Friday, May 29, 2020

ජීවිතය ජය ගන්නේ කෙසේද ?



ජීවිතය නම් බාධක , කම්කටොලු මැඩගෙන ඉදිරියට වීර්යය වඩාගෙන  යන ගංගාවක් නම් එහි මූලික පරමාර්ථය වනුයේ සප්ත මහා සාගරය තුළට එක් වීමයි.ගංගාවක් සෑම විටම ගල්පර තුළින් සහ වෙනත් දෑ තුළින් ගමන් කරන්නේ එය තමන්ට බාධාවක් නොකරගෙන තමන්ගේ ඉලක්කය උදෙසා ගමන් කිරීමට තිබෙන බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි.

උසස් මනසකින් යුත් මිනිසා යන පුද්ගලයා ද එසේය.අප සියල්ලෝම මිනිසුන් වශයෙන් බොහෝ සිතුම් ,පැතුම් , අභිලාෂයන් සිතේ පෙරදැරි කරගෙන ජීවත් වෙයි.අප සැමවිටම බලාපොරොත්තු ගොන්නක් ජීවිතය තුළ රදවාගෙන ඉදිරියට යෑමට උත්සාහ කරයි.
මිනිසා උත්සාහය තුළින් බලාපොරොත්තු වන්නේ ජීවිතය ජය ගැනීම නොවේද? 
මෙලෙස ජීවිතය ජය ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවක ම සිත,කය හා වචනය යන ත්‍රිවිද්වාර මූලික කරගෙන උපරිම වශයෙන් උත්සාහ දරන මිනිසා එය භෞතික හා අධ්‍යාත්මික වශයෙන් ද ජය ගැනීමට උත්සාහ දරන බව මේ සමාජයේ සිටින විවිධ පුද්ගලයන් නිරීක්ෂණය කිරීමෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබෙයි.

එසේ නම් ජීවිතය ජය ගත්තා යැයි අපට සතුටු විය හැක්කේ කුමන අංශය තුළින් අප උත්සාහ දැරුවොත් ද යන වග අපට තේරුම් ගැනීමට අපහසු නොවේ.එනම් සැබෑ ලෙසටම ගත් කල ජීවිතය ජය ගත්තා යැයි පවසන්නේ මෙම අංශ දෙකෙන් ම අප ජය ගත්තොත් පමණි.

මිනිසුන් සෑම විටම ලෞකික අංශයෙන්  පමණක් ජය ගැනීමට උත්සාහ දරයි.මෙහිදී එදිනෙදා ජීවිත් වීමට අපට අවශ්‍ය බාහිර දේ සමග ඉන්ද්‍රියයන් ඇසුරු කරගෙන ඉන්ද්‍රිය ගෝචර වන ආකාරයට පහසු, යහපත්, හොඳ සහ සැපවත් ආකාරයට ජීවත් වීමට ලැබෙන දේවල් ම ලැබෙනවානම් පමණක් අප සතුටට පත් වෙයි.මෙහිදී ජීවිතය විදවන දෙයක් නොවන බවත් විදිය  යුත්තක් ලෙස සිතා අප නිරන්තරයෙන් කටයුතු කිරීමට පෙළඹේ.

නමුත් සෑම විටම එකම ආකාරයෙන් අපට මෙලෙස සතුටට පත් වී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැත.අප  නොසිතෙන ආකාරයෙන්, නොසිතෙන මොහොතක අපට නොගැළපෙන දෑ අපගේ ජීවිතයට ළං වේ.ඒවා ඉවත් කර ගැනීමට අප බුද්ධියෙන් සිතා  අපරමිත උත්සාහයක්, කැපවීමක් හා මහන්සියක් සිදු කිරීම තුළින් අපගේ ජීවිතය ජය ගැනීමට පහසු වේ.

ආධ්‍යාත්මික වශයෙන් ජීවිතය ජය ගැනීම යනු විශිෂ්ට ලෙස සදාතනික සුව පහසුව ලබා ජීවිතය ජය ගැනීමයි.මෙම ජය ගැනීම අප කාටත් ලේසියෙන් ලබා ගත නොහැකි දෙයකි.මිනිසා සෑම විටම පරාජයට පත් වන්නේ භෞතික වගේම  ලෞකික දේ ම පමණක් ලබා ගැනීමට උත්සාහ දැරීම තුළිනි.
අප මෙම පරාජය තුළින් සිතට ගත යුතු එක් කරුණක් ඇත.එනම් අප විසින් කළ යුත්තේ ලෞකික  වශයෙන් ජීවිතය ජය ලබන අතර ම ආධ්‍යාත්මික ජීවිත ජයග්‍රහණය ලබා ගැනීමට ද කටයුතු කිරීමයි.නැතිනම් ලබන ජයෙන් කිසිදු  පලක් නැත.

 සිත තුළ නිතරම අරමුණු වන්නේ  ජීවිතය සාර්ථක කර ගැනීමයි.දිනා ගැනීමයි.නමුත් බොහෝ පුද්ගලයන්ට තිබෙන ගැටලුව වන්නේ සෑම විටම පැරදීමට , අසාර්ථකත්වයට ලක් වන්නේ ඇයි ද යන්නයි.එනිසා ජීවිතය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න වග ඔවුන්ගේ මනසට වද දෙන ප්‍රධාන කාරණාවක් වේ.

අප පරාජය තුළින් දුකට පත් වෙයි.අසාර්ථකත්වය බාර ගැනීමට ද සිදු වේ.එසේම දිනා ගත් දෙයක් දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතා අසීරුයි.යම් දෙයක් අපි දිනා ගත්තත්  ඊළගට අපගේ තිබෙන බලාපොරොත්තුව දිනා ගැනීමට නොහැකි වී පරාජය වේ.
එසේ කියා අප උත්සාහය අත් නොහළ යුතුයි.අප මුලින් ලබා ගත් සාර්ථකත්වයන් , දිනා ගත් දෑ වර්තමානයේ පරාජය වූවා කියා අත් හැරීම සාර්ථක පුද්ගලයකුගේ ක්‍රියා කලාපය නොවේ.

අප බුදු දහම තුළින් ඉගෙනගත් එක් යථාර්ථයක් ඇත.එනම් ලැබීම්,නොලැබීම් කියා  දෙයක් තිබෙන බවයි.නොලැබීම් තුළින් ලැබෙන දුක ලැබූ ජය තුළින් සමනය කර ගැනීමට ක්‍රියා කිරීම අප  කළ යුතුයි.
ඒ සමගම දෙවන ජයග්‍රහණය නොලැබී යෑමට බලපෑ හේතුව කුමක්ද යන්න අවබෝධ කරගෙන සිත සන්සුන්ව නැවතත් එයට උත්සාහ කිරීම තුළින් ඒ මිනිසාට  එය ජය ගැනීමට හැකි වේ.

අප ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබාගෙන ඇත්නම් යහපත් අරමුණින් , උත්සාහයෙන් , උනන්දුවෙන් දිනා ගත් දෙය දිගින් දිගටම රැකගැනීමත් ,ඉන් පසුව එය තවත් සිතට ශක්තියක් කරගෙන අනාගතය තුළ දී දිනීමට, දිනා ගැනීමට ඇති දේවල් සම්බන්ධයෙන් ඉතා හොඳ සැලසුමක් ඇති කර ගැනීමටත්  හැකියාව ලැබෙයි.අප අපගේ සිත යහපත් අරමුණින් දියුණු කරගෙන ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය හා ප්‍රඥාව වඩවාලමින් ජීවිතය තුළින් ජයග්‍රහණය ලැබීමට උත්සාහ කළ යුතුයි.

මිනිසුන් සිතන පතන ආකාරය එකිනෙකට වෙනස්.ඔවුන්ගේ බලාපොරොත්තු ද වෙනස් වේ.නමුත් ඒ එකිනෙකට වෙනස් සෑම බලාපොරොත්තුවක් ම යහපත් අරමුණු පෙරදැරි කරගෙන ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන විට ඒ බලාපොරොත්තු කා හටවත් හානියක් නොවේනම් අනිවාර්යයෙන් තමන්ට ජය අත් කර ගැනීමට ලැබේ.අපරමිත වීර්යයක් හා උත්සාහයක් ගනිමින් විශ්වාසය තබා කටයුතු කළ යුතුයි.එවිට දිනිය හැකිය.ඉන්පසුව තමාගේ ජීවිතය ඊළගට දිනා ගැනීමට අවැසි දේ පිළිබඳ සිතිය යුතුය.එම ජයග්‍රහණය ද මුළින් සදහන් ආකාරයට ආධ්‍යාත්මික වශයෙන් ජය ගැනීමට උත්සාහ කළ යුතුයි.සිහි බුද්ධියෙන් සිතා මතා ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කළහොත් සියල්ලෙන් ම ජය ගැනීමට පුළුවනි.

අප  සෑම විටම උත්සාහ කළ යුත්තේ කිසි විටෙකත් පරාජිතයකු නොවී වැඩකටයුතු කිරීමටයි.මා ප්‍රථමයෙන් දිනා ගත් දෙය අතීතයට ගිය විට දෙවනුව දිනීමට සිතා සිටින දේ වර්තමානයට එක් වේ.එය අනිවාර්යයෙන් ම දිනාගෙන මිසක් උත්සාහය අත් නොහරිමි යන දැඩි අධිෂ්ඨානය තිබිය යුතුය.ඒ වගේම සාර්ථක හා ජීවිතය දිනපු පුද්ගලයන්  අනිවාර්යයෙන් ම අනාගතයේ දිනන්නට බලාපොරොත්තු වන දෙය දිනා ගැනීමට යහපත්, සාර්ථක සැලැස්මකට අනුව කටයුතු කරනු ලබයි.

මෙසේ ගත් විට තුන් කල්හි ම ජය ගැනීමට හැකි පුද්ගලයා කිසිම දිනෙක ජීවිතය තුළ පරාජිතයෙක් ලෙස හංවඩු ගැසෙන්නේ නැත.සිත තුළ ආධ්‍යාත්මික බලයක්, ශක්තියක් ඒ සදහා  ගොඩනගා ගෙන තිබීම සාර්ථකත්වයේ මං සළකුණකි.
එය සෑම කල්හි ම ජීවිතය ජය ගැනීම සදහා ද , සාර්ථක වීම සදහා ද මුළු ලෝකයක් ඉදිරියේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම සදහා ද උපකාරී වේ.
මෙසේ ජීවිතය ජය ගැනීමට නම් අප පිළිබඳ ආත්ම විශ්වාසයක් අප විසින්ම ගොඩනගා ගත යුතු ය.සිත තුළ තරහව,දුක හටගත් විට සිදු වන්නේ අනුන්ට නොව තමුන්ට  පාඩුවකි.දුක දැනුණු විට තමා දුර්වලයෙක් , විනාශකාරයෙක් ලෙස සිතා සියල්ල  අතහැර දමයි.ජය ගැනීමට උත්සාහ නොකරයි.ජයග්‍රහණ හීන බවට පත් වෙයි.
එනිසා දුක, කලකිරීම විනාශ කර දමා සෑම මොහොතකම සුබවාදීව, සතුටින් ජීවත් වන්නට උත්සාහ කළහොත් සාර්ථකත්වය තුළින් ශ්‍රේෂ්ඨත්වයට පත් වී ලෞකික හා අධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම ඔබට,මට ජීවිතය ජය ගැනීමට අවකාශය ලැබේ.

උත්සාහය අත් නොහරින්න.
ජයග්‍රහණය ඔබේ අත ළඟයි
බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න.
ඔබට ජය!!!!!😊😊😊


Article Writer - Thakshila Srimali

බෞද්ධ මනෝ විද්‍යාව



මනෝ විද්‍යාව යන වචනය බටහිර තුළ දී ශතවර්ෂ ගණනක් පමණක් පැරණි ඇතැම් විට සිග්මන් ෆ්‍රොයිඩ් ජීවත් වූ යුගය වනතාක් නිවැරදි ලෙස සංවර්ධනය නොවූවක් වූව ද ඉන්දීය භාරතීය සමාජය තුළ දී එය වර්ෂ දෙදහස් පන්සියය ද ඉක්මවූ තරම් අතීතයට දිවයන මාතෘකාවකි. 

එකල ඉන්දීය සමාජයේ විසූ විවිධ දාර්ශනිකයන්,ශාස්තෲවරුන් මනස ගැන විවිධ විග්‍රහ සිදු කර ඇත.චාර්වාක වැනි බුද්ධ කාලයට පෙර විසූ භෞතිකවාදීන් මෙන් ම බුද්ධකාලය වන විට විසූ අජිත කේශකම්බල,පකුධ කච්චායන,පූරණ කස්සප වැනි නියතිවාදී,අකිරියවාදී හා භෞතිකවාදී මත දැරූවන් මනස ගැන ප්‍රතිවිරුද්ධ, ඇතැම් විට මනස යනුවෙන් භෞතිකත්වයෙන් ඔබ්බෙහි පිහිටි යමක් නොමැති බව පිලිගත්තවුන් ද බොහෝ සිටියහ. එසේ ම ආලාර කාලාම, උද්දකරාම පුත්ත වැනි මනස යම් යම් අවස්ථාවන් දක්වා දියුණු කළවුන් ද භාරතීය සමාජය තුළ තම ආචාර්‍යවාදයන් ශිෂ්‍යයන්හට උගන්වමින්,පුහුණු කරමින් සිටි බව ද බෞද්ධ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී දක්නට ලැබේ. 

 බෞද්ධ දර්ශනය පදනම් වන්නේ ම මනස හා එය දමනය කරගන්නේ කෙසේ ද යන කරුණ මත බව බුදුන් වහන්සේ බුද්ධ දේශනාව අධ්‍යනය කිරීමේ දී පෙනී යයි.බුදු දහම හා බෞද්ධ මනෝ විද්‍යාව යනුවෙන් දෙකකට බෙදා වෙන් කරනවාට වඩා එය මාතෘකා දෙකක් නොව එකක් ම වන බව විද්‍යාමාන වෙයි. 
සියළු බුදුවරුන්ගේ අනුශාසනය නම් වූ ඕවාද ප්‍රාතිමෝක්ෂය තුළින් ද විද්‍යාමාන වනුයේ භික්ෂු සමාජය තුළ සිටින සෑම සාමාජිකයෙක් ම අන්‍යයන් හට ශාරීරික ව හෝ මානසික ව බාධාවක්,හිරිහැරයක් නොවී සියළු දෙනාගේ මානසික නිදහස ගරු කරමින් මානසික සහනය ලඟා කරගැනීමට අවශ්‍ය උපදෙස් පෙළකි. 


 "සබ්බ පාපස්ස අකරණං 
කුසලස්ස උපසම්පදා 
සචිත්ත පරියොදපනං 
ඒතං බුද්ධාන සාසනං" 

 ( සියලු පව් නොකිරීම ද, කුසල් ඉපදවීම හා වැඩීම ද, තම සිත පිරිසුදු කරගැනීම ද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.) 

 "ඛන්තී පරමං තපො තිතික්ඛා 
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා 
න හි පබ්බජිතො පරූපඝාතී 
සමණො හොති පරං විහෙඨයන්තො" 

 (ඉවසීම උතුම් තපස යි. බුදුවරයන් වහන්සේලා නිවන උතුම් කොට වදාරති. අනුන් තලන පෙලන පැවිද්දා මහණෙක් නොවේ.) 

 "අනූපවාදො අනූපඝාතො 
පාතිමොක්ඛෙ ච සංවරො 
මත්තඤ්ඤුතා ච භත්තස්මිං 
පන්ථං ච සයනාසනං 
අධිචිත්තෙ ච ආයොගො 
එතං බුද්ධාන සාසනං" 

 (අනුන්ට උපවාද නො කිරීම ද, හිංසා නො කිරීම ද, ප්‍රාතිමෝක්ෂ සංවරය ද, ආහාරයෙහි පමණ දන්නා බවද, විවේක සෙනසුන් හි ඇල්ම ද සමවත් වැඩීමේ යෙදීම ද කළ යුතු ය. යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.) 


 ඉහත ගාථා පෙළින් ශාරීරික මෙන් ම මානසිකව අන් අයට පීඩා කිරීමෙන් වැළකී කටයුතු කිරීම අගය කොට දක්වයි, යමෙක් හට තවත් යමෙකුට හිංසා කිරීමට සිතෙන්නේ ම තමා තුළ පවත්නා අකුසල් සිතිවිලි මත ය.එසේ ම පීඩාව ලබන්නා ද කායික ව මෙන් ම මානසිකව ද එයින් පීඩනයට පත් වේ.කායික ව යම් සත්වයෙකුට පීඩාවක් කළ ද එම පීඩාව ලැබූ තැනැත්තා මානසික ව ද විඳවන මට්ටමට පැමිණේ,එබැවින් බුද්ධ දේශනාවේ පදනම වනුයේ තම සිත පිරිසිදු කර ගනිමින් අනුන්ට හිංසා,පීඩා නොකර යහපත් දිවි පෙවෙතක් ගත කිරීමයි.එය තමාගේ මානසික නිදහස සාක්ෂාත් කරගැනීමට මෙන් ම අන්‍යයන්ට පීඩාවක් නොවී ජීවත් වන යහපත් සමාජයක් ගොඩනැගීමට ද හේතුවක් වේ.



බුද්ධ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ රෝග ගැන සඳහන් කරන අවස්ථාවේ දී සත්වයාට ඇති රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි, එය වත්මන් වෛද්‍ය විද්‍යාත්මක බෙදා දැක්වීම අනුව ද නිවැරදි වේ.


"ද්වෙමෙ, භික්ඛවෙ, රොගා. කතමෙ ද්වෙ? කායිකො ච රොගො චෙතසිකො ච රොගො. දිස්සන්ති, භික්ඛවෙ, සත්තා කායිකෙන රොගෙන එකම්පි වස්සං ආරොග්‍යං පටිජානමානා, ද්වෙපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, තීණිපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, චත්තාරිපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, පඤ්චපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, දසපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, වීසතිපි වස්සානි ආරොග්‍යං පටිජානමානා, තිංසම්පි වස්සානි ආරොග්‍යං පටිජානමානා, චත්තාරීසම්පි වස්සානි ආරොග්‍යං පටිජානමානා, පඤ්ඤාසම්පි වස්සානි ආරොග්‍යං පටිජානමානා, වස්සසතම්පි, භිය්‍යොපි ආරොග්‍යං පටිජානමානා . තෙ, භික්ඛවෙ, සත්තා සුදුල්ලභා  ලොකස්මිං යෙ චෙතසිකෙන රොගෙන මුහුත්තම්පි ආරොග්‍යං පටිජානන්ති, අඤ්ඤත්‍ර ඛීණාසවෙහි."

(මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කායික රෝගය, චෛතසික රෝගය යන දෙකයි.
කායික රෝගයෙන් එක් වර්‍ෂයක් නීරෝගීකම ප්‍රතිඥා කරණු ලබන, වර්‍ෂ දෙකක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ තුනක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සතරක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ පසක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, දසවර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, විසි වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, තිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, හතලිස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, පනස් වර්‍ෂයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, වර්‍ෂ සියයක් නීරෝගීකම බලාපොරොත්තු වන්නාවූ, සත්ත්‍වයන් දකිත්.
යම්කිසි කෙනෙක් චෛතසික රෝගයෙන් මොහොතක් නමුත් නීරෝගීකම ප්‍රතිඥා කරත්ද, ක්‍ෂීණාශ්‍රවයන් හැර ඒ සත්ත්‍වයෝ දුර්‍ලභ වෙත්.)
- අ‍ංගුත්තර නිකාය,චතුක්ක නිපාතය,ඉන්ද්‍රිය වග්ගය,රෝග සූත්‍රය


බුද්ධ දේශනාවට අනුව සාමාන්‍ය පෘථග්ජන සත්වයා උම්මත්තක බව සදහන් වේ (සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා විය දිස්සන්ති).
එයට හේතුව කෙලෙස් සහිත පෘථග්ජන සත්වයා තමා කැමති අරමුණු සමඟ බැඳීම් ඇති කරගනිමින්, තමා අකමැති අරමුණු සමඟ ගැටීම් ඇති කරගනිමින් ජීවත්වන කාලය තුළ ඇලීම් ගැටීම් නිසා විඳවන මානසික තත්වයෙන් පසුවීමයි.
බුද්ධ දේශනාව අත්හැරීම මත පදනම් වන බැවින් සෑමවිටම තමා සතු හා තමා අවට පවතින සියළු ලෝකය අනිත්‍ය බව,ඔනෑම මොහොතක විනාශ විය හැකි බව දැන ඒවා කෙරෙහි බැඳිමක් ඇති කර නොගෙන ජීවත් වීම අනුමත කරයි.
එසේ නොමැති ව අනිත්‍යය බව දැන කළකිරීමෙන් ජීවත් වීමක් කිසි විටෙක බුදු දහමේ උගන්වා නොමැත, කළකිරීම තුළ ද ඇත්තේ එක්තරා ආකාරයක ගැටීමකි,එසේ කලකිරීමෙන් යුතු ව සියල්ල කායික ව අත්හැර ජීවත් වීම ජෛන මහාවීරගේ නිඝන්ඨ ධර්මය තුළ අගය කරන කරුණක් මිස බුද්ධ දේශනාව තුළ දැක්වෙන ඉගැන්වීමක් නොවේ.බුද්ධ දේශනාව තුළ සියල්ල අනිත්‍යය බවත් දැන සියල්ල මනසින් අතහැර ජීවත් වීම අගය කරයි.මිගජාල සූත්‍රය මේ සඳහා හොඳ ම උදාහරණයකි.

“ස්වාමීනි, ‘එකවිහාරි ඒකවිහාරී’ යයි හෙවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි එකලාව වාසය කරන්නේ වේද? කොපමණකින් දෙවැන්නෙක් සහිතව වාසය කරන්නේ වේද?” කියායි.

“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ."
.......................................................
“මිගජාලය, මෙසේ වාසය කරන්නාවූ මහණතෙම හුදෙක් භික්‍ෂූන්ගෙන්, භික්‍ෂුණීන්ගෙන්, උපාසකවරුන්ගෙන්, උපාසිකාවරුන්ගෙන්, රජුන්ගෙන්, රජ මහ ඇමැතියන්ගෙන්, තීර්ත්‍ථකයන්ගෙන්, තීර්ත්‍ථක ශ්‍රාවකයන්ගෙන් ගැවසීගත්තාවූ ගම්වල වාසය කෙරේද, එතකුදුවුවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.
ඊට හේතු කවරේද? තෘෂ්ණාව වනාහි ඔහුගේ දෙවැන්න වේ. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවාය. එහෙයින් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේය” යයි (වදාළ සේක.)

සම්පූර්ණ සූත්‍රය මෙතනින් >>> මිගජාල සූත්‍රය


බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක දී ධර්මය තරම් ඖෂධයක් මෙලොව තුළ නොමැති බවත්, එය පානය කරන ලෙසත් දේශනා කළ සේක.
"ධම්මෝසධ සමං නත්ථි, ඒතං පිබථ භික්ඛවෝ" (මහණෙනි, ධර්මය හා සමාන ඖෂධයක් නොමැත, එය පානය කරව්.)
ලොව පවත්නා කායික රෝගවලට බොහෝ ඖෂධ දක්නට ලැබේ, ඒ ආකාරයට සත්වයාට කායික හා මානසික රෝග උපදින්නේ සංසාරය තුළ මැරි මැරී උපදින නිසා ය, ඉපදීම නවතා දැමුවහොත්, එනම් නිවන් මාර්ගය සාක්ෂාත් කර ගතහොත් නැවත ඉපදීමකට නොපැමිණේ.එම නිසා නැවත කායික හෝ මානසික රෝග වැළඳීමට සත්වයෙක් නොමැත.ධර්මය නම් ඖෂධය පානය කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ එම ධර්ම මාර්ගය තුළ ගමන් කර,නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ ඇතැම් අයට තම ධර්මය දේශනා කරන ලද්දේ ද මනෝවිද්‍යාත්මක ක්‍රම අනුගමනය කර ගනිමිනි,
කිසා ගෝතමිය තම මළ දරුවාට නැවත ප්‍රාණය ලබා දෙන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලු විට බුදුරජාණන් වහන්සේ ඇයට එය කළ නොහැක්කක් බවට සෘජුවම පිළිතුරු නොදී ඇයට ම තේරුම් ගැනීමට හැකි වන ලෙස දරුවාට නැවත ප්‍රාණය ලබා දීමට නම් කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන ලෙස ප්‍රකාශ කළ හ.
එවිට ඇය එසේ කිසිවෙකු නොමළ ගෙයක් සොයා ගිය විට එසේ කිසිවෙකු නොමළ ගෙයක් නොමැති බව අවබෝධ කරගෙන මරණය තම පුත්‍රයාට පමණක් නොව සියල්ලන්ට ම පොදු කරුණක් බව අවබෝධ කරගන්නේ අත්දැකීමෙනි.
ඇය දරුවාට ප්‍රාණය ලබා දෙන ලෙස ඉල්ලූ විගස ම බුදුරජාණන් වහන්සේ එය කළ නොහැක්කක් බව දේශනා කළා නම් ඇය බුදුරදුන් කෙරෙහි ද කළකිරී තවත් ශාස්තෲවරුන්, වෛද්‍යවරුන් සොයා ගොස් නිරර්ථක උත්සහයක් දරනු ඇත.නමුත් ස්ථානෝචිත ව ඇයගේ මනසේ ස්වාභාවය දැන ඊට අනුව බුදුරජාණන් වහන්සේ ඇයට ම එය තේරුම් ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් අවසන ඇයට සත්‍ය වටහාගැනීමට හැකි විය.
එසේ ම සැරියුත් තෙරණුවන්ගේ ශිෂ්‍යයෙකු වූ ස්වර්ණකාරක තෙරුන්ට සත්‍ය වටහාදීමට කටයුතු කළ ආකාරය ද බුදුරදුන් තුළ විවිධ පුද්ගලයන්ගේ මනස තේරුම් ගෙන ඊට අනුව සුදුසු පිලියම් යෙදීමට හොද ම උදාහරණයකි.
ස්වර්ණකාරක භික්ෂුව පෙර රන් කරුවෙක් වූ බැවින් ඔහුගේ සිත ප්‍රසන්න අරමුණු කෙරෙහි ම නිතර යොමු වූවකි.
සැරියුත් තෙරුන් ළඟ ස්වර්ණකාරක භික්ෂුව පැවිදි වූ දා පටන් විවිධ අසුභ අරමුණු හරහා කමටහන් වැඩීමට ලබා දුන්න ද තුන් මසක් ගතවන තුරු ම ඒවාගෙන් ඵල ප්‍රයෝජනයක් නොවී ය.
අවසානයට බුදුරජාණන් වහන්සේ සමීපයට රැගෙන ගිය ස්වර්ණකාරක භික්ෂුවට බුදුරජාණන් වහන්සේ කමටහනක් ලෙස ලබා දෙන්නේ පොකුණෙහි පිපී දිය බේරෙන ප්‍රසන්න පෙනුමැති නෙළුම් මලකි.එය දෙස බලා සිටින භික්ෂුව අවසානයට එම නෙළුම කොතරම් ප්‍රසන්න වූවත් අවසානයට පර වී යන ආකාරය දැක යථාර්ථය අවබෝධ කරගනී.

මේ අනුව බලන කල මුළු බුද්ධ දේශනාවම මනස පදනම් කර ගනිමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් පෙළක් ලෙස ද අර්ථ දැක්විය හැකි ය.එය එක් දිශානතියක් නියෝජනය කරන්නක් නොව එකළ පැවති කුළ භේදය,ස්ත්‍රී-පුරුෂ භේදය ආදිය පමණක් නොව භූමිය පදනම් කරගත් බෙදීම් දෙස පවා විනිවිද දැක ඒ සියල්ලේ යථා ස්වාභාවය අවබෝධ කොට දී සියළු සත්වයන්ගේ මානසික නිදහසට මුල් තැන දෙමින් බිහි වූ විප්ලවවාදී දර්ශනයක් ලෙස දැක්විය හැකි ය.


Article writer - G Mangala thero