවන මාර්ගයකි.



Article writer - G Mangala thero


Friday, May 29, 2020

ජීවිතය ජය ගන්නේ කෙසේද ?



ජීවිතය නම් බාධක , කම්කටොලු මැඩගෙන ඉදිරියට වීර්යය වඩාගෙන  යන ගංගාවක් නම් එහි මූලික පරමාර්ථය වනුයේ සප්ත මහා සාගරය තුළට එක් වීමයි.ගංගාවක් සෑම විටම ගල්පර තුළින් සහ වෙනත් දෑ තුළින් ගමන් කරන්නේ එය තමන්ට බාධාවක් නොකරගෙන තමන්ගේ ඉලක්කය උදෙසා ගමන් කිරීමට තිබෙන බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි.

උසස් මනසකින් යුත් මිනිසා යන පුද්ගලයා ද එසේය.අප සියල්ලෝම මිනිසුන් වශයෙන් බොහෝ සිතුම් ,පැතුම් , අභිලාෂයන් සිතේ පෙරදැරි කරගෙන ජීවත් වෙයි.අප සැමවිටම බලාපොරොත්තු ගොන්නක් ජීවිතය තුළ රදවාගෙන ඉදිරියට යෑමට උත්සාහ කරයි.
මිනිසා උත්සාහය තුළින් බලාපොරොත්තු වන්නේ ජීවිතය ජය ගැනීම නොවේද? 
මෙලෙස ජීවිතය ජය ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවක ම සිත,කය හා වචනය යන ත්‍රිවිද්වාර මූලික කරගෙන උපරිම වශයෙන් උත්සාහ දරන මිනිසා එය භෞතික හා අධ්‍යාත්මික වශයෙන් ද ජය ගැනීමට උත්සාහ දරන බව මේ සමාජයේ සිටින විවිධ පුද්ගලයන් නිරීක්ෂණය කිරීමෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබෙයි.

එසේ නම් ජීවිතය ජය ගත්තා යැයි අපට සතුටු විය හැක්කේ කුමන අංශය තුළින් අප උත්සාහ දැරුවොත් ද යන වග අපට තේරුම් ගැනීමට අපහසු නොවේ.එනම් සැබෑ ලෙසටම ගත් කල ජීවිතය ජය ගත්තා යැයි පවසන්නේ මෙම අංශ දෙකෙන් ම අප ජය ගත්තොත් පමණි.

මිනිසුන් සෑම විටම ලෞකික අංශයෙන්  පමණක් ජය ගැනීමට උත්සාහ දරයි.මෙහිදී එදිනෙදා ජීවිත් වීමට අපට අවශ්‍ය බාහිර දේ සමග ඉන්ද්‍රියයන් ඇසුරු කරගෙන ඉන්ද්‍රිය ගෝචර වන ආකාරයට පහසු, යහපත්, හොඳ සහ සැපවත් ආකාරයට ජීවත් වීමට ලැබෙන දේවල් ම ලැබෙනවානම් පමණක් අප සතුටට පත් වෙයි.මෙහිදී ජීවිතය විදවන දෙයක් නොවන බවත් විදිය  යුත්තක් ලෙස සිතා අප නිරන්තරයෙන් කටයුතු කිරීමට පෙළඹේ.

නමුත් සෑම විටම එකම ආකාරයෙන් අපට මෙලෙස සතුටට පත් වී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැත.අප  නොසිතෙන ආකාරයෙන්, නොසිතෙන මොහොතක අපට නොගැළපෙන දෑ අපගේ ජීවිතයට ළං වේ.ඒවා ඉවත් කර ගැනීමට අප බුද්ධියෙන් සිතා  අපරමිත උත්සාහයක්, කැපවීමක් හා මහන්සියක් සිදු කිරීම තුළින් අපගේ ජීවිතය ජය ගැනීමට පහසු වේ.

ආධ්‍යාත්මික වශයෙන් ජීවිතය ජය ගැනීම යනු විශිෂ්ට ලෙස සදාතනික සුව පහසුව ලබා ජීවිතය ජය ගැනීමයි.මෙම ජය ගැනීම අප කාටත් ලේසියෙන් ලබා ගත නොහැකි දෙයකි.මිනිසා සෑම විටම පරාජයට පත් වන්නේ භෞතික වගේම  ලෞකික දේ ම පමණක් ලබා ගැනීමට උත්සාහ දැරීම තුළිනි.
අප මෙම පරාජය තුළින් සිතට ගත යුතු එක් කරුණක් ඇත.එනම් අප විසින් කළ යුත්තේ ලෞකික  වශයෙන් ජීවිතය ජය ලබන අතර ම ආධ්‍යාත්මික ජීවිත ජයග්‍රහණය ලබා ගැනීමට ද කටයුතු කිරීමයි.නැතිනම් ලබන ජයෙන් කිසිදු  පලක් නැත.

 සිත තුළ නිතරම අරමුණු වන්නේ  ජීවිතය සාර්ථක කර ගැනීමයි.දිනා ගැනීමයි.නමුත් බොහෝ පුද්ගලයන්ට තිබෙන ගැටලුව වන්නේ සෑම විටම පැරදීමට , අසාර්ථකත්වයට ලක් වන්නේ ඇයි ද යන්නයි.එනිසා ජීවිතය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න වග ඔවුන්ගේ මනසට වද දෙන ප්‍රධාන කාරණාවක් වේ.

අප පරාජය තුළින් දුකට පත් වෙයි.අසාර්ථකත්වය බාර ගැනීමට ද සිදු වේ.එසේම දිනා ගත් දෙයක් දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතා අසීරුයි.යම් දෙයක් අපි දිනා ගත්තත්  ඊළගට අපගේ තිබෙන බලාපොරොත්තුව දිනා ගැනීමට නොහැකි වී පරාජය වේ.
එසේ කියා අප උත්සාහය අත් නොහළ යුතුයි.අප මුලින් ලබා ගත් සාර්ථකත්වයන් , දිනා ගත් දෑ වර්තමානයේ පරාජය වූවා කියා අත් හැරීම සාර්ථක පුද්ගලයකුගේ ක්‍රියා කලාපය නොවේ.

අප බුදු දහම තුළින් ඉගෙනගත් එක් යථාර්ථයක් ඇත.එනම් ලැබීම්,නොලැබීම් කියා  දෙයක් තිබෙන බවයි.නොලැබීම් තුළින් ලැබෙන දුක ලැබූ ජය තුළින් සමනය කර ගැනීමට ක්‍රියා කිරීම අප  කළ යුතුයි.
ඒ සමගම දෙවන ජයග්‍රහණය නොලැබී යෑමට බලපෑ හේතුව කුමක්ද යන්න අවබෝධ කරගෙන සිත සන්සුන්ව නැවතත් එයට උත්සාහ කිරීම තුළින් ඒ මිනිසාට  එය ජය ගැනීමට හැකි වේ.

අප ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබාගෙන ඇත්නම් යහපත් අරමුණින් , උත්සාහයෙන් , උනන්දුවෙන් දිනා ගත් දෙය දිගින් දිගටම රැකගැනීමත් ,ඉන් පසුව එය තවත් සිතට ශක්තියක් කරගෙන අනාගතය තුළ දී දිනීමට, දිනා ගැනීමට ඇති දේවල් සම්බන්ධයෙන් ඉතා හොඳ සැලසුමක් ඇති කර ගැනීමටත්  හැකියාව ලැබෙයි.අප අපගේ සිත යහපත් අරමුණින් දියුණු කරගෙන ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය හා ප්‍රඥාව වඩවාලමින් ජීවිතය තුළින් ජයග්‍රහණය ලැබීමට උත්සාහ කළ යුතුයි.

මිනිසුන් සිතන පතන ආකාරය එකිනෙකට වෙනස්.ඔවුන්ගේ බලාපොරොත්තු ද වෙනස් වේ.නමුත් ඒ එකිනෙකට වෙනස් සෑම බලාපොරොත්තුවක් ම යහපත් අරමුණු පෙරදැරි කරගෙන ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන විට ඒ බලාපොරොත්තු කා හටවත් හානියක් නොවේනම් අනිවාර්යයෙන් තමන්ට ජය අත් කර ගැනීමට ලැබේ.අපරමිත වීර්යයක් හා උත්සාහයක් ගනිමින් විශ්වාසය තබා කටයුතු කළ යුතුයි.එවිට දිනිය හැකිය.ඉන්පසුව තමාගේ ජීවිතය ඊළගට දිනා ගැනීමට අවැසි දේ පිළිබඳ සිතිය යුතුය.එම ජයග්‍රහණය ද මුළින් සදහන් ආකාරයට ආධ්‍යාත්මික වශයෙන් ජය ගැනීමට උත්සාහ කළ යුතුයි.සිහි බුද්ධියෙන් සිතා මතා ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කළහොත් සියල්ලෙන් ම ජය ගැනීමට පුළුවනි.

අප  සෑම විටම උත්සාහ කළ යුත්තේ කිසි විටෙකත් පරාජිතයකු නොවී වැඩකටයුතු කිරීමටයි.මා ප්‍රථමයෙන් දිනා ගත් දෙය අතීතයට ගිය විට දෙවනුව දිනීමට සිතා සිටින දේ වර්තමානයට එක් වේ.එය අනිවාර්යයෙන් ම දිනාගෙන මිසක් උත්සාහය අත් නොහරිමි යන දැඩි අධිෂ්ඨානය තිබිය යුතුය.ඒ වගේම සාර්ථක හා ජීවිතය දිනපු පුද්ගලයන්  අනිවාර්යයෙන් ම අනාගතයේ දිනන්නට බලාපොරොත්තු වන දෙය දිනා ගැනීමට යහපත්, සාර්ථක සැලැස්මකට අනුව කටයුතු කරනු ලබයි.

මෙසේ ගත් විට තුන් කල්හි ම ජය ගැනීමට හැකි පුද්ගලයා කිසිම දිනෙක ජීවිතය තුළ පරාජිතයෙක් ලෙස හංවඩු ගැසෙන්නේ නැත.සිත තුළ ආධ්‍යාත්මික බලයක්, ශක්තියක් ඒ සදහා  ගොඩනගා ගෙන තිබීම සාර්ථකත්වයේ මං සළකුණකි.
එය සෑම කල්හි ම ජීවිතය ජය ගැනීම සදහා ද , සාර්ථක වීම සදහා ද මුළු ලෝකයක් ඉදිරියේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම සදහා ද උපකාරී වේ.
මෙසේ ජීවිතය ජය ගැනීමට නම් අප පිළිබඳ ආත්ම විශ්වාසයක් අප විසින්ම ගොඩනගා ගත යුතු ය.සිත තුළ තරහව,දුක හටගත් විට සිදු වන්නේ අනුන්ට නොව තමුන්ට  පාඩුවකි.දුක දැනුණු විට තමා දුර්වලයෙක් , විනාශකාරයෙක් ලෙස සිතා සියල්ල  අතහැර දමයි.ජය ගැනීමට උත්සාහ නොකරයි.ජයග්‍රහණ හීන බවට පත් වෙයි.
එනිසා දුක, කලකිරීම විනාශ කර දමා සෑම මොහොතකම සුබවාදීව, සතුටින් ජීවත් වන්නට උත්සාහ කළහොත් සාර්ථකත්වය තුළින් ශ්‍රේෂ්ඨත්වයට පත් වී ලෞකික හා අධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම ඔබට,මට ජීවිතය ජය ගැනීමට අවකාශය ලැබේ.

උත්සාහය අත් නොහරින්න.
ජයග්‍රහණය ඔබේ අත ළඟයි
බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න.
ඔබට ජය!!!!!😊😊😊


Article Writer - Thakshila Srimali

බෞද්ධ මනෝ විද්‍යාව



මනෝ විද්‍යාව යන වචනය බටහිර තුළ දී ශතවර්ෂ ගණනක් පමණක් පැරණි ඇතැම් විට සිග්මන් ෆ්‍රොයිඩ් ජීවත් වූ යුගය වනතාක් නිවැරදි ලෙස සංවර්ධනය නොවූවක් වූව ද ඉන්දීය භාරතීය සමාජය තුළ දී එය වර්ෂ දෙදහස් පන්සියය ද ඉක්මවූ තරම් අතීතයට දිවයන මාතෘකාවකි. 

එකල ඉන්දීය සමාජයේ විසූ විවිධ දාර්ශනිකයන්,ශාස්තෲවරුන් මනස ගැන විවිධ විග්‍රහ සිදු කර ඇත.චාර්වාක වැනි බුද්ධ කාලයට පෙර විසූ භෞතිකවාදීන් මෙන් ම බුද්ධකාලය වන විට විසූ අජිත කේශකම්බල,පකුධ කච්චායන,පූරණ කස්සප වැනි නියතිවාදී,අකිරියවාදී හා භෞතිකවාදී මත දැරූවන් මනස ගැන ප්‍රතිවිරුද්ධ, ඇතැම් විට මනස යනුවෙන් භෞතිකත්වයෙන් ඔබ්බෙහි පිහිටි යමක් නොමැති බව පිලිගත්තවුන් ද බොහෝ සිටියහ. එසේ ම ආලාර කාලාම, උද්දකරාම පුත්ත වැනි මනස යම් යම් අවස්ථාවන් දක්වා දියුණු කළවුන් ද භාරතීය සමාජය තුළ තම ආචාර්‍යවාදයන් ශිෂ්‍යයන්හට උගන්වමින්,පුහුණු කරමින් සිටි බව ද බෞද්ධ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී දක්නට ලැබේ. 

 බෞද්ධ දර්ශනය පදනම් වන්නේ ම මනස හා එය දමනය කරගන්නේ කෙසේ ද යන කරුණ මත බව බුදුන් වහන්සේ බුද්ධ දේශනාව අධ්‍යනය කිරීමේ දී පෙනී යයි.බුදු දහම හා බෞද්ධ මනෝ විද්‍යාව යනුවෙන් දෙකකට බෙදා වෙන් කරනවාට වඩා එය මාතෘකා දෙකක් නොව එකක් ම වන බව විද්‍යාමාන වෙයි. 
සියළු බුදුවරුන්ගේ අනුශාසනය නම් වූ ඕවාද ප්‍රාතිමෝක්ෂය තුළින් ද විද්‍යාමාන වනුයේ භික්ෂු සමාජය තුළ සිටින සෑම සාමාජිකයෙක් ම අන්‍යයන් හට ශාරීරික ව හෝ මානසික ව බාධාවක්,හිරිහැරයක් නොවී සියළු දෙනාගේ මානසික නිදහස ගරු කරමින් මානසික සහනය ලඟා කරගැනීමට අවශ්‍ය උපදෙස් පෙළකි. 


 "සබ්බ පාපස්ස අකරණං 
කුසලස්ස උපසම්පදා 
සචිත්ත පරියොදපනං 
ඒතං බුද්ධාන සාසනං" 

 ( සියලු පව් නොකිරීම ද, කුසල් ඉපදවීම හා වැඩීම ද, තම සිත පිරිසුදු කරගැනීම ද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.) 

 "ඛන්තී පරමං තපො තිතික්ඛා 
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා 
න හි පබ්බජිතො පරූපඝාතී 
සමණො හොති පරං විහෙඨයන්තො" 

 (ඉවසීම උතුම් තපස යි. බුදුවරයන් වහන්සේලා නිවන උතුම් කොට වදාරති. අනුන් තලන පෙලන පැවිද්දා මහණෙක් නොවේ.) 

 "අනූපවාදො අනූපඝාතො 
පාතිමොක්ඛෙ ච සංවරො 
මත්තඤ්ඤුතා ච භත්තස්මිං 
පන්ථං ච සයනාසනං 
අධිචිත්තෙ ච ආයොගො 
එතං බුද්ධාන සාසනං" 

 (අනුන්ට උපවාද නො කිරීම ද, හිංසා නො කිරීම ද, ප්‍රාතිමෝක්ෂ සංවරය ද, ආහාරයෙහි පමණ දන්නා බවද, විවේක සෙනසුන් හි ඇල්ම ද සමවත් වැඩීමේ යෙදීම ද කළ යුතු ය. යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.) 


 ඉහත ගාථා පෙළින් ශාරීරික මෙන් ම මානසිකව අන් අයට පීඩා කිරීමෙන් වැළකී කටයුතු කිරීම අගය කොට දක්වයි, යමෙක් හට තවත් යමෙකුට හිංසා කිරීමට සිතෙන්නේ ම තමා තුළ පවත්නා අකුසල් සිතිවිලි මත ය.එසේ ම පීඩාව ලබන්නා ද කායික ව මෙන් ම මානසිකව ද එයින් පීඩනයට පත් වේ.කායික ව යම් සත්වයෙකුට පීඩාවක් කළ ද එම පීඩාව ලැබූ තැනැත්තා මානසික ව ද විඳවන මට්ටමට පැමිණේ,එබැවින් බුද්ධ දේශනාවේ පදනම වනුයේ තම සිත පිරිසිදු කර ගනිමින් අනුන්ට හිංසා,පීඩා නොකර යහපත් දිවි පෙවෙතක් ගත කිරීමයි.එය තමාගේ මානසික නිදහස සාක්ෂාත් කරගැනීමට මෙන් ම අන්‍යයන්ට පීඩාවක් නොවී ජීවත් වන යහපත් සමාජයක් ගොඩනැගීමට ද හේතුවක් වේ.



බුද්ධ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ රෝග ගැන සඳහන් කරන අවස්ථාවේ දී සත්වයාට ඇති රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි, එය වත්මන් වෛද්‍ය විද්‍යාත්මක බෙදා දැක්වීම අනුව ද නිවැරදි වේ.


"ද්වෙමෙ, භික්ඛවෙ, රොගා. කතමෙ ද්වෙ? කායිකො ච රොගො චෙතසිකො ච රොගො. දිස්සන්ති, භික්ඛවෙ, සත්තා කායිකෙන රොගෙන එකම්පි වස්සං ආරොග්‍යං පටිජානමානා, ද්වෙපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, තීණිපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, චත්තාරිපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, පඤ්චපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, දසපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, වීසතිපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, තිංසම්පි වස්සානි ආරොග්‍යං පටිජානමානා, චත්තාරීසම්පි වස්සානි ආරොග්‍යං පටිජානමානා, පඤ්ඤාසම්පි වස්සානි ආරොග්‍යං පටිජානමානා, වස්සසතම්පි, භිය්‍යොපි ආරොග්‍යං පටිජානමානා . තෙ, භික්ඛවෙ, සත්තා සුදුල්ලභා  ලොකස්මිං යෙ චෙතසිකෙන රොගෙන මුහුත්තම්පි ආරොග්‍යං පටිජානන්ති, අඤ්ඤත්‍ර ඛීණාසවෙහි."

(මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කායික රෝගය, චෛතසික රෝගය යන දෙකයි.
කායික රෝගයෙන් එක් වර්‍ෂයක් නීරෝගීකම ප්‍රතිඥා කරණු ලබන, වර්‍ෂ දෙකක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ තුනක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සතරක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ පසක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, දසවර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, විසි වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, තිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, හතලිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, පනස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සියයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, සත්ත්‍වයන් දකිත්.
යම්කිසි කෙනෙක් චෛතසික රෝගයෙන් මොහොතක් නමුත් නීරෝගීකම ප්‍රතිඥා කරත්ද, ක්‍ෂීණාශ්‍රවයන් හැර ඒ සත්ත්‍වයෝ දුර්‍ලභ වෙත්.)
- අ‍ංගුත්තර නිකාය,චතුක්ක නිපාතය,ඉන්ද්‍රිය වග්ගය,රෝග සූත්‍රය


බුද්ධ දේශනාවට අනුව සාමාන්‍ය පෘථග්ජන සත්වයා උම්මත්තක බව සදහන් වේ (සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා විය දිස්සන්ති).
එයට හේතුව කෙලෙස් සහිත පෘථග්ජන සත්වයා තමා කැමති අරමුණු සමඟ බැඳීම් ඇති කරගනිමින්, තමා අකමැති අරමුණු සමඟ ගැටීම් ඇති කරගනිමින් ජීවත්වන කාලය තුළ ඇලීම් ගැටීම් නිසා විඳවන මානසික තත්වයෙන් පසුවීමයි.
බුද්ධ දේශනාව අත්හැරීම මත පදනම් වන බැවින් සෑමවිටම තමා සතු හා තමා අවට පවතින සියළු ලෝකය අනිත්‍ය බව,ඔනෑම මොහොතක විනාශ විය හැකි බව දැන ඒවා කෙරෙහි බැඳිමක් ඇති කර නොගෙන ජීවත් වීම අනුමත කරයි.
එසේ නොමැති ව අනිත්‍යය බව දැන කළකිරීමෙන් ජීවත් වීමක් කිසි විටෙක බුදු දහමේ උගන්වා නොමැත, කළකිරීම තුළ ද ඇත්තේ එක්තරා ආකාරයක ගැටීමකි,එසේ කලකිරීමෙන් යුතු ව සියල්ල කායික ව අත්හැර ජීවත් වීම ජෛන මහාවීරගේ නිඝන්ඨ ධර්මය තුළ අගය කරන කරුණක් මිස බුද්ධ දේශනාව තුළ දැක්වෙන ඉගැන්වීමක් නොවේ.බුද්ධ දේශනාව තුළ සියල්ල අනිත්‍යය බවත් දැන සියල්ල මනසින් අතහැර ජීවත් වීම අගය කරයි.මිගජාල සූත්‍රය මේ සඳහා හොඳ ම උදාහරණයකි.

“ස්වාමීනි, ‘එකවිහාරි ඒකවිහාරී’ යයි හෙවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි එකලාව වාසය කරන්නේ වේද? කොපමණකින් දෙවැන්නෙක් සහිතව වාසය කරන්නේ වේද?” කියායි.

“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ."
.......................................................
“මිගජාලය, මෙසේ වාසය කරන්නාවූ මහණතෙම හුදෙක් භික්‍ෂූන්ගෙන්, භික්‍ෂුණීන්ගෙන්, උපාසකවරුන්ගෙන්, උපාසිකාවරුන්ගෙන්, රජුන්ගෙන්, රජ මහ ඇමැතියන්ගෙන්, තීර්ත්‍ථකයන්ගෙන්, තීර්ත්‍ථක ශ්‍රාවකයන්ගෙන් ගැවසීගත්තාවූ ගම්වල වාසය කෙරේද, එතකුදුවුවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
ඊට හේතු කවරේද? තෘෂ්ණාව වනාහි ඔහුගේ දෙවැන්න වේ. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවාය. එහෙයින් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේය” යයි (වදාළ සේක.)

සම්පූර්ණ සූත්‍රය මෙතනින් >>> මිගජාල සූත්‍රය


බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක දී ධර්මය තරම් ඖෂධයක් මෙලොව තුළ නොමැති බවත්, එය පානය කරන ලෙසත් දේශනා කළ සේක.
"ධම්මෝසධ සමං නත්ථි, ඒතං පිබථ භික්ඛවෝ" (මහණෙනි, ධර්මය හා සමාන ඖෂධයක් නොමැත, එය පානය කරව්.)
ලොව පවත්නා කායික රෝගවලට බොහෝ ඖෂධ දක්නට ලැබේ, ඒ ආකාරයට සත්වයාට කායික හා මානසික රෝග උපදින්නේ සංසාරය තුළ මැරි මැරී උපදින නිසා ය, ඉපදීම නවතා දැමුවහොත්, එනම් නිවන් මාර්ගය සාක්ෂාත් කර ගතහොත් නැවත ඉපදීමකට නොපැමිණේ.එම නිසා නැවත කායික හෝ මානසික රෝග වැළඳීමට සත්වයෙක් නොමැත.ධර්මය නම් ඖෂධය පානය කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ එම ධර්ම මාර්ගය තුළ ගමන් කර,නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ ඇතැම් අයට තම ධර්මය දේශනා කරන ලද්දේ ද මනෝවිද්‍යාත්මක ක්‍රම අනුගමනය කර ගනිමිනි,
කිසා ගෝතමිය තම මළ දරුවාට නැවත ප්‍රාණය ලබා දෙන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලු විට බුදුරජාණන් වහන්සේ ඇයට එය කළ නොහැක්කක් බවට සෘජුවම පිළිතුරු නොදී ඇයට ම තේරුම් ගැනීමට හැකි වන ලෙස දරුවාට නැවත ප්‍රාණය ලබා දීමට නම් කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන ලෙස ප්‍රකාශ කළ හ.
එවිට ඇය එසේ කිසිවෙකු නොමළ ගෙයක් සොයා ගිය විට එසේ කිසිවෙකු නොමළ ගෙයක් නොමැති බව අවබෝධ කරගෙන මරණය තම පුත්‍රයාට පමණක් නොව සියල්ලන්ට ම පොදු කරුණක් බව අවබෝධ කරගන්නේ අත්දැකීමෙනි.
ඇය දරුවාට ප්‍රාණය ලබා දෙන ලෙස ඉල්ලූ විගස ම බුදුරජාණන් වහන්සේ එය කළ නොහැක්කක් බව දේශනා කළා නම් ඇය බුදුරදුන් කෙරෙහි ද කළකිරී තවත් ශාස්තෲවරුන්, වෛද්‍යවරුන් සොයා ගොස් නිරර්ථක උත්සහයක් දරනු ඇත.නමුත් ස්ථානෝචිත ව ඇයගේ මනසේ ස්වාභාවය දැන ඊට අනුව බුදුරජාණන් වහන්සේ ඇයට ම එය තේරුම් ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් අවසන ඇයට සත්‍ය වටහාගැනීමට හැකි විය.
එසේ ම සැරියුත් තෙරණුවන්ගේ ශිෂ්‍යයෙකු වූ ස්වර්ණකාරක තෙරුන්ට සත්‍ය වටහාදීමට කටයුතු කළ ආකාරය ද බුදුරදුන් තුළ විවිධ පුද්ගලයන්ගේ මනස තේරුම් ගෙන ඊට අනුව සුදුසු පිලියම් යෙදීමට හොද ම උදාහරණයකි.
ස්වර්ණකාරක භික්ෂුව පෙර රන් කරුවෙක් වූ බැවින් ඔහුගේ සිත ප්‍රසන්න අරමුණු කෙරෙහි ම නිතර යොමු වූවකි.
සැරියුත් තෙරුන් ළඟ ස්වර්ණකාරක භික්ෂුව පැවිදි වූ දා පටන් විවිධ අසුභ අරමුණු හරහා කමටහන් වැඩීමට ලබා දුන්න ද තුන් මසක් ගතවන තුරු ම ඒවාගෙන් ඵල ප්‍රයෝජනයක් නොවී ය.
අවසානයට බුදුරජාණන් වහන්සේ සමීපයට රැගෙන ගිය ස්වර්ණකාරක භික්ෂුවට බුදුරජාණන් වහන්සේ කමටහනක් ලෙස ලබා දෙන්නේ පොකුණෙහි පිපී දිය බේරෙන ප්‍රසන්න පෙනුමැති නෙළුම් මලකි.එය දෙස බලා සිටින භික්ෂුව අවසානයට එම නෙළුම කොතරම් ප්‍රසන්න වූවත් අවසානයට පර වී යන ආකාරය දැක යථාර්ථය අවබෝධ කරගනී.

මේ අනුව බලන කල මුළු බුද්ධ දේශනාවම මනස පදනම් කර ගනිමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් පෙළක් ලෙස ද අර්ථ දැක්විය හැකි ය.එය එක් දිශානතියක් නියෝජනය කරන්නක් නොව එකළ පැවති කුළ භේදය,ස්ත්‍රී-පුරුෂ භේදය ආදිය පමණක් නොව භූමිය පදනම් කරගත් බෙදීම් දෙස පවා විනිවිද දැක ඒ සියල්ලේ යථා ස්වාභාවය අවබෝධ කොට දී සියළු සත්වයන්ගේ මානසික නිදහසට මුල් තැන දෙමින් බිහි වූ විප්ලවවාදී දර්ශනයක් ලෙස දැක්විය හැකි ය.


Article writer - G Mangala thero