Tuesday, May 4, 2021

21 වන සියවසෙහි සංවර්ධන කුසලතා - C4 සංකල්පය




           21 වන සියවසයේ පන්ති කාමරය කුමන ආකාරයෙන් වෙනස් විය යුතුද යන්න කෙරෙහි අවධානය යොමු කිරීමේදී C 4 සංකල්පයෙහි උපයෝගීතාවය මෙහිදී විශේෂයෙන් වැදගත් වේ. එම නිසා C 4 සංකල්පය යනු කුමක්ද යන්න කෙරෙහි පළමුව අවධානය යොමු කරමු.


* C 4 සංකල්පය 

1. විචාරාත්මක චින්තනය ( Critical thinking ) 

2. සහයෝගීතාවය ( Colloboration ) 

3. සන්නිවේදනය ( Communication ) 

4. නිර්මාණශීලීත්වය ( Creativity ) 


           අනුමාන කිරීම්, තර්ක කිරීම්, තර්කනය, විශ්ලේෂණය කර සංසන්දනය කිරීම, යම්කිසි දෙයක් හොද සහ නරක පැති විචාරාත්මකව බලන්න පුලුවන් තත්ත්වයක් නිර්මාණය කිරීම, ක්ෂණිකව නොව සිතීමේ හැකියාව, තර්කානුකූලව සංසන්දනාත්මකව විග්‍රහ කිරීම, ස්වයං අධ්‍යයනය, ස්වයං චින්තනය, යමක් විග්‍රාහාත්මකව සිතීම, විචාරාත්මකව සිතීමේ හැකියාව විචාරාත්මක චින්තනයි. එසේම තමන්ගේ ගැටලු විසඳාගැනීමේදි තමන් කියවා තිබෙන දෙයක් හෝ, ඉගෙනගෙන තිබෙන දෙයක් හෝ ප්‍රයෝජනයට ගෙන සුදුසු තිරණයක් ගැනීමට විනිශ්චය කිරීමට, අවස්ථාව උචිත පරිදි අනුමාන කිරීමට පුළුවන් හැකියාව, නිගමනාත්මක තර්කනය, තර්ක කිරීමට ඇති හැකියාව විචාරාත්මක චින්තනයයි. මෙහිදී විචාරාත්මක චින්තනයෙන් බලාපොරොත්තු වනුයේ; සංකීර්ණ පද්ධති විශ්ලේෂණය කර සමස්ථයක තිබෙන කොටස් එකිනෙක සමග අන්තර් ක්‍රියා කරන අන්දම නීර්ණය කිරීමට හැකි වීමයි.  (e.g. ගුරුවරයා ශිෂ්‍යයාට අධ්‍යයනය ලබා දීමට ප්‍රථම සැලසුම් කිරීම සිදු කල යුතුයි.)

            ඉලක්ක සපුරා ගැනීම සදහා එකට එකතු වී වැඩ කිරීම, කිසියම් දෙයකට සහභාගී වීමේ කැමැත්ත සහයෝගීතාවයයි. 

           සන්නිවේදනය යනු නිර්මාණාත්මක සහ විචාරශීලි සංවාදයෙහි නිරත වීම, තම සිතුවිලි ප්‍රශ්න සහ කල්පනා විවිධ පරිසරයන් තුළදී බෙදාහදා ගැනීම සහ සිතුවිලි වලට සවන්දීමයි. e.g. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉගැන්වීම., භාෂාවක් භාවිතා කර ගෙන කථා කිරීම, අදහස් හා ආකල්ප හුවමාරුවක් සිදු කිරීම, පොත් පත් හා පුවත්පත් මගින් දැනුම ලබා ගැනීම.

        කුතුහලය, පරිකල්පනය, අවදානම් භාරගැනීම සහ සුනම්‍යතාව පෙන්නුම් කරන කල්පනා ගොඩනැගීම නිර්මාණශීලීත්වයයි. (e.g. අලුත් ආකාරයට සිතීම, තවත් අයෙකුට රසවින්දනයක් ඇති වන ආකාරයට ඉදිරිපත් කිරීම., පවතින දේ වුවත් අලුත් ආකාරයකට සිතා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව, යම් දෙයක් දෙස විමසිලිමත්ව බලා එය පවතින ආකාරයට වඩා වෙනස් ලෙස නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඇති හැකියාව.)


21 වන සියවසෙහි පන්ති කාමරයක් තුලින් බලාපොරොත්තු වන්නේ සියලුම සිසුන් ගෝලීය ප්‍රජාවෙහි ක්‍රියාකාරී සහභාගී කරුවන් බවට පත්වීමට සූදානම් කිරීමයි. විද්වතුන්ගේ මෙන්ම බොහෝ දෙනාගේ අදහස වනුයේ ඒ සදහා විශේෂයෙන් C4 සංකල්පය,  R3 සංකල්පය,  [කියවීම (Reading), ලිවීම (Writing), අංක ගණිතය (Arithmetic) ] යනාදිය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

     21 වන සියවසෙහි පන්ති කාමරය ශිෂ්‍ය කේන්ද්‍රීය, ව්‍යාපෘති පාදක කරගෙන, යාවජීව අධ්‍යාපනය පදනම් කරගෙන ක්‍රියාත්මක විය යුතු ය. මක්නිසාද දැන ගැනීමට ඉගෙන ගැනීම, යමක් කිරීමට ඉගෙන ගැනීම, ජීවත් වීම සදහා ඉගෙන ගැනීම, එකට ජීවත් වීම සදහා ඉගෙන ගැනීම යන අධ්‍යාපනයේ කුලුණු හතර යාවජීව අධ්‍යයනය හා සම්බන්ධ වන නිසාවෙනි. යාවජීව අද්‍යාපනය යනු සමස්ථ ජීවිත කාලය සිසාරා ම ඵලදායී වූ අඛණ්ඩ ඉගෙනීමකට යොමුවීමයි.  තවත් ලෙසකින් අර්ථ දක්වන්නේ නම්; දැඩි පෞද්ගලික හෝ වෘත්තිය හේතූන් මත අඛණ්ඩව ස්වේච්ඡාවෙන් හා ස්වයං අභිප්‍ර්රනයෙන් දැනුම ලබා ගැනීම (යාවජීව අධ්‍යාපනය සදහා ආයතනය. යුනෙස්කෝ.) යාවජීව අධ්‍යාපනයයි. 

           තවද මෙහිදී ඇගයීම් ක්‍රියාවලිය තුළින් ( ඇගයීම් ව්‍යාපෘති මගින් ) ශිෂ්‍යයාගේ කුසලතා සංවර්ධනය කර ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම ගුරුවරයා විසින් කළ යුතු වේ. ගෝලීය අධ්‍යාපනයට ගැලපෙන ශිෂ්‍යයෙක් නිර්මාණය කළ යුතුයි. සැබවින්ම ඒ සදහා ශිෂ්‍යයා අදාල තත්ත්වයන්ට පත් කිරීමට නම් ගුරුවරයා විසින් කළ යුත්තේ කුමක්ද ? 

* ශිෂ්‍යයාට පන්ති කාමරය තුළදී... විවිධ ක්‍රියකාරකම්, තාක්ෂණික විශයන්, භාහිර ක්‍රියකාරකම් තුළින් වෘත්තිය පුහුණුවට යොමු කිරීම.

* ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබා දීම.

*දෙවන භාෂාවක් ඉගැන්වීම.

*තාක්ෂණික විෂයන් විෂය මාලාවට එක් කිරීම.

* අලුත් විෂයමාලා නිර්මාණය කිරීම.

* තක්සේරුකරණ ක්‍රමයෙහි පැවති සහ පවතින තත්ත්වය නව්‍ය ආකාරයට වෙනස් කිරීම...ect.

      තක්සේරුකරණය කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු වේ. එනම් සරලව ම දක්වන්නේ නම් විභාග සදහා ලකුණු ලබා දෙනුයේ කෙසේද ? සහ ඇගයීම් සිදු කරන ආකාරය පිළිබඳව තක්සේරු ක්‍රමයන්හි නවීකරණයක් හා විවිධත්වයක් තිබිය යුතුයි. එමගින් සෞන්දර්ය, මානව දයාව, සදාචාරය, සහජය, ප්‍රතිභාව වැනි නිර්මාණාත්මක කුසලතා තක්සේරුකරණය කළ යුතුයි. නමුත් තක්සේරු ක්‍රම වම් මොළය පරීක්ෂා කිරීමට පමණක් යොදාගෙන තිබේ. දකුණු මොළයට වැඩි ප්‍රමුඛස්ථානයක් නොදී දකුණු මොළය නොසලකා හැර තිබේ. නමුත් විය යුත්තේ 21 වන සියවසෙහි තක්සේරුකරණයේදී ශිෂ්‍යයාගේ දකුණු මොළයේ ක්‍රියාකාරීත්වයට ද ඉඩ ලබා දීමයි. එමගින් ශිෂ්‍යයාගේ වම් මොළයේ ක්‍රියාකාරීත්වය නොසලකා හැරිය යුතුය යන්න අදහස් නොවේ. 

[ වම් මොළය = ගණිත, සූත්‍ර, කටපාඩම් කර විභාග සදහා සූදානම් වීමට ඉදිරිපත් කරන කරුණු.,

දකුණු මොළය = නිර්මාණශීලී හැකියාවන් , අලුත් නිර්මාණ, නව අදහස් සදහා ප්‍රමුඛත්වය දීම. ] 


            මෙසේ තක්සේරුකරණ ක්‍රම 21 වන සියවසෙහි පන්ති කාමරය තුළදී වෙනස් කළ යුතු වේ. එනම් විභාග පවත්වා ලකුණු ලබා දෙන ක්‍රම වෙනස් කළ යුතුයි.

          ඉදිරියේදී  අධ්‍යාපනයට යොමු වන ශිෂ්‍යයන් යොමු කළ යුත්තේ කුමක් සදහා ද ?  ඒ සදහා කෙසේ ශිෂ්‍යයන් හැඩගැස්විය යුතුද යන්න කෙරෙහිද මෙහෙදී අවධානය යොමු කළ යුතු ය. මක්නිසාද සාම්ප්‍රදායික සූත්‍ර න්‍යාය කටපාඩමින් ප්‍රකාශ කරන  ළමයෙකු නොව 21 වන සියවසයේදී ගෝලීයකරණයට සුදුසු දරුවෙක් නිර්මාණය කළ යුතු වීමයී. 


            21 වන සියවසෙහි කුසලතා පාසල් අධ්‍යාපනයේ සහ ශාස්ත්‍රීය සියලුම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ කෙරේ. ඒ සදහා අනුගමනය කරන ක්‍රම අතරින් විෂය ක්ෂේත්‍ර පාඨමාලාවන්හීදී ද, ගුරුවරුන් තිරස් ශික්ෂණ කුසලතාවන් වර්ධනය අරමුණු කරගැනීම කළ යුතු වේ.


තිරස් ශික්ෂණ කුසලතාවය යනු කුමක්ද ? 

           ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී එක් විෂයක් උගන්වන විට එම විෂයට සමගාමීව.. ඒත් සමගම වෙනත් හැකියාවන් දියුණු කිරීමයි. එනම් අදාල විෂයට සමගාමීව වෙනත් විෂයන් සදහාත් භාවිතා කළ හැකි කුසලතාවයන් වර්ධනය කිරීමයි.

e.g. *විද්‍යාව විෂය උගන්වන විට Computer Science අංශයේ ද දැනුම, ඒ ඒ හැකියාවන් දියුණු කිරීම. 

* විද්‍යා පාඨමාලාවකදී වෙනත් විවිධ පර්‍යේක්ෂණ ක්‍රම භාවිතා කිරීම.

*තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම ඉගෙන ගැනීම.

* ලැබ් වල පරීක්ෂණ සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීම.

* නවීන තාක්ෂණය, මෘදුකාංග, වැඩ සටහන්, ග්‍රැෆික්, බහු මාධ්‍ය ප්‍රයෝජනයට ගැනීම.

                              මෙවැනි දෑ මගින් තිරස් ශික්ෂණ කුසලතාවය වර්ධනය කිරීම සිදු කෙරේ.


       21 වන සියවසේ කුසලතා ඉදිරියෙහි ඇති අභියෝග සහ ඒවාට ගත හැකි විසදුම්  කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් වේ. 

* තාක්ෂණික වශයෙන් සියලුදෙනාටම පහසුකම් නොමැති වීම.e.g. ග්‍රාමීය වශයෙන් තාක්ෂණික පහසුකම් අඩු නිසා ඒ සදහා හැඩ ගැසීම සදහා වැඩි කාලයක් ගත වීම. 

* ගුරු පුහුණුව නැතිකම.

            මෙහිදී ගුරු පුහුණු පාඨමාලා සකස් කිරීමේ අවශ්‍යතාවය පවතී. සැබවින්ම ගුරුවරයා හොදින්ම දන්නා කාරණයක් වන්නේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ඔවුන් හට යම් සහයක් අවශ්‍ය බව. මෙහිදී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රියාවට නන්වන විට පැනනගින ගැටලු නිරාකරණය කර ගැනීම සදහා පුහුණුවක් සහ එම පුහුණුව ගුරුවරුන්ගේ වෘත්තිය සංවර්ධනයට ඇතුළත් කළ හොත් සැලසුම්කරණය, ක්‍රියාත්මකකරණය ආදී ප්‍රශ්න රැසකට විසදුම් සොයා ගත හැක.


විෂයමාලා නිර්මාණයේදී එය දැනුමට පමණක් කේන්ද්‍ර කර ගැනීම.

e.g. -පහ ශේණියේ ශිෂ්‍යත්ව විභාගය ළමයාට පීඩනයක් වීම සහ විෂය පරාසය වැඩි වීම.

- කලින් කලට අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) , අ.පො.ස. ( උසස් පෙළ ) විෂය නිර්දේශය ලිහිල් කිරීම සහ විෂය පරාසය වැඩි කිරීම. උසස් පෙළ විෂය ප්‍රමාණය විෂයන් හතරේ සිට තුන දක්වා අඩු කිරීම. 

- ව්‍යාපෘති ක්‍රමය ලිහිල් කිරීම.

          යන මෙකි කාරණා නිසාවෙන් ඒ ඒ කාලවලදී ඒවායේ ගුණාත්මක බවට හානි වීම සිදු වේ. 

      එම නිසාවෙන් විෂය මාලා නිර්මාණය කිරීමේදී මනෝවිද්‍යාත්මකව සිතා විෂය මාලා නිර්මාණය කිරීමට යොමු වීම උචිත වේ. එසේම විෂය මාලාවක් සම්පාදනයේදී කුසලතා ඉගැන්වීමට සැලසුම් කිරීම මෙන්ම, දැනුම සහ කුසලතා යන දෙකම සමානව වැදගත් බවද සැලකිය යුතු ය. ඊට අමතරව ඉගැන්විය හැකි කුසලතා මොනවාදැයි පිළිබඳව අධ්‍යාපනය මෙහෙයවන්නන් යථාර්ථවාදී විය යුතු වේ. 


වඩා හොද තක්සේරු පරීක්ෂණයන්හී අවශ්‍යතාවය.

            තක්සේරු ක්‍රමවල නවීකරණයක් සහ විවිධත්වයක් තිබිය යුතු ය. වඩාත් සාරවත් ඉගැන්වීම සහ සංකීර්ණ ක්‍රියාවන් මැනීම සදහා අලුත් තක්සේරු ක්‍රම අවශ්‍ය ය.

            21 වන සියවසේ කුසලතා පන්ති කාමරය තුළ ' ඉගැන්වීම ' කෙසේ වෙනස් විය යුතු ද ? යන්න කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කළ යුතු වේ.

             ඒ අනුව ළමයාගේ මනසට වැඩියෙන් කථා කිරීමට හැකි වන පරිදි වීඩියෝ, ප්‍රසන්ටේෂන් වැනි දේවල් මගින් ඉගැන්වීම සිදු කිරීම, ඉගැන්වීමේදී ප්‍රායෝගිකත්වයට මුල්තැන දී සිදු කිරීම, කණ්ඩායම් ක්‍රියකාරකම් වල නිරත කරවීම (ශිෂ්‍යයාගේ වැරදි අඩුපාඩු එමගින් හදුනා ගැනීමට පහසුවෙන් හැකි වන නිසා එය සාර්ථක ඉගැන්වීම් ක්‍රමයකි.) , සහ ගුරුවරයට ශිෂ්‍යයා කෙරෙහි මනෝවිද්‍යාත්මක අවබෝධයක් පැවතිය යුතු වේ. මෙහිදී පළමුව ගුරුවරයා නිර්මාණශීලී විය යුතු වේ. තවද ගුරුවරයා විචාරාත්මක විය යුතුයි. 21 වන සියවසේ ගෝලීයකරණයට, ව්‍යාපාරකරණයට කුසලතා සංකල්පය යොදා ගැනීමට නම් ගුරුවරු අතර වැඩි සහයෝගයක් තිබිය යුතු සේම විශේෂයෙන්ම දක්ෂ ගුරුවරුන්ගේ දෙස බලා තවත් ගුරුවරයෙකු හට ඒ තුළින් යමක් ඉගෙන ගැනීමේ මානසිකවයක් තිබිය යුතුයි. සියලු ගුරුවරුන් තුළ අධිමානය නැති විය යුතුයි.

     ක්ෂණික තීරණ ගැනීමට හැකි වීම සහ ගුරුවරු විෂය මාලාව පිළිබඳව හසල දැනුමක් පැවතිය යුතුයි. ළමයාට දරා ගැනීමට හැකි විෂය මාලාවක් ලබා දීම සහ ළමයාගේ මට්ටමට ඉගැන්වීමට ගුරුවරයා දැන ගත යුතු වේ. අදාල ශිෂ්‍ය වයස් සීමාව තුළ අදාල ඉගැන්විය යුතු විෂය පරාසය කෙබදුද ? යන්න පිළිබඳව ගුරුවරයට අවබෝධයක් පැවතිය යුතුයි. 

         21 වන සියවසේ කුසලතා ගත් විට එක් එක් පුද්ගලයාට අනුව පාසලෙන් පාසලට කුසලතා වෙනස් විය හැක. මෙහිදී කුසලතා යනුවෙන් බලාපොරොත්තු වනුයේ; 

* විචාරාත්මක චින්තනය 

*ගැටලු නිරාකරණය කිරීම.

* පර්‍යේක්ෂණ කුසලතා භාවිතයෙන් විමර්ශනාත්මක ප්‍රශ්න කිරීම්. ( ළමයින්ගේ අදහස් එළියට ගැනීමට හැකි පරිදි ප්‍රශ්න සෑදීම. )

* නිර්මාණශීලීත්වය.

* කලා හැකියාවන් දියුණු කිරීම.

* කුතුහලය.

* පරිකල්පනය.

* ස්වයං මෙහෙයවීම.

* සැලසුම්කරණය.

* වාචික හා ලිඛ්ත සංනිවේදනය. ( සමහර ළමයින්  කථා කිරීමට අකමැත්තක් දැක්වීම හා ලිඛ්ත පර්‍යේක්ෂණ වඩාත් සාර්ථකව කිරීම. එවැනි ළමයින්ගේ එම දෙයංශයෙම එක සේ සංවර්ධනය උදෙසා ගුරුවරයට කණ්ඩායම් ක්‍රියකාරකම් සිදු කළ හැකි ය. ) 

                                                                                       යනාදියයි.

               තනිවම ඉදිරියට පැමිණීමට අකමැති ශිෂ්‍යයන්, තමන්ට නායකත්වය නොදුන හොත් වැඩ කිරීමට අකමැති ශිෂ්‍යයන් සමග ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදි ගුරුවරයට කටයුතු කිරීමට සිදු වේ. මෙහිදී එම එක් එක් ශිෂ්‍යයාගේ විවිධ දක්ෂතා, හැගීම් ඒවා ගුරුවරයා විසින් දැනගෙන නායකත්වය දිය යුත්තේ කුමනාකාරයේ ශිෂ්‍යයන් හටද ? , සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කුමන ආකාරයේ ශිෂ්‍යයන්ට ද ? යන්න හදුනා ගෙන ඒ ඒ ඉගැන්වීම් ඒ ඒ ශිෂ්‍යයාට ගැලපෙන පරිදි සකස් කිරීමට ගුරුවරයා දැනගත යුතු වේ. 

එසේම බහු සංස්කෘතියෙන් පැමිණෙන ශිෂ්‍යයන්ට ගැලපෙන පරිදි ඉගැන්වීම් වෙනස් කිරීමටද ගුරුවරයා දැන සිටීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. 

          21 වන සියවසේ කුසලතා පිළිබඳව විශාල උනන්දුවක් ඇතිවී ඇත්තේ; පාසල් සිසුන් හට අදාල වන සහ ප්‍රයෝජනවත් වන, ඕනෑම රටක, ඕනෑම ප්‍රදේශයක භාවිතා කල හැකි කුසලතා ඉගැන්විය යුතුය යන පදනම යටතේ ය. 20 වන සියවසේ සිසුන් විසින් ඉගෙනගත් කුසලතාවන්ට වඩා වෙනස්වූ ද, සංකීර්ණ, තරගකාරි දැනුම මූලික වූ සහ තාක්ෂණය විසින් මෙහෙයවනු ලබන ආර්ථිකයට සහ සමාජයකට සුදුසු වන්නා වූ කුසලතා ඉගැන්වීම මෙහි පරමාර්ථයයි. මක්නිසාද අධ්‍යාපනයේ අග්‍රඵලය වන්නේ සංවර්ධිත මිනිසා  නිසාවෙනි.


  

✍️ Article Writer :- Thushani Nilushika